UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මියගිය ඥාතීන් අමතක නොකරමු

මියගිය ඥාතීන් අමතක නොකරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...

තස්ස මාතා පිතාභාතා
දුග්ගතායම ලෝකිකා
පාප කම්මං කරිත්වාන
පේත ලෝකං ඉතොගතා

කාරුණික පින්වතුනි, ඉහත දැක්වූ ගාථා පාඨය, සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු පාලියෙහි සඳහන් වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටි කාලයේ ‘පොට්ඨපාද’ නමින් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ මවත්, පියාත්, සහෝදරයාත්, මනුෂ්‍ය ලෝකයේ දී පව්කම් කළ නිසා පෙරේත ලෝකයේ ඉපදුණා. එහි දී ඔවුන්ට ඉදිකටුවලින් අනිනවා වාගේ නිතර ම වේදනා විඳින්නට සිදුවෙනවා. ක්ලාන්තය හැදෙනවා. නිර්වස්ත්‍රවයි සිටින්නේ. සිරුරේ ඇටකටු පමණයි ඇත්තේ. මස් නැහැ. සෑම මොහොතක ම කාලය ගෙවන්නේ බයෙන්, තැති ගැන්මෙන් යුතුවයි. කෲර දේවල් කළ ඔවුන්ගේ ශරීර පිටට දර්ශනය වෙන්නේ නැහැ.

සානුවාසී පර්වතයේ වැඩ වාසය කරන පොට්ඨපාද මහරහතන් වහන්සේ දිනක් පා ගමනින් වැඩම කරන අවස්ථාවක උන්වහන්සේගේ ගිහි ජීවිතයේ සොහොයුරා වූ මේ ප්‍රේතයා උන් වහන්සේට දර්ශනය වන ආකාරයට මාර්ගය අයිනේ සිටියා. නමුත් පොට්ඨපාද මහරහතන් වහන්සේ ඔහු ගැන එතරම් තැකීමක් නොකර ම වැඩම කළා. මේ අවස්ථාවේ එම ප්‍රේතයා තමන් උන්වහන්සේගේ මියගිය සහෝදරයා බව පවසා සිටියා.

‘පින්වත් ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේගේ මියගිය සොහොයුරා. ඔබ වහන්සේගේ මවත්, පියාත්, මමත්, දැන් සිටින්නේ ප්‍රේත ලෝකයේ යි. අප එම ප්‍රේත ලෝකයෙන් මුදවාලන්නට හැක්කේ ඔබ වහන්සේට පමණයි. දන්, පැන්, පූජාකර අපට පින් ලබාදෙන්න. එහෙම කියලා ප්‍රේතයා නෙපෙනී ගියා.

මේ රහතන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමඟ පිණ්ඩපාත කළ දානය සාංඝීක කළා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර දානය වැළඳුවා.

“මේ කුසලය මාගේ ඥාතීන්ට ලැබේවා! මේ පිනෙන් ඔවුන් සුඛී සුවපත් භාවයට පත්වේවා!” කියලා පුණ්‍යානු මෝදනා කළා. පින් අනුමෝදන් කරනවාත් සමඟ ම ඔවුන්ට රසවත් භෝජන පහළ වුණා. සුවඳවත්, රසවත් එම භෝජන ගැනීමෙන් පැහැපත් සිරුරකින් යුතු ව එම ප්‍රේතයා නැවතත් රහතන් වහන්සේ හමුවීමට ගියා.

‘අපට දැන් ප්‍රණීත ආහාර ඕනෑ තරම් ලැබෙනවා.නමුත් අප තවමත් සිටින්නේ නිරුවතින්. අපිට වස්ත්‍රයක් ලබාදීමට කළ හැකි දෙයක් වේ නම්, කරන්න කියා ප්‍රේතයා නොපෙනී ගියා. මේ රහතන් වහන්සේ කසළ ගොඩවල තිබූ රෙදි කැබැලි එකතුකර සිවුරක් මූට්ටු කර සතර දිසාවෙන් ම වැඩම කරන මහා සංඝරත්නයට පූජා කළා. එහි ප්‍රතිඵල හැටියට ඔවුන්ට නොයෙකුත් විසිතුරු ඇඳුම් ලැබුණා.

පසුදින යළිත් අර ප්‍රේතයා සානුවාසී පර්වතයේ වැඩ වාසය කරන රහතන් වහන්සේ හමුවීමට පැමිණෙනවා. ‘ස්වාමීනි, නන්දන රජතුමාගේ රාජධානියේ තිබෙන සියලුම සළුවලටත් වඩා වටිනා සළු අපට ලැබී තිබෙනවා. අපට දැන් කෑම බීම තිබෙනවා. ඇඳුම් පැළඳුම් තිබෙනවා.නමුත් ස්වාමීනි, අපට හරි හැටියට ඉන්නට තැනක් නැහැ. අපිට යම් විදිහකට ගෙයක් ලබාදීමට අවශ්‍ය දෙයක් කරන්නට උත්සාහ කරනවා නම් බොහොම වටිනවා. මෙසේ පවසා ප්‍රේතයා නොපෙනී යනවා.

‘සානුවාසී තෙරුන් වහන්සේ කොළ අතු සෙවිලි කර කුටියක් හැදුවා. ඒ කුටිය හතර දිසාවෙන් ම වැඩම කරන මහා සංඝරත්නයෙහි ප්‍රයෝජනය පිණිස පූජා කළා. මවටත්, පියාටත්, සහෝදරයාටත් පින් අනුමෝදන් කළා.

‘ඉදංමේ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ

මේ පින මාගේ ඤාතීන්ට ලැබේවා! මාගේ ඤාතිවරු සුවපත් වෙත්වා! කියලා පින් අනුමෝදන් කරනවාත් සමඟ ම ඒ අයට ගෙවල් පහළ වුණා. නොයෙක් කූටාගාර, නිවාස පහළ වුණා. නිසි පරිදි බෙදා පිළිවෙළකට වෙන් කරන ලද නිවාස ඔවුන් ලැබුවා. දිව්‍ය විමානවලට නොදෙවෙනි ආකාරයේ නිවාස ලැබීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා. සානුවාසී පොට්ඨපාද මහරහතන් වහන්සේ මහා සංඝරත්නයට කුටියක් තනා පූජාකර පින් අනුමෝදන් කිරීමේ විපාක හැටියටයි.

පසුදින යළිත් අර ප්‍රේතයා සානුවාසී මහරහතන් වහන්සේ හමුවීමට පැමිණියා.

කාරුණික පින්වත් ස්වාමීනි! අපිට යම් විදිහකින් පැන් ලබා ගැනීමට අවශ්‍ය දෙයක් කළ හැකි නම්, බොහොම වටිනවා යනුවෙන් පවසා මෙම ප්‍රේතයා නොපෙනී යනවා. ප්‍රේතයාගේ ඉල්ලීමට අනුව ඒ මහරහතන් වහන්සේ මහා සංඝරත්නයෙහි ප්‍රයෝජනය පිණිස පැන් කළ තැබුවා. පැන් පූජාකර මවටත්, පියාටත්, සහෝදරයාටත් පින් අනුමෝදන් කරනු ලැබුවා. පින් අනුමෝදන් කරනවාත් සමඟ ම ඉතාමත් පැහැපත් පොකුණක් ඔවුන් වෙනුවෙන් මැවුණා. ඕළු, නෙළුම්, මහනෙල් මලින් යුත් සීතල ජලය ඔවුන්ට ලැබුණා. එම පොකුණට බැස ජලස්නානය කරගත් ප්‍රේතයින් තිදෙනා ම රහතන් වහන්සේ හමුවීමට පැමිණෙනවා. ‘ස්වාමීනි’ අපට ඇති තරම් පැන් තිබෙනවා. නමුත් ඇවිදගෙන යන විට යටිපතුල් පැලෙනවා. අපිට ඇවිදින්නට හරිම අපහසුයි. අපිට යම් විදිහකින් ගමන් කිරීමට යානයක් ලබාදීමට හැකි දෙයක් කරනවා නම්, බොහොම වටිනවා’ යයි පවසමින් ඔවුන් නොපෙනී යනවා.

සානුවාසී තෙරුන් වහන්සේ පටි සහිත සෙරෙප්පු ජෝඩුවක් සකසා සිව් දිසාවෙන් ම වැඩම කරන මහා සංඝරත්නයට ප්‍රයෝජනය පිණිස පූජා කළා. එහෙම පූජාකර මගේ මවටත්, පියාටත්, සහෝදරයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියා ප්‍රාර්ථනා කළා.

පොට්ඨපාද මහරහතන් වහන්සේගේ මෙම ප්‍රාර්ථනාවත් සමඟ ම, ඔවුන්ට පහළ වූ රථයෙන් ඔවුන් තිදෙනා ම උන්වහන්සේ හමුවීමට පැමිණියා. එසේ පැමිණි ඔවුන් මෙසේ පවසා පොට්ඨපාද මහරහතන් වහන්සේ වන්දනාමාන කරන්නට වුණා.

‘ස්වාමීනි, ඔබ වහන්සේට යහපතක් වේවා! බත්වලින්, රෙදි පිළි වලින්, ගෙවල්වලින්, පැන්වලින්, යානාවලින්, අපට උපකාර කර ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුණා. කාරුණික වූ ගෞරවණීය හිමිපාණනි, අප මේ ආවේ ඔබ වහන්සේ වන්දනාමාන කරගැනීමට යයි පවසමින් ඔවුන් තිදෙනා එම ප්‍රේත ආත්මවලින් සැනසීමට පත් වූ බව පොට්ඨපාද මහරහතන් වහන්සේට පවසා නොපෙනී ගියා.

ඉතින් කාරුණික පින්වතුනි, මෙම ධර්ම දේශනාව තුළින් අපට දානයෙහි ඇති අනුසස් මනාව පැහැදිලි වෙනවා. ඒ වාගේ ම අප අතරින් වියෝ වූ ඥාති සමූහයා ගැන සිහිකර ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ ඇති වටිනාකම පැහැදිලි වෙනවා. බුද්ධ කාලයේ වැඩ විසූ මහරහතන් වහන්සේ නමකගේ මවත්, පියාත්, සහෝදරයාත්, මරණින් මතු ප්‍රේත ආත්ම ලැබූ බවටත්, පුණ්‍යානු මෝදනා තුළින් සුඛී සුවපත් භාවයට පත් වූ ආකාරයත් තහවුරු වෙනවා. එම නිසා හැකි සෑම අවස්ථාවක ම අපිත් මියගිය ඥාතීන් වෙනුවෙන් පින්කම් කිරීමට අදිටන් කරගනිමු. ඒ තුළින් ඔවුන් සුවපත් භාවයට යොමුකරළීමට කටයුතු කරමු.

උතුම් තෙරුවන් ගුණ බලයෙන් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා. අවසන අමාමහ නිවන් සුව ලැබේවා.

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]