මහා පඬිවරුන් යටතේ නිදහසේ සිතන්න පුරුදු වුණා
උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ
මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය බෙල්ලන්විල
ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
අපේ හාමුදුරුවනේ,
ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට පාත්‍රවූ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ඔබ
වහන්සේගේ පැවිදි ජීවිතයේ ගුරුහරුකම් ලබාගත් ආකාරය පැහැදිලි කරනවා නම්,
මූලික පැවිදි ජීවිතය ගොඩනඟා ගැනීමට මඟපෙන්වීම සිදුකළේත්, මා පැවිදි භූමියට පත්කළ
මගේ ගුරුදේවයන් වහන්සේමයි. මූලික වශයෙන් මාස 06 ක පමණ කාලයක් උන්වහන්සේ යටතේ අවශ්‍ය
පුහුණුව ලබාගැනීමෙන් අනතුරුව සාමණේර භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම පිළිබඳව එම
කාලවකවානුව තුළ විශේෂ ගෞරවයක්, වගේම ප්‍රසිද්ධියක් ලබා තිබුණු මොල්ලිගොඩ ප්‍රවචනෝදය
පරිවේණස්ථානයට මාව බාරකරනු ලැබුවා. දිනපතා අලුයම අවදිවෙමින් ආගමික වතාවත්වල
යෙදෙමින්, සාමණේර දිවියට ඇවැසි වත්පිළිවෙත්. බණ දහම් පුරුදු පුහුණු වුණා. භික්ෂු
ජීවිතයේ පැවැත්මට එදිනෙදා ජීවිතයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හැඩගැසීමට වගකිව
යුතු ස්වාමීන් වහන්සේ පත්කර තිබුණ නිසා එම පිරිවෙන තුළින් භික්ෂු ජීවිතය ආලෝකමත්
කරගැනීමට මනා පිටිවහලක් ලැබුණා.
අධ්‍යාපනය ලැබුවේත් උන්වහන්සේලා යටතේමයි. එවකට ලංකාවේ උගතුන් අතර ප්‍රසිද්ධ ව සිටි
පඬිරුවනක් වුණ ලබුගම ලංකානන්ද මා හිමිපාණන් වහන්සේ ධර්මය ඉගැන්වීම හා, ධර්ම විනය
භාරව කටයුතු කළා. නීති රීති දැඩිව ක්‍රියාත්මක කළ ස්වාමීන් වහන්සේ නමක් නිසා
ගෞරවයකින් වගේම බියකින් උන්වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුව කටයුතු කළා. ඒ
වගේම මොල්ලිගොඩ අරියවංශ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සතියකට වරක් බැගින්
සාමණේර භික්ෂු ජීවිතයට අවැසි නීති රීති පිළිබඳව අවවාද අනුශාසනා ලබා දෙමින් පාලි
පොත්පත් ඉගැන්වීමටත් කටයුතු කළා.
මූලික අධ්‍යාපනය මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනින් ලබාගත්තා සේ ම උසස් අධ්‍යාපනය
ලැබීම සඳහා නායක හාමුදුරුවන් වහන්සේගේ මගපෙන්වීම යටතේ පෑලියගොඩ විද්‍යාලංකාර
මහපිරිවෙනට ඇතුළත් වුණා. එහිදී යක්කඩුවේ ප්‍රඥාරාම මාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති
මාහිමි, බඹරැන්දේ සිරිසීවලී මාහිමි වැනි අතිශ්‍රේෂ්ඨ ලේඛකයන් වශයෙන් ගෞරවයට
පාත්‍රවුණු මහා පඬිවරුන්ගේ ආභාසය ලැබුණා. කිසියම් නීති සමූහයක් යටතේ ශිෂ්‍යයන්
හික්මවීමට ගුරුවරුන් කටයුතු කළ නිසාම ශිෂ්‍යයන්ට නිදහස්ව සිතන්න මඟ පෙන්වීමත්
විද්‍යාලංකාර පිරිවෙනේ ගුරුහාමුදුරුවන් වහන්සේලා යටතේ ලැබුණ නිසා නිදහසේ සිතන්න
පුරුදු වුණා.
ඔබ වහන්සේ ලංකාවට වඩා විදේශීය වශයෙන් ධර්ම දූත කටයුතුවල නියැළී සිටින ස්වාමීන්
වහන්සේ නමක් වශයෙන් ප්‍රසිද්ධයි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආගමික සේවාවක් සිද්ධ
කිරීමේ මූලික පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන් ද?
අධ්‍යාපනය අවසන් වුණාට පසුව විදේශීය රටකට වැඩම කරන බවට විශේෂ බලාපොරොත්තුවක් තිබුණේ
නැහැ. කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ගුරුවරයකු හා උප පරිවේණාධිපතිවරයකු
වශයෙන් පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු කරන කාලවකවානුවේ දී
සිංගප්පූරුවේ ධර්ම දූත සේවාවෙහි යෙදීම සඳහා එම රටේ බෞද්ධ විහාරස්ථානයකින් ලැබුණු
ආරාධනාවකට අනුව සිංගප්පූරුවට වැඩම කළා. මම විදේශ ධර්මදූත කටයුතු පිළිබඳ විශේෂ
පුහුණුවක් ලබා තිබුණේ නැහැ. විදේශීය රටකට වැඩම කරමින් එහි ජීවත්වන ජනතාව දැන
හඳුනාගෙන ඔවුන් ව තේරුම්ගෙන ධර්ම දූත සේවයේ යෙදීම මහා ගැඹුරු කරුණක්. සිංගප්පූරු
ජනතාවක් බවට පත්වුණු ඉංගී‍්‍රසි කතාකරන චීන ජාතිකයන් පිරිසක් සමඟ කටයුතු කිරීම
ටිකක් අපහසු වුණත් , චීන ජාතිකයන් මහායාන බුදුදහම පිළිබඳව දැනුමක් ලබා සිටි පිරිසක්
වීමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශාල ගෞරවයක්, ශ්‍රද්ධාවක් තිබුණ නිසා ධර්මය ඉගෙන
ගැනීමට ලොකු ආසාවක් වගේම කැපවීමකුත් තිබුණා. එවැනි දහම් පිපාසයෙන් පෙළෙමින් සිටි
පිරිසකට බුදුදහම පිළිබඳ දැනුමක් ලබාදීමට මා තුළ විශේෂ උනන්දුවක් ඇතිවුණා.
විදේශීය ධර්මදූත සේවයෙහි යොමුවන්නට බලාපොරොත්තුවෙන් සිටින ස්වාමීන් වහන්සේලාට ඔබ
වහන්සේ ලබාගත් අත්දැකීම් තුළින් ලබාදෙන උපදේශ මොනවගේද?
විදේශ ධර්ම දූත සේවයේදී වැඩි අවධානය යොමු කළ යුත්තේ එම රටේ ජීවත්වන විදේශීය
ජාතිකයන් පිළිබඳවයි. ලංකාවෙන් වැඩම කළ සිංහල බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් එම
රටේ ජීවත්වන සිංහල බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරදීම යුතුකමක් වුවත්, ප්‍රධාන අවධානය
යොමුවිය යුත්තේ බුදුදහම ඉගෙනීමට රුචිකත්වයක් දක්වන ධර්ම පිපාසයෙන් පෙළෙන බටහිර රටවල
විදේශීය ජාතික බෞද්ධ සහ බෞද්ධ නොවන පිරිසට බුදුදහම ඉගැන්වීමටයි. එම රටේ සංස්කෘතිය ,
ඔවුන්ගේ අවශ්‍යතා වටහාගෙන ඒ අනුව එයට ගැලපෙන පරිදි බුදුදහම ඉගැන්වීමට මම කටයුතු
කළා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා ඉතාම නිහතමානීව, චාම් ජීවිතයකට හුරුවෙමින්,
කරුණාවෙන් කටයුතු කිරීම අවශ්‍යයයි.
බෙල්ලන්විල ගම දේශීය හා විදේශීය වශයෙන් ප්‍රචළිත වෙන්නේ බෙල්ලන්විල විහාරස්ථානය
කේන්ද්‍රකරගනිමින්. ඒ සඳහා බලපෑ හේතු සඳහන් කරනවා නම්,
බෙල්ලන්විල විහාරස්ථානය නිසයි බෙල්ලන්විල ගමක් තිබෙන බවට දැනගන්නෙත්. එය ඉතාම කුඩා
ප්‍රමාණයේ ගමක්. ඒ වගේම එම විහාරස්ථානය හැරුණ විට පුද්ගලයකු ගේ අවධානයට ලක්විය යුතු
වෙනත් විශේෂිත වූ ප්‍රධාන කරුණක් නොමැති බව මගේ අදහසයි. අපවත්වී වදාළ බෙල්ලන්විල
සෝමරතන මා හිමිපාණන් වහන්සේ විසින් මෑත යුගයේ ලංකාවේ ඉදිකරන්නට යෙදුණු දර්ශනීය
විහාර මන්දිරය එක් හේතුවක්. කැලණි විහාරයේ චිත්‍රවලට සමාන වූ කලාත්මක හා වටිනා
ඓතිහාසික චිත්‍රවලින් අලංකාරවිම නිසා කලාත්මක වටිනාකමක් විහාරස්ථානයට එකතු වුණා.
ඒ වගේම විහාරස්ථානයේ වැඩසිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අධ්‍යාපන ක්ෂේත්‍රයට වටිනා
සේවයක් එක්කාසු කළ පඬිවරුන් වීමත් විශේෂත්වයක්. මෙම විහාරස්ථානයේ වැඩ සිටින
ඓතිහාසික දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නා ශ්‍රද්ධාවත් පිරිස බොහොම
විශාලයි. රැකියා පුහුණු මධ්‍යස්ථානයක්, විහාරස්ථානය තුළ පවත්වාගෙන යාමත්,
අධ්‍යාපනික හා සමාජසේවා අංශයෙන් විවිධ සේවාවන් රැසක් සිදුකිරීමත් නිසා ඓතිහාසිකව
පැවැති ප්‍රසිද්ධිය තවදුරටත් වර්ධනය වෙලා තිබෙනවා.
බෙල්ලන්විල විහාරස්ථානය කේන්ද්‍රකරගෙන ආගමික වශයෙන් පමණක් නොවෙයි, ජාතික වශයෙන්
පුළුල් සේවාවක් සිදුකරනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා නම්,
අපේ රට බොහෝ සේ ධනවත් රටක් නොවන නිසා මහජනතාවගේ අධ්‍යාපනයට කිසියම් සහායක් භික්ෂූන්
වහන්සේලාගෙන් ලැබිය යුතුයි. පන්සලෙන් ගමට පමණක්, නොවෙයි. අවට ප්‍රදේශවලටත් සේවයක්
සිදුවීම අවශ්‍ය බව එවකට වැඩසිටි බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරුවන් වහන්සේගේ අදහස
වුණා. ඒ අනුව උන්වහන්සේ ආරම්භ කළ දහම් පාසල තුළ සිසුන් 2000 කට අධික පිරිසක් දහම්
අධ්‍යාපනය ලබාගන්නවා. අපවත්වී වදාළ මහාචාර්ය විමලරතන මාහිමිපාණන් වහන්සේ සමඟ
සමාජසේවා සඳහා රතුකුරුස සමාජයට සම්බන්ධ ප්‍රථමධාර කණ්ඩායමක් බිහි කළා.
වෙනම ආයතනයක් වශයෙන් ප්‍රජා සංවර්ධන පදනම ආරම්භ කළා. ඒ හරහා රැකියා පුහුණුවක්, භාෂා
දැනුමක්, පරිගණක පුහුණුවක් ලබාදීම සිදුකළා. එය වර්තමානය තුළත් ක්‍රියාත්මකයි.
මේ රටේ යම් යම් අර්බුදකාරි අවස්ථාවල පක්ෂ දේශපාලනයෙන් තොරව භික්ෂූන් වහන්සේලා
වශයෙන් කළ හැකි කාර්යභාරය ඉටුකළා. බුදු දහමට විරුද්ධව බලවේග මතුවන අවස්ථාවලදීත් වසර
ගණනක් පැරැණි අපේ සංස්කෘතියට හානි පැමිණෙන අවස්ථාවලදීත් එයට විරුද්ධව නොබියව කටයුතු
කිරීම වැනි කාරණා හේතුවුණා.
හේමමාලා රන්දුනු |