UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් වැනිය

ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් වැනිය

තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව දියුණු කර ගතයුතුය. ශ්‍රද්ධාව හෙවත් පැහැදීම දියුණු කර ගන්නා තැන භාග්‍යවතුන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ ම උපකාර කර ගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ ම පෙන්වා දුන්හ.

“සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං
ඉතිපි සෝ භගවා අරහං”

ආදී වශයෙනි.

භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි ගුණ දැන අවබෝධයෙන් යුතු පැහැදීමක් ඇතිකරගත යුතු ය. ඒ පැහැදීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ ‘අරහං’ නම් වන සේක. ආදී වශයෙන් ‘අරහං’ ආදී බුදුගුණ මෙනෙහි කරමින්, එහි සිහිය පිහිටුවමින් සමාධිය පවත්වාගෙන ම මාර්ගයට ළංවිය යුතු වන්නේ ය.

වර්තමානයේ වැඩි පිරිසක් මේ උතුම් ගාථා රත්න සජ්ඣායනා කළත්, තේරුම නිසි ලෙස දන්නා බවක් පෙනෙන්නට නැත. මේ නිසා පිනක් සිද්ධ වූවත් එය මහත්ඵල වන මහානිශංස වන පිනක් බවට පත්විය නොහැකි ය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව, භාග්‍යවතුන් වහන්සේට කරන උතුම් ම ගෞරවය වන කෙලෙස් ප්‍රහාණයට මෙය අවස්ථාව නොවන බව ය. එසේ නම් අප විසින් කළ යුත්තේ කුමක් ද?

බොහෝ මල් පූජා කිරීම ප්‍රශංසා කළ යුතු වූවකි. එනමුත් එක ද මලක් වුව අවබෝධයෙන් යුතු ව, පිරිසුදු සිතින් නෙළාගෙන භාග්‍යවතුන් වහන්සේ අභියස තැන්පත් කොට මෙසේ සිතිය යුතු ය. ‘අරහං’ බුදුගුණයේ පටන් පළමු ව දැනුමත්, දෙවනු ව අනුස්සති හෙවත් මෙනෙහි කිරීමත්, තුන්වනුව තමාට ගළපාගෙන කෙලෙස් ක්‍රම ක්‍රමයෙන් යටපත් ව තුනී වී නැතිව යන මාර්ගයට අනුගමනය කිරීමයි. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ මෙනෙහි කිරීමයි. සිතට කැඳවා ගැනීමයි. කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය අනුගමනය කිරීමයි.

අප මුලින් කෙටියෙන් විස්තර කළ අයුරින් භාග්‍යවතුන් වහන්සේ මේ සංසාර ගමනේ ඇති භයානක බව නුවණින් අවබෝධ කරගත් සේක. එසේ අවබෝධ කොටගෙන මහා කරුණාවෙන් අප හැමට ම ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවෙන් පැහැදිලි කළ සේක. සම්මා සම්බුද්ධ ගුණයෙන් අපට එය තේරුම්ගත හැකියි. එසේ නම් අපත්, අපට ම ගළපාගෙන මම ද, අතීත සංසාර ගමනේ වැඩිපුර නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් සතර අපායේ ඉපිද වචනයෙන් කියා නිම කරන්න බැරි තරමට සසර දුක්විඳ ඇත්තෙක් වෙමි. තිරිසන් ලෝකයේ ඉපිද, එළුවන්, කුකුළන්, ගවයන් වැනි සත්වයන් බවට පත්ව ගෙල කැපී ගලා ගිය රුධිරය සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි බව ධර්ම කතාවෙන් ඉගෙන ගත්තෙමි. මම ද මේ භයානක වූ දුකට මුහුණ දී ඇත්තෙමි.

නරකය එකක් නොව කොටස් එකසිය තිස් හයකට බෙදා ඇති තැන අප්‍රමාණ ලෙස එහි ද ඉපිද දුක්විඳ ඇත්තෙමි. මේ ආකාරයට කියා ගත නොහැකි තරමට සතර අපායේ ම ඉපිද භව චක්‍රය තුළ දුක්විඳ ඇත්තේ නම්, එය භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ දී දුක්ඛ ආර්ය සත්‍යයේ දී පෙන්වා දුන් ‘ජාතිපි දුක්ඛා’ ඉපදීම දුකක් ය යන අදහසයි. අතීත සසරේ භව චක්‍රයේ පටන් ම මම තේරුම් ගන්නෙමි. අවබෝධ කර ගන්නෙමි. බලවත් වූ පිනක්, කුසලයක් නිසා ලබාගත්තා වූ මේ උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට අධිෂ්ඨාන කර ගත්තෙමි. සම්මුතිය අනුව ඉගෙන ගෙන, රැකියා කොට, යම් වූ ධනයක් ලබා ගේ දොර සකස්කොට, මවුපිය දූ දරු, ස්වාමි භාර්යාවන් ලෙසින් යුතුකම් කොට සම්මත ලෝකයේ නිවැරැදි ලෙස සීලයේ පිහිටා ධර්මානුකූල ව පවත්වන්නෙමු. එනමුත් ඕනෑම මොහොතක් “මම මගේ” යැයි පවසන, පණ ඇති පණ නැති එනම් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක හැම වස්තූන් මෙලොව තබා නික්ම යා හැකි වන්නේ ය. තෘණ අග තිබෙන පිනි බිඳුවක් හිරු පායාගෙන එන විට මොනයම් මොහොතක හෝ බිමට වැටේ යැයි ලෝවැඩ සඟරාවේ පැවසුවේ ඒ අදහස ම ය. එසේ නම් කෙටි කාලීන අස්ථිර වූ ජීවිතයක් පවත්වන මා දුර්ලභ ව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගෙන ඇත් ද? ප්‍රයෝජනයක් ලබන්නේ ද? ප්‍රයෝජනයක් ලබන මාර්ගයට බැසගෙන ඇත්තේ දැයි හෝ නුවණින් කල්පනා කරන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ ඝෝර වූ සසර නිර්මාණය වන තෘෂ්ණාව නැති කළ සේක. රාග, ද්වේෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ සේක. නමුත්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදවා ගත් බලවත් වූ ශ්‍රද්ධා සිතින් යුතු ව ධර්මය විමසා බලමින් මාහට ආරෝපණය කරගෙන මම ද විඳි දුක නුවණින් දැක දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ද නුවණින් අවබෝධ කොටගෙන ලෞකික පැවැත් ම ධර්මානුකූලව පවත්වා ගන්නා ගමනේ නැවතත් සතර අපායේ නොඉපදෙන්නට කුසල් මාර්ගය අනුගමනය කරමි. එනම්, දුගතියෙන් බැහැර වෙන්නට භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළ සේක. එසේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළේ කෙසේ ද? මම “අරහං’ බුදු ගුණ ඔස්සේ ම මෙනෙහි කරන්නට වෑයම් කරමි. මෙනෙහි කරමි. ඇස , කන, නාසය, දිව, ශරීරය, මන යන ඉන්ද්‍රිය හයට ගෝචරවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නම් වූ සියලු ආරම්මණයන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට මම උත්සාහ කරමි. පඨවි, ආපෝ, තේජෝ. වායෝ නම් වූ හේතූන්ගෙන් හෙවත් මහා බූත රූපයන්ගෙන් සකස් වූ මේ ඇසත්, ඒ හේතූන්ගෙන් සකස් වූ රූපයත්, ඒ රූපය හඳුනාගන්නට උපකාර වූ චක්ඛු විඤ්ඤාණයත්, එමඟින් සකස් වූ ස්පර්ශයත්, ස්පර්ශයෙන් ලැබුණා වූ හෝ ලැබෙන්නා වූ සැප හෝ වේවා දුක් වූ හෝ වේවා මධ්‍යස්ථ හෝ වේවා සියලු විඳීම් ද? අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණයට යටත්කොට දකින්නට උත්සාහ කරමි.

සම්මුති සීලයේ පිහිටා ධර්මානුකූලව ‘මම, මගේ’ කියා පැවැත්වූවත්, මේ සියල්ල ම හේතූන්ගෙන් හටගෙන, ඒ හේතූන්ගේ විසිර යෑම නිසා නැතිව යන බව, භංගයට පත්වෙන බව මම නුවණින් අවබෝධ කර ගනිමි. මේ නිසා ඇසෙන් ලබන්නා වූ ආරම්මණ සීලයේ පිහිටා යහපත් තැන, යහපත් ලෙස දකිමි. එනමුත් රාගයකට හෝ අභිජ්ජා නම් වූ විෂම වූ ලෝභයට හෝ රතියකට හෝ කාමයකට හෝ අවස්ථාවක් කර නො ගනිමි. එයට හේතුව පණ ඇති, පණ නැති සියල්ලම පඨවි ආදී හේතූන්ගෙන් නිර්මාණය වී පඨවි ආදී හේතූන්ගේ විසිර යෑම නිසා මේ ඵලය ද නැතිව යන්නේ ය. එනම් ඇසට අරමුණු වන රූපය, කනට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ආඝ්‍රාණය, දිවට අරමුණු වන රසය, කයට අරමුණුවන ස්පර්ශය, මනසට අරමුණුවන සිතිවිලි සියල්ල ද හේතූන්ගෙන් හට ගෙන හේතූන්ගේ විසිර යෑම නිසා නැති වී යන ඵල සමූහයෝ ය. විපාක සමූහයෝ ය. මේ බව තේරුම් ගෙන, මේ කිසිවක් උපාදානය කර නො ගනිමු.

සම්මතයේ ප්‍රිය දේ හඳුනා ගනිමු. නමුත් මගේ ය. මම වෙමි. මගෙ ආත්මය යැයි දැඩිව නො ගනිමු. එනම් තමන්ට ඕනෑ ආකාරයට පවතින්නේ යැයි සිතා සිතින් දැඩිව නොගනිමු. උපාදානය කර නොගනිමු. එහෙත් සීලයේ පිහිටා ප්‍රසන්න බව හඳුනා ගනිමු. කල්‍යාණවන්ත බව මනුෂ්‍යයන් අතරින් හඳුනා ගනිමු. එය මවුපිය, දූ දරු, ස්වාමි භාර්යා ආදී වශයෙන් විය හැකියි. කිසිදු ඥාතීත්වයක් නැති, අන් රටක, අන් ජාතියක මනුෂ්‍යයන් බෙදාගෙන ඇති ආකාරය අන් ආගමක, සංස්කෘතියක විය හැකියි. එහෙත් සියලු සත්වයෝ ම පඨවි ආදී හේතූන්ගෙන් නිර්මාණය වී පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගේ විසිරීම ඔස්සේ ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය ඔස්සේ ජීවිත කෙළවර කරන්නෝ ය. ඒ නිසා සම්මතය යහපත් බව පිළිගෙන කටයුතු කරන අතර එහි උපාදානය නොකරන්නෙමි. අකැමැති අරමුණෙහි නොගැටෙන්නමි. අරමුණු වෙනස්වන විට ද නොගැටෙන්නෙමි. හේතූන්ගෙන් හටගත්තේ නම්, හේතූන් විසිර යන විට ඵලය ද විපාකය ද නැතිව යන බව උදයව්‍ය ඤාණයට යටත් කොට දකින්නට මා මගේ සිත පුරුදු කරමි. ඒ නිසා සම්මතයේ අකැමැති අරමුණු හඳුනා ගනිමි. එහෙත් එහි නොගැටෙමි. එනම් තරහක්, වෛරයක්, අමනාපයක් සකස් නොවුණ ආකාරයත් සිතේ සකස් කර ගන්නෙමි.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]