UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතිපට්ඨාන භාවනාව - 32: ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව: ඇතිවී නැතිවන දේ නුවණින් දකින්න

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:

ඇතිවී නැතිවන දේ නුවණින් දකින්න

" සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි."

සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුල සිට කර්මස්ථාන විසි එකෙහි ම සියලු තතු සඳහන් වුණා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව භාවනාවට ගන්නා ක්‍රමය සඳහන් වුණා. ධම්මානුපස්සනාවෙහි ද නීවරණ පිළිබඳ සියලු විස්තර සහ එය භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් වුණා.

ස්කන්ධ විදර්ශනාවේ රූප උපාදානස්ඛන්ධ, වේදනා උපාදානස්ඛන්ධ, සංඥා උපාදානස්ඛන්ධ, ආදී කොටස් ද මේවා භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් කළා. අද සඳහන් කරන්නේ ස්කන්ධ විදර්ශනාවේ අවසාන කොටස වන සංඛාර උපාදානස්ඛන්ධය පිළිබඳව යි.

පංචස්ඛන්ධයට අයත් සංඛාර යනුවෙන් චෛතසික පනස් දෙක ඇතුළත් වෙනවා. වේදනා සංඛාර දෙකට චෛතසික දෙකක් අයින් වූ විට පනහක් ඉතිරි වෙයි. සංඛාර උපාදානස්ඛන්ධය යනු මේ චෛතසික පනහ වෙයි. එය මනාකොට වටහාගෙන එකක් පාසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. කුසල්, අකුසල් චෛතසික දෙකම එකක් පාසා ම මෙනෙහි කිරීම ස්කන්ධ විදර්ශනාව යි. එනම් සංඛාර ස්කන්ධ විදර්ශනාව යි.

බාහිර සංඛාරය යනුවෙන් සඳහන් කිරීමේ දී නිර්වාණය හැර සියල්ල එනම්, මනු ලොව, දෙව් ලොව, සතර අපාය, අනන්ත ලෝක ධාතු පවා වැටෙන්නේ සංඛාර වලට යි. එවිට සංඛාර පිළිබඳ දැනීමක් අනිවාර්යෙන් ඇති කරගන්නට ම අවශ්‍ය යි. එවිට තමන්ට සියලුම චෛතසික නම් වූ සංඛාර අනිත්‍යය, දුක්ඛ, අනාත්ම, ලක්ෂණත්‍රයට යොමු කරවා ගන්න පුළුවන්. තම චිත්ත සන්තානයෙහි චෛතසිකයන් ගැන මනා අවබෝධයකින් නිවැරැදිව විපස්සනාව කරගත හැකි යි. විපස්සනාව කායික මානසික සුවය සඳහා ද, ධර්මාවබෝධය සඳහා ද හේතු වෙයි. චෛතසික පනහ පාඩම් කරගෙන ඉදිරියට පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකි යි.

සංඛාර උපාදානස්ඛන්ධ කොටසට බුදු දහමට අනුව අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වටහා ගන්නේ කෙසේද? එහි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු යි. කුසල් අකුසල් දෙක සම්මිශ්‍රණය වී හටගන්නා ආකාරය ගැන හොඳ දැනීමකින් චෛතසිකයෝ පිළිබඳ ව අවබෝධය හොඳින් ඇතිකර ගත යුතු යි. එවිට භාවනා පාඩම ඉදිරියට ගෙන යා හැකි යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ මනාව අවබෝධ කරගත්තේ තමන් වහන්සේගේ බුදු නුවණින්. දෙව්ලොව දී දේශනා කළ සප්තප්පකරණී අභිධර්ම දේශනාව තුළ අන්තර්ගත කරුණු අප්‍රමාණ යි. මාසයක් තුළ උන්වහන්සේ දේශනා කළ ධර්මය ලෙහෙසි පහසු නැහැ.

බුදුන් වහන්සේ පහදා දුන් සංස්ඛාර පිළිබඳ ව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ධර්මතාව හොඳට වටහාගෙන දියුණු කරගත්තොත්, නොපැකිල ව නිවන් මඟ ඉදිරියට යා හැකි යි. මේවා හොඳට වටහාගෙන ලොව්තුරු ධර්මය යනු කුමක්දැ’යි කටයුතු කළොත් ඉතාමත් ම වැදගත්. ශීල, සමාධි, ප්‍රඥා සංවරය හේතු භූත වන විශේෂ කරුණු ලෙස බුදුන් වහන්සේ අපට මේවා පහදා දුන්නේ. එය මනා කොට පහදාගෙන ඉදිරියට පිවිසෙන්න පුළුවන්නම්, වැදගත් වෙයි.

චෛතසික පනස්දෙක අතුරෙන් මුලටම ගන්නේ චිත්ත සාධාරණ චෛතසිකයන් ය. ඵස්ස චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වේදනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සංඥා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, චේතනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ඒකග්‍රතා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජීවිතේන්ද්‍රිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස චෛතසික පිළිබඳ ව එකක් පාසාම මෙනෙහි කළ යුතු යි. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය යනුවෙන් හතක් තිබෙනවා. මේ සර්ව චිත්ත චෛතසික සාධාරණ හත එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

තව ද මිශ්‍ර ප්‍රකීර්ණ චෛතසික යනුවෙන් විතර්ක, විචාර, අධිමෝක්ෂ, විරිය , ඡන්ද, පීති ආදිය හයක් තිබෙනවා. විතක්ක චෛතසිකය අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි. විචාර චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, අධිමෝක්ෂ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, විරිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඡන්ද චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පීති චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ චෛතසික දහතුන අන්‍ය සමාන චෛතසික නම් වෙයි.

එසේනම්, චෛතසික දහතුන පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගෙන එකක් පාසා ම මෙනෙහි කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගන්න පහසු යි. එහි එකක් මෙනෙහි කළත් වටිනවා. ස්පර්ශ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයම මෙනෙහි කරද්දී ද වටිනවා. එසේම සියල්ල අදාළ කරගෙන සංඛාර අනිත්‍ය යි, දුක්ඛයි, අනාත්ම යි. සියලු සංස්කාර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත් වටිනවා. මේ සෑම දෙයකින් ම ප්‍රකාශිත වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කළ දේශනාව යි.

බුදු දහමෙහි සැප, ආත්ම වශයෙන් ගන්නේ නැහැ. නිර්වාණය හැර කන බොන දේ, අඳින පළදින දේ, සිටින ස්ථාන, යාන වාහන ආදිය ලෝක ධාතුවේ ඇති සෑම දෙයක් ම අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් ගනි යි. එසේ නුවණ හුරු කර ගැනීමෙන් නො ඇලී , නො ගැටී වාසය කරන්න පුඵවන්.

මෙහි සඳහන් අන්‍ය සමාන චෛතසික දහතුන ම පාඩම් කරගෙන එකක් පාසාම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එය කොළයක සටහන් කළොත් පැහැදිලි වෙයි. නැතිනම්, අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව ආදිය පොත් සොයා ගෙන සිත් අසූ නවය , රූප විසි අට දැන ගත හැකි යි. පංචස්කන්ධය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගත යුතු යි.

සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි. එසේනම් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම විනාඩි පහක් මෙනෙහි කළොත් ආර්ය මාර්ගයෙහි ම ගමන් කරයි.

පංචස්ඛන්ධ විදර්ශනාවෙහි රූපස්ඛන්ධ විදර්ශනාව , රූප විසි අට පිළිබඳව ලිපිය හොඳින් දැන කියාගෙන පාඩම් කරගෙන මෙනෙහි කළ යුතු යි. වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, පසුගිය සතියේ සඳහන් වුණ අතර සංඛාර උපාදානස්ඛන්ධයේ සංඛාර දහතුනක් ගැන අද ඉදිරිපත් කළා. සර්ව චිත්ත සාධාරණ චෛතසික හතයි, අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික හයයි එකතු කළ විට දහතුන යි. මේ අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්නට කවුරුත් හුරු පුරුදු විය යුතු යි.

චිත්ත සමාධිය ධ්‍යාන අවස්ථාව දක්වා යා හැකි යි. ප්‍රඥාව ලබන්නට පුළුවන්. එය මොහොතින් මොහොත දියුණු කළ යුතු දෙයක්. ධර්මය පරිශීලනය කිරීමෙන් නුවණ දියුණු වෙනවා. ධර්මයට අනුව වැඩ කටයුතු නොකිරීමෙන් නුවණ පිරිහී යයි. ගුණ ධර්ම වියැකී යයි. පවට ගිජු වෙයි. සත්ත්ව ඝාතන, මවට පියාට නො සැලකීම ආදී පාපයන්ට යොමු වෙයි. කොයි කවුරු වුණත් ගුණයට දහමට ලැදිව ශීල, සමාධි, ප්‍රඥා දියුණුවෙන් , දුරාචාරයෙන් වැළකී නිති පන්සිල්, පෝයට අටසිල් ආදිය රැකිය යුතු යි. එවිට භාවනා ක්‍රම හොඳින් දියුණු වෙයි.

මෙම භාවනා ලිපියෙන් දැනුම ගෙන එය බොහෝ දෙනා අතරට පත් කළ යුතු යි. මේ කරුණු සටහන් කරගෙන අන් අයටත් කියා දෙන්න. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාවට පමණක් සීමා නොවී මෙවැනි ගැඹුරු භාවනා ක්‍රම පිළිබඳ දැනුමක් ඇති කරගත යුතු යි. එකක් පාසාම දැනීමක් ලබාගෙන අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහාගෙන මෙනෙහි කළ යුතු යි. සෑම දෙයකම ආදීනව දකින්න. අනුසස් බලන්න. සියලු දේ විනාශ වන ආකාරය, ඇතිවී නැතිවන ආකාරය දකින්න. එවිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න පුළුවන්. එසේනම්, පින්වත් ඔබත් ගුණ ධර්ම දියුණු කරගෙන, පාරමී පුරාගෙන ඉක්මනින් ම නිවන් පසක් කර ගනිත්වා!

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]