ඉල්පුර අටවක 2018.11.15
ජීවිතයේ
පරම ලාභය උදෙසා
දෛනික ජීවිතයේ කුදුමහත් සෑම සියලු කටයුත්තක ම සාර්ථකත්වයට අපගේ කායික මානසික නිරෝගී
බව අත්‍යවශ්‍ය ය. රෝගී වූ කල කරන ප්‍රතිකර්මයට වඩා රෝගයන්ගෙන් වැළැකී සිටීම වඩාත්
යෝග්‍ය බව වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ය. එය කුඩා දරුවෙකුට වුව තේරුම් ගත හැකි දෙයකි.
එවිට ශාරීරිකව ද, මානසිකව ද, ආර්ථිකව ද, සාමාජීයව ද මුහුණ දෙන පීඩාකාරී
තත්ත්වයන්ගෙන් පහසුවෙන් මිදිය හැකි ය.
බුදු දහමේ ඉගැන්වෙන ලෙස ‘ආරොග්‍ය පරමා ලාභා’ නිරෝගී බව මිනිසාට ඇති පරම ලාභය වන්නේ
ය. එසේ වූව ද අපේ සමාජයේ බොහෝ පිරිස් ලෙඩ වෙන්නේ ඉවතයන ලෙඩ නිරපරාදේ සමීපකර ගැනීම
නිසා ය. එසේත් නැතිනම් නොසැලකිලිමත්කම හා ආත්මාර්ථකාමී ගති පැවතුම් නිසා ය. කෙනෙක්
අපත්‍ය ආහාර හා අයහපත් පැවතුම් නිසා රෝගී වෙති. තවත් කෙනෙක් අනුන්ගැන තබා
තමන්ගැනවත් සිතන්නට ඇති නොහැකිකමෙන් හුරු පුරුදු කරන ලද යහපත් හැසිරීම් නැතිකමෙන්
සමාජය ද රෝගීකරවති.
පාරිසරික පිරිසුදුකම නොමැතිකම වසංගත රෝගවලට මූලික හේතුවකි. විශේෂයෙන් ජීවිතයට මරණය
පවා ළඟා කරවිය හැකි ඩෙංගු රෝගයට (පසුගිය කාලයේ ඩෙංගු රෝගයෙන් බාල මහලු භේදයකින්
තොරව බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.) හේතු වන්නේ ඩෙංගු මදුරුවාට ජීවත්වීමට අවශ්‍ය
පරිසරය බොහෝවිට මිනිසුන් විසින් ම වඩාත් සුදුසු ලෙස සලසා දෙනු ලැබීම නිසා ය. දැන්
රට පුරා වැසි සහිත කාලගුණය ආරම්භ වී තිබේ. වැසි ආරම්භ වී ගෙවුණේ තෙසතියක පමණ
කාලයකි. ඒ තරම් සුළු කාලයක් තබා මේ මස ගෙවුණු මුල් දින පහ තුළ පමණක් වාර්තා වී ඇති
ඩෙංගු රෝගීන්ගේ ගණන දෙසීය හැටතුනක් පමණ වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර
තිබුණි. මේ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කර එම අංශය, වැසි සහිත කාලගුණයත්
සමඟ ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා නිවාස, ගෙවතු, පාසල්, රැකියා ආයතන,
ඉදිකිරීම් පරිශ්‍රයන් නිවැරැදි ව ශුද්ධ පවිත්‍ර කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර පරිසරයක්
පවත්වා ගන්නා ලෙස මහජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලීම් කරනු පෙනේ.
යහපතෙහි හැසිරෙන්නට, තමන් ජිවත්වන අවට පරිසරය පවිත්‍රව තබා ගන්නට කාගේ හෝ බලකිරීමක්
අවශ්‍ය වන්නේ නැත. සත්ත්ව ලෝකයේ මනසින් උසස් ම සත්ත්වයා මිනිසා ය. සිතාමතා කටයුතු
කරන්නට ඔහුට වෙසෙස් හැකියාවක් ඇත. වරද බොහෝ දෙනෙකුට එවැනි භාවිත මනසක් නොවීම ය.
ඇතත් එය හසුරුවන්නට තරම්වත් ඉවසීමක් නොවීම ය. එසේ සිතන්නට හැකියාව තිබෙනවා නම් පෙර
කී ලෙස පරිසරය අපවිත්‍ර කොට ඉවතයන ලෙඩ තමන්වෙත සමීප කර ගන්නේ නැත.
කැළි කසළින් තොර, නීල හරිත පරිසරය කායික මානසික සුව සදන්නේ ය. අතීතයේ මහා මාර්ග
සෙවණ කළේ රූස්ස ගහ කොළ අතුපතරිනි. මඟ දෙපස විසිරී තිබුණේ ඒ ගහ කොළ මල් පියළි ය.
එහෙත් මහමඟට ගොඩ වූ වේලෙහි පටන් පවා දැන් ඇස ගැටෙන්නේ පොලිතින් මලුවල පුරවා ඉවක්
බවක් නැතිව පාර පුරා විසි කර ඇති කසළ ය. ඇතැම් නිවෙස්වල ගෙවත්ත ද එවැනි ය. මෙවැනි
පරිසරයන්හි රැඳෙන කුඩා ජල බිඳු කිහිපය වූව ද ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වැනි ය. තමන්
ඉවතලන කුණු කසළ ටික නිවැරැදි ලෙස බැහැර කරන්නට තරම්වත් අංශු මාත්‍රයක පමණ අවබෝධයක්
නොමැතිකම මහා සමාජ ව්‍යසනයක පෙර නිමිති ය.
ඒ නිසා මිනිසාට සිතන්නට පුරුදු කළ යුතු ව තිබේ. අනුන්ට දොස් නොකියා තම තමන්ට ම
හැදෙන්නට කාලය එළඹ තිබේ. වෙසෙසින් බෞද්ධ සමාජය අන්‍යයන්ට පීඩාකාරී වන ලෙස හැසිරීම
කිසිසේත් ම බුදු දහමේ අනුමත නොකෙරේ. උදේ සවස තෙරුවන් නමැද සියලු සත්ත්වයෝ නිදුක්
වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරන අපි එසේ සියලු සතුන්ට
ජීවත්වන්නට සුදුසු පරිසරය ද සකසා දිය යුතු වෙමු. එවැන්නකට අපේ දරුවන් හුරු කළ
යුතුවෙමු. ඒ වෙනුවෙන් අපගේ යුතුකම් කොටස ඉටු කරන්නට කල් නො හැර පෙළ ගැසෙමු. එවිට
ලැබෙන සියලු යහපත් දේ අතර නිරෝගී සුවය ද ප්‍රමුඛ වනු ඇත.
|