කට වට කර වැට බැඳිය නොහැකි ද?
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
අනන්ත ලෝක ධාතුවේ භාෂාමය හැකියාව සහිත ජීව කොට්ඨාසය මිනිසා ය. සතුන් විවිධ
සන්නිවේදන ක්‍රම භාවිතකොට තම අදහස් හුවමාරු කරගන්නා අතර මිනිසා, එය වචන මගින්
සිදුකරනු ලබයි. මෙම වචනය සහ කට නිවැරැදිව භාවිත කිරීම ශ්‍රේෂ්ඨ ය.
යමෙක් තරුණ වයසේ සිටම වචනය අව භාවිත කරන්නේ නම්, එය ලද මිනිස් ජීවිතයට නිගාවකි.
වර්තමාන ලෝකයේ ඇතැම් තරුණ දරුවන් භාෂාව අනවශ්‍ය ලෙස යොදා ගන්නා ආකාරය දැකගත හැකි ය.
පරිස්සම් කරගත යුතු ඉන්ද්‍රිය අතර ඉතා ප්‍රමුඛතම ඉන්ද්‍රිය තම කටයි. රට වට කර වැට
බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකි යැයි සමාජ කියමන් පවා නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.
මහා මංගල සූත්‍රයට අනුව යහපත් වචන කතා කිරීම මංගල හෙවත් සුබ දෙයකි. එහි නොකියා
පැවසෙන්නේ එසේ නොවන වචන අවමංගල වචන වශයෙනි. වචනය අවමංගල දෙයක් බවට පත්කර ගැනීම ඉතාම
නුසුදුසු ය.
අනුන්ට චරිත සහතික දීම
සාමාන්‍ය ලෝකයේ දැක්වෙන්නේ කතා කරන මිනිසුන් ලෝකය පුරා ස්ථර තුනකින් යුක්ත බවය. ඉන්
පළමු ස්ථරය අනුන් ගැන කතා කරන පිරිසයි. දෙවන කොටස සිද්ධි ගැන කතා කරන කොටසයි. අවසන්
පිරිස සංකල්ප ගැන කතා කරයි.
මෙයින් වඩා ශ්‍රේෂ්ඨම පිරිස සංකල්ප හෝ සිද්ධි ගැන එකතු වූ පසු සංවාද ගොඩනඟා ගන්නා
පිරිසයි.
විශේෂයෙන් පිරිමින් ලෙස, අනුන් ගැන කතා කිරීම, අනෙකා විවේචනය කිරීම, ඔවුන් පිළිබඳ
නොදත් දේ නිවැරදිව දන්නවා යැයි විවිධ කතා මැවීම සුදුසු නොවේ. එවැනි පිරිස් සාමාන්‍ය
වහරේ දී හඳුන්වන්නේ චීත්ත පිරිමි ලෙසයි. ලැබූ පිරිමි බව එවැනි පහත් තැනකට පත්කර
ගැනීම පිළිබඳ සමාජය තුළ ඇත්තේ ප්‍රසාදයක් නොවේ.
ස්ත්‍රියක් වුව ද තමාට අරමුණක් සකසා ගැනීම පසෙක තබා අන්‍යයන්ගේ කටයුතු අනවශ්‍ය ලෙස
සෙවීම, ඔවුනට චරිත සහතික ලබාදීමට කටයුතු කිරීම සුදුසු නොවේ. නිරන්තරව ම එවැනි පහත්
කටයුතුවලින් ඈත් ව උසස් ලෙස බස හැසිරවීම ඉතා වැදගත් ය.
මේ ලෝකයේ ඇතමකුට කතා කිරීමට නොහැකි ය. එමෙන්ම සමහරු ගොත ගසයි. තවකෙනකු කතා කිරීමේ
දී ගැහැනි යෙක් ද පිරිමි යෙක් ද, හඳුනාගත නොහැක. මේ තත්ත්වය දෙස සවිඥානිකව අප බැලිය
යුතු ය. ඒ අතින් බලන විට ඔබ අප ඉතා වාසනාවන්ත වේ.
හඬ පෞරුෂය සහිතව හොඳින් කතා කළ හැකිව සිටියදී වචනය අවභාවිත කළහොත් සසර විඳින්න
සිදුවන ගැහැට ඇස්පනාපිට ම අපට දැකිය හැකි ය. කෙතරම් සුන්දර රූපයක් ලැබුණත්, කතා කළ
නොහැකි නම්, එය අභාග්‍යයකි. කට නිවැරදිව භාවිත නොකළ ඇතමුන් මරණින් පසු ප්‍රේතයන් ව
ඉපදුණ ආකාරය ප්‍රේත වත්ථුවේ දැක්වේ.
‘සූකරමුඛ’ පේ‍්‍රතවස්තුව ඊට කදිම උදාහරණයකි. ඇඟ රන්වන් පාට මුත් මුඛය ඌරකු සේ ය.
කතා කරන විට කටින් දුගඳ හමයි. ගව් ගණනක් එම දුගඳ වහනය වේ. එපමණක් නොව කටින් පණුවන්
හැලේ.
වර්තමානය තුළ පවා මුඛ පිළිකා වැළඳී මහත් පීඩාවන්ට පත් වී සිටින අසරණ රෝගීන්
අනන්තවත් දක්නට ලැබේ. එය ඔවුනට කෙතරම් වේදනාවක්ද? බුද්ධෝත්පාද කාලයක ඉපදී
අංගසම්පූර්ණ දිවියක් ලැබ, කට අනවශ්‍ය ලෙස භාවිත කිරීම ඉතාම ශෝචනීය වේ. පැලෑනේ
වජිරඥාන හිමියන් ඒ බව දැක්වූයේ මෙසේ ය.
හොඳට නරකට දෙකට ...
මහනෙල් සුවඳ ම ය
කුඩමසු පිළීගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය
පය ලිස්සූවිට අත තැබිය හැක. අත උලුක්කු වුවහොත් පත්තු බැඳීමට හැකියාව පවතී. එහෙත්
දිව ලිස්සුවොත් එය නිවැරදි කරගත නොහැක. එහෙයින් වචනයක් පිට කිරීමේ දී දෙතුන් වතාවක්
සිතිය යුතු ය.
මන්දයත් හූ කියා කටවහ ගැනීමෙන් පලක් නොවන බවයි. තරුණ දරුවන් විශේෂයෙන් තේරුම්ගත
යුතු සත්‍යය වන්නේ කතා කිරීමට ඉගැන්නූ තම මව්පියන්ට නිවැරදිව ගෞරවය ලබා දී කතා
කිරීමටයි. ඇතැම්විට උස්මහත් වෙද්දී කතා කිරීම ඉගැන්වූ තම මව්පියන්ට කතා කිරීම ඉතා
අශෝභන ය.
කුඩා කාලයෙහි දරුවන් එකම දෙය දහ දොළොස් වාරයේ ඇසූ විටත් මව්පියන් ඉතාම සංයමයෙන්,
කේන්ති නොගෙන එයට උත්තර ලබාදෙයි. එහෙත් මව්පියන් වියපත් ව දරුවන්ගෙන් යමක්
දෙතුන්පාර විමසද්දී ඔවුනට කේන්ති ඇතිවේ. මෙය තරුණ දරුවන් ඉතා සිහි බුද්ධියෙන්
තේරුම් ගත යුතු ය. භාෂාව නිවැරදිව භාවිත කළහොත් දෙලොවට යහපත සලසාගත හැකි ය. ඇතමුන්
කට නිසා දිව්‍ය ලෝක ගත වූහ. තවත් පිරිස් අපාගත වූ අතර, තවත් කොටසක් සිරගත වූහ.
බුදුරදුන්ගේ දෙතිස් ලකුණු අතර ‘බ්‍රහ්මස්වරය’ එකකි. ලක්ඛණ සූත්‍රයේ දී තමන් වහන්සේට
එවන් හඬක් ලැබීම පිළිබඳ බුදුරදුන් දේශනා කරනුයේ සසර තමන් බොරු කේළම් නොකී බවත්,
අපහාසයෙන් අනුන් පහත් කොට කතා නොකළ බවත් ය. තවද ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්
අනෙකාට ආමන්ත්‍රණය නොකළ බව ය. එහෙයින් උන්වහන්සේට එවන් හඬක් ලැබූ බවයි.
ප්‍රතිරූපයක් මැවෙන හැටි
මේ ලෝකයෙහි කෙනකුට සංග්‍රහ කළහැකි වස්තු හතරක් දහම දේශනා කරන අතර පි‍්‍රය වචනය ඉන්
එකකි. සියල්ලෝම එයට කැමති වෙති. අප කාක්කාගේ හඬට අකමැති වෙන්නේ ඒ සතා කළු නිසා නොව
හඬ කැත නිසාවෙනි. මොණරා ලස්සන වුවත් හඬ කැත ය. හඬ මත බොහෝ වටිනාකම් නිර්මාණය වී ඇත.
ලකුණ්ඨික භද්දිය හිමියන් මිටි වුවත් මධුර ස්වර සහිත භික්ෂූන් අතර අග්‍ර වූහ.
අමරදේවයන් එතරම් උස ශරීරයක් ඇත්තකු නොවතත් අපට අමරදේවයන් කියූ සැණින් මැවෙන්නේ මහා
ප්‍රතිරූපයකි. එය වෙන දෙයක් නිසා නොව හඬ පෞරුෂය නිසාවෙන්ම ය.
සිනහවීමට නොදන්නෝ
බුදුරදුන් තුළ පැවැති ගුණයන් අතර ඉතා ශ්‍රේෂ්ඨ ගුණයක් වචනයෙන් සම්බන්ධයෙන් මෙහිදී
ගළපා ගත හැකි ය.
යමකු උන්වහන්සේ සමඟ සිනාසීමට පෙර උන්වහන්සේ පළමුව සිනාසුණහ. කතා කිරීමට පෙර කතා
කළහ. උදව්වක් ඉල්ලීමට පෙර උදව් කළහ. මෙය ඉතා වැදගත් ය. මිනිසුන් එසේ විය යුතු ය.
ගැඹුරු දහම දැන ගත්තත් සිනහවීමට නොදන්නේ නම් එය වැදගත් නොවේ.
බාල, තරුණ, මහලු බේදයකින් තොරව මෙලොව පමණක් නොව සසර දිනීමට අවශ්‍ය ගුණයක් ලෙස
සුවපත් බස ඉතා අවශ්‍ය ය. නිවනට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම
ප්‍රතිපදාවයි. එය කොටස් 8 කි. මෙය සීල, සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් යුක්ත ය.
සීලය සම්පූර්ණවීම සඳහා කොටස් 3ක් අවශ්‍ය වේ. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා
ආජීව වශයෙනි.
යහපත් වචනය සම්මා වාචාවයි. එයින් තොරව සීලය සම්පූර්ණ නොවේ. සීලයෙන් තොර සමාධියක් හෝ
ප්‍රඥාවක් ඇත්තේ නැත. එහෙයින් යහපත් භාෂාවකින් තොර නිවනක් ගැන කතා කිරීමට හෝ
බෞද්ධයාට නොහැක.
සුභාෂිත වචනය හෙවත් යහබස කුමනාකාර ද යන වග අ.නි. පඤ්චක නිපාතය සුභාසිතවාචා සූත්‍රය
පැහැදිලි කරයි. එනම්, අප කතා කරන වචනය කාල භාෂිත, සත්‍ය භාෂිත, ක්ෂලක්ෂණභාෂිත, අර්ථ
සම්පන්න, මෛත්‍රී සහගත විය යුතු ය. එවන් භාෂාව යහපත් භාෂාවකි.
මෙහිදී අප කතා කරන වචනය ඒ මොහොතට, ඒ වේලාවට තනතුරට වයසට, ගැළපිය යුතු ය. එසේ
නොවන්නේ නම්, එම බස කාලානුරූප නොවේ. කතා කරන වචන ඇත්ත විය යුතු ය. බොරුවක් කියූ විට
එය මතක තබාගත යුතු වේ. අලාභය සිදුවූවත් සත්‍ය කතා කිරීම ඉතා වැදගත් ය. සියල්ලෝ ම
මෘදු මොළොක් වචනයට කැමති වන්නෝ ය. තිරිසන්ගත සත්වයා ද එසේම ය.
නන්දිවිසාල ජාතකය තුළින් එය පැහැදිලි වේ. අර්ථ සම්පන්න වැදගත් වචන නිරන්තරවම කතා
කිරීම දෙලොවට වැඩදායක ය. තමන් කතා කරන වචනය තමන්ට අනුන්ට, මෙලොවට පරලොවට, ජාතියට,
ආගමට වැදගත් විය යුතු ය. කටට එන නිසරු වචන පිට කිරීම අයෝග්‍ය වේ. සමාජ ජීවිතයේ දී
සලකනු ලබන්නේ කට ඇති පුතා සහ රුව ඇති දුව වටිනා බවයි. වාචාලකම සහ මුඛරිකම මනාව
තෝරාගැනීම ඉතා වැදගත් ය.
කතා කරන හැම වචනයක් ම මෙත් සිතින්ම කිව යුතු ය. එසේ නොමැතිව අනෙකාට අයහපත ඇතිවන
පහත් වචන, අපහාස උපහාස වචන භාවිත නොකළ යුතු ය. මෙම ගුණ සහිත වචනය සැබවින් ම යහපත්,
සුභාෂිත මංගල වචනයක් ම වන්නේ ය. |