තිස් වසරක යුද්ධය මැද
නාගදීපය රැක ගත්
නා හිමියන්ගේ කතාව -
37 කොටස:
යටි අරමුණකින්
නාගදීපයේ පින්කමක්
අපවත් වූ නාගදීප විහාරාධිපති ධම්මකිත්ති නා හිමියන්ගේ ආදාහන උළෙල රාජ්‍ය
අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර කොටි සංවිධානය
විසින් එම අවස්ථාවට සහභාගි නොවන ලෙස නාගදීප ජනතාවට දැනුම් දී තිබුණි.
එහෙත් නාගදීපයේ වැසියෝ ඒ කිසිවක් නොතැකූහ. ඔවුහු නා හිමියන්ගේ ආදාහන කටයුතු උදෙසා
උපරිම දායකත්වයක් දැක්වූහ.
නාවික හමුදාවේ සහයෙන් අලංකාර චිතකයක් ගොඩනංවන ලදී. එල්ටීටීඊ සංවිධානයට ද ආදාහන
උලෙළට ආරාධනා කර තිබූ නමුත් ඔවුන් පැමිණියේ නැත.
නා හිමියන්ගේ දේහය අවසන් කටයුතු පිණිස රැගෙන යාමට සූදානම් වෙද්දී එතැනට පැමිණි
නාගදීපයේ දෙමළ ජනතාව නාහිමියන්ගේ දේහයට මල් මාලා පවා දැමූහ. මල් හා සුවඳ විලවුන්
ඉසින ලදහ. දේහය රැගෙන යද්දී නිවෙසක මව පියාගේ දේහය රැගෙන යන අවස්ථාවක මෙන් ඔවුහු
වැළපුණහ.
ආදාහනයට සහභාගි වීම පිණිස කොළඹින් නාගදීපයට වැඩම කළ බොහෝ භික්ෂූන් වහන්සේට නාගදීපයේ
වටිනාකම පෙනුණේ එම අවස්ථාවේ දී ය.
මුහුදෙන් ගොස් වන්දනා මාන කරන්නට මෙරට තිබෙන ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානයන් දෙක
අතුරින් මුල් තැනක් ගන්නා නාගදීපය වටිනා පුදබිමක් බව ඔවුන්ට අවබෝධ විය.
වසර ගණනාවක් පැවැති යුද්ධය නිසා එහි වටිනාකම සැඟව ගොස් තිබුණ ද නාගදීපයේ භාරකාරත්වය
ලබා ගන්නට ඇත්නම් ඉතා වටිනා බව බොහෝ දෙනාට සිතෙන්නට ඇත. නාගදීපයේ විහාරාධිපති ධුරය
බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ටත්, නල්ලතන්නිය විහාරය පදුමකිත්ති හිමියන්ටත් ලබා
දෙන්නට ධම්මකිත්ති නාහිමියන් බලාපොරොත්තු වුවත් එවකට සීවලී හිමියන් ගේ අවශ්‍යතාවය
වූයේ නල්ලතන්නිය විහාරය බාර ගැනීම නිසා නාගදීපයේ හිමිකාරත්වය පදුමකිත්ති හිමියන්ට
පැවරී තිබුණි.
ධම්මකිත්ති නාහිමිගේ ආදාහනයෙන් මාස කිහිපයකට පසුව නාගදීපයේ හිමිකාරීත්වය ලබා ගන්නට
කොළඹ වැඩ වාසය කරනු ලබන භික්ෂූන් වහන්සේ කිහිප නමක් විසින් කටයුතු කරන බව
පදුමකිත්ති හිමියන්ට දැනගන්නට ලැබුණි. ඒ වෙනුවෙන් දෙමටගොඩ නාගදීප විහාරස්ථානයේ ද
අනුග්‍රහය ලැබෙන බවට උන් වහන්සේට දැන ගන්නට ලැබුණි. ඒ ගැන දැනගන්නට ලැබී පදුමකිත්ති
හිමියන්ට ඇතිවූයේ එක් පැත්තකින් දැඩි කළකිරීමකි. කොටි බෝම්බ මැද, වෙඩි වරුෂා මැද
නාගදීපය තමන් වහන්සේත්, නාහිමියන් වහන්සේත් රැක ගැනීමෙන් පසු එය ඩැහැ ගන්නට මාන
බලන්නේ බුදු දහමට එකඟව දැයි උන් වහන්සේට සිතුණි. එය හුදෙක්ම ලාභ සත්කාර පිණිසම බව
උන්වහන්සේට වැටහුණි. තමන්වහන්සේ වට්ටක්කා තම්බා කමින් ඇතැම් විට නාවික හමුදා
කඳවුරෙන් ගෙනවිත් දෙනතුරු තේ කොළ බිඳක්, සීනි ඇටයක් දින දෙක තුනක් නොතිබුණු අවස්ථාද
වූ බව උන් වහන්සේට සිහි විය. ඒ සියල්ල ලාභ සත්කාර පිණිස නොව බුදුහිමියන් වැඩම කළ
නාගදීප පුදබිම රැකගන්නට බව සිතමින් කම්පාවට පත් වූහ.
ඒ වන විටත් නා හිමියන්ගේ ආදාහනය කොළඹදී සිදු කෙරෙනු බවට ව්‍යාජ මරණ සහතිකයක් පවා
සකස් කරගෙන තිබෙන බව ද උන් වහන්සේට සැළ වී තිබුණි. . ඒ සඳහා දේශපාලඥයන් කිහිප දෙනකු
විසින් ද සහාය දී තිබුණි. පදුමකිත්ති හිමියන් කෙසේ හෝ එම ව්‍යාජ සහතිකයේ පිටපතක්
ලබා ගෙන සුරක්ෂිතව තබා ගන්නා ලදී. කූට ලේඛන සැකසීම, විශේෂයෙන්ම රජයෙන් ලබා දෙන
සහතික ව්‍යාජ ලෙසින් නිර්මාණය කිරීම අපරාධ නීතිය යටතේ බලවත් වරදක් වුවත් ඒ පසුපස
හඹා ගොස් අදාළ අයට විරුද්ධව කටයුතු කරන්නට පදුමකිත්ති හිමියන්ට අවශ්‍ය නොවී ය.
ධම්මකිත්ති නාහිමියන්ගේ දේහය ආදාහනය පිණිස නාවික හමුදාව
විසින් චිතකය වෙත ගෙන යනු ලැබූ අයුරු |
අනුන් කුමන දේ කළත් තමන් වහන්සේ ඒ වෙනුවෙන් එකට එක නොකළ යුතු යැයි උන් වහන්සේ
සිතූහ. ‘‘මම මේ කරන්නේ බොදු උරුමය රැක ගැනීමේ මෙහෙයක් ‘‘ යන්න උන් වහන්සේ සැම විටම
සිතූහ.
සටන් විරාමය නිසා නාගදීපයේ වන්දනාමාන කරන්නට පැමිණෙන්නට හැකියාවක් ජනතාවට ලැබී
තිබුණි. ඒ අවස්ථාවේ දී නාගදීපය ලබා ගතහොත් මැනවැයි සිතූ ස්වාමීන් වහන්සේ කිහිප නමක්
එක්ව නාගදීපයේ පින්කමක් සූදානම් කරන ලදී. එම පූජාව තබන්නට පදුමකිත්ති හිමියෝ
අනුමැතිය ලබා දුන්හ.
එම පින්කම නම් කර තිබුණේ ‘සිරිගුණාලංකාර පහන් පින්කම‘ නමිනි.
අපවත් වී වදාළ සිරිගුණාලංකාර නම් හිමි නමකගේ ගුණානුස්මරණය සිහි කරමින් සෑම වසරකම
දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථානයක පහන් පින්කමක් ලෙසින් එය පැවැත්වෙන අතර පහන් උපයෝගී
කරගෙන කරනු ලබන භාවනාමය පින්කමක් ද එයට ඇතුළත් විය.
පින්කමක් බව පෙනුණ ද කතාවෙන් නම් එය මුදල් එකතු කිරීමක් බව පෙනී ගියේ ය. එම නිසා
හැකිතරම් එයින් ඈත්වීමට පදුමකිත්ති හිමියෝ තීරණය කළහ.
වසර ගණනාවකට පසුව විදුලි බල්බවලින් නාගදීප විහාරස්ථානය සරසන්නට වූයේ කොළඹින්ම ගෙන
එන ලද විදුලි නිර්මාණ ශිල්පීන් අතිනි.
වන්දනාකරුවන් 3000ක් පමණ සහභාගි කරවන්නට පියවර ගෙන තිබුණි. එමෙන්ම පහන් 5000ක්
6000ක් පමණ දල්වන්නට ද පියවර ගෙන තිබුණි. පොල්තෙල් හා පහන් තිර තොග පිටින් ගෙන
එන්නට කටයුතු කර තිබුණි.
වෙන්නට යන්නේ කුමක් වුවත් පදුමකිත්ති හිමියෝ තමන් වහන්සේගේ මිතුරු හිමිනමක්ද
වවුනියාවේ සිට පින්කමට පෙර දින වැඩම කරවා ගන්නා ලදී.
විශේෂ මාධ්‍ය කණ්ඩායමක් ද බස් රථවලින් නාගදීපයට ගෙන ඒමෙන්ම එය යම් ආකාරයක
ප්‍රයෝගකාරි වැඩක් බව පදුමකිත්ති හිමියන්ට තේරුම් ගියේ ය.
පදුමකිත්ති හිමියන් හෝ උන් වහන්සේගේ මිතුරු හිමියන් හෝ ඒ කිසිදු කටයුත්තකට සම්බන්ධ
නොවී පසෙකට වී සිටි නමුත් නාගදීප විහාරස්ථානයේ හිමි නමකට ද පින්කමේ කතාවක් වෙන් කර
තිබුණි. එහෙත් පදුමකිත්ති හිමියෝ එම කතාව පැවැත්වීමට මිතුරු හිමියන්ට පැවරූහ.
බස්රථවලින් පැමිණ, බෝට්ටුවල පිරී නාගදීපයට පැමිණි පිරිස 3500ක් පමණ විය. සුදෝ සුදු
වතින් සැරසුණු වන්දනාකරුවන්ගෙන් නාගදීප පුදබිම පිරී ඉතිරී ගියේය.
පින්කම ආරම්භ කරමින් කොළඹින් පැමිණි නිවේදක මහතකු සභාව අමතන ලදී. එයින් කියැවුණේ
නාගදීප විහාරාධිපති ලෙස වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ නමකි . එයින් මේ පින්කමේ අරමුණ
කුමක්දැයි වටහා ගන්නට පදුමකිත්ති හිමියන්ට අපහසු නොවීය.
මාධ්‍ය මගින් සියල්ල ප්‍රසිද්ධ කර ඒ හරහා තම අරමුණු ඉටුකර ගැනීම කොළඹ වැඩ සිටින
නායක ස්වාමීන් වහන්සේගේ කාර්ය බව උන් වහන්සේ තේරුම් ගත්හ.
එහෙත් නිහඬව සිටි වවුනියාවෙන් වැඩම කළ පදුමකිත්ති හිමියන්ගේ මිතුරු හිමියන් තම
කතාවේදී ඒ සියල්ල වෙනස් කළහ.
‘නිවේදක මහත්තයට ලොකු වැරැදීමක් වුණා මං හිතන්නෙ,‘ යනුවෙන් පැවසූ ඒ හිමියන් තමන්
වහන්සේගේ කතාවට අවසර ලබා ගත්තේ කොළඹ සිට වැඩම කළ හිමිවරුන්ගේ නම් පිළිවෙළින්
පැවසීමෙන් පසුව ‘නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියන්ගෙන් අවසරයි‘
යනුවෙනි.
ඒ කතාවෙන් පැමිණ සිටි පිරිස අතර යම් කසුකුසුවක් ඇති වූ බවක් පෙනුණි.කතාව අවසන් කළ
වවුනියාවේ සිට පැමිණි භික්ෂූන් වහන්සේ වේදිකාවෙන් බැස යන්නට වඩිනා විටම උන් වහන්සේ
වෙත පැමිණි ස්වාමීන් වහන්සේ දෙනමක් උන් වහන්සේ පසෙකට කැඳවාගෙන ගොස් යම් යම් දේ
පවසනු පදුමකිත්ති හිමියන්ට පෙනුණි. පදුමකිත්ති හිමියන් ද එදෙස මහත් ඕනෑකමින් බලා
උන්හ. අතපය පවා දිගුකරමින් යම් අණක් ලබා දුන්නාක් වැනි දෙයක් පදුමකිත්ති හිමියෝ
දුටුවහ.
ඒ අතර ජනතාව අතරට ගිය පදුමකිත්ති හිමියන්ට කනින් කොනින් ඇසුණේ ‘අපිට කිව්වෙ නාගදීප
විහාරාධිපතිකම වෙනුවෙන් පවත්වන පින්කමක් කියලනේ. දැන් බලපුවහම වෙන හාමුදුරු
කෙනෙක්නේ මෙහේ විහාරාධිපති ඉන්නෙ‘
තාරක වික්‍රමසේකර |