කමටහන් වඩා
රහත් ඵලයෙහි පිහිටියහ
රාජකීය
පණ්ඩිත,
ශාස්ත්‍රපති
මහරැඹෑවැවේ පාලිත හිමි
අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ධම්මදින්න හිමියන් හා උන්වහන්සේගේ කමටහන් ආචාර්යවරයන්
වහන්සේ වූ රෝහණ විහාරවාසී මහාතිස්ස තෙරුන් වහන්සේ අතර ඇති වු සංවාදයකි.
එනම් රහත් නොවී රහත් යන හැඟීමෙන් කටයුතු කළ, සිය කමටහන් ආචාර්යවරයාගේ වැරැදි හැඟීම
බැහැරකොට ධම්මදින්න හිමියන් විසින් කමටහන් ලබා දී උන්වහන්සේට රහත් වන්නට අවශ්‍ය
පසුබිම සකස් කිරීම පිළිබඳ කතාව යි. එය ඇතුළත් වන්නේ අංගුත්තර නිකාය අටුවාවෙහි ය.
රෝහණ විහාරවාසි මහාතිස්ස හිමියෝ උපසපන් වූ කාලයේ පටන් ම අෂ්ට සමාපත්තිලාභී තෙරනමක්
වූ හ. සමවතින් යටපත් වූ කෙලෙසුන්ගේ ඉපදීමක් නැති බැවින් තෙරුන් වහන්සේ සැට වස් පිරී
කල්හි ද තමා පුහුදුන් කෙනෙකැ යි නො දැන සිටියහ. එක් කලක මාගම තිස්සමහාරාමයේ
භික්ෂූහු තලගුරු වෙහෙර ධම්මදින්න හිමියන්ට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කළහ.
ධම්මදින්න තෙරණුවෝ පිරිස සමඟ එහි වඩින්නට පිටත් ව තමන් වහන්සේට වඩා වැඩිමහලු
හිමිනමක් කැඳවාගෙන යාම සුදුසු යැයි සිතා තමන් වහන්සේගේ කර්මස්ථාන ආචාර්යවරයා වු මහා
තිස්ස තෙරුන් වෙත ගොස් දිවා ස්ථානයෙහි හුන් හිමියන්ට වත් දක්වා වැඳ එකත්පසෙක හුන්හ.
එවිට මහාතිස්ස තෙරණුවෝ ඇවැත් ධම්මදින්නයනි, කලකට පසු මෙහි වැඩියේ කුමක් නිසාදැයි
විචාළහ. එවිට ධම්මදින්න තෙරණුවෝ පවසන්නේ ස්වාමීන් වහන්ස, තිස්සමහාරාමයෙන් මට ධර්ම
දේශනාවකට වඩින්නට ආරාධනාවක් ලැබිණි. ඒ සඳහා ඔබ වහන්සේත් කැටුව යාමට පැමිණියෙමියි
කීහ. එයින් පසුව දෙදෙනා වහන්සේ අතර තවදුරටත් තොරතුරු සාකච්ඡා වූ අතර ඒ සංවාදය මෙසේ
ය.
ධම්මදින්න හිමියන් :– ස්වාමීනි, මහාතිස්ස හිමියනි.ඔබ වහන්සේ ධර්මාවබෝධය කරන ලද්දේ
කවර කලක සිටි ද?
මහාතිස්ස හිමියන් :– ඇවැත් ධම්මදින්නය මා ධර්මාවබෝධය කරන ලද්දේ මීට හැට වසරකට
පෙරාතුව ය.
ධම්මදින්න හිමියන්:– ස්වාමීනි, තිස්ස හිමියනි,එසේ නම් මේ ස්ථානයෙහි පොකුණක් මවනු
මැනවි.
මහාතිස්ස හිමියන් :– එසේය, ධම්මදින්නය, එය එතරම් අමාරු නොවේ යැයි පවසා තෙරුන්
වහන්සේ එකෙනෙහි ම පොකුණක් මැවී ය.
ධම්මදින්න හිමියන් :– හොඳයි ස්වාමීනි, එම පොකුණෙහි නෙළුම් පඳුරක් මවනු මැනවි.
මහාතිස්ස හිමියන් :– එසේය ධම්මදින්නය, යනුවෙන් තෙරුන් වහන්සේ එකෙනෙහි ම එම පොකුණෙහි
නෙළුම් පඳුරක් මැවූහ. නැවතත් ධම්මදින්න තෙරණුවෝ හොඳයි, ස්වාමීනි, එම පොකුණෙහි වු
නෙළුම් පඳුරෙහි නෙළුම් මලක් මවනු මැනවි පැවසූහ. එකෙණෙහි ම තෙරුන් වහන්සේ එසේය
ධම්මදින්නයනි, යනුවෙන් පවසා එහි මනහර නෙළුම් මලක් මැවූහ.
නැවතත් ධම්මදින්න තෙරුන් වහන්සේ හොඳයි ස්වාමීනි, එම පොකුණෙහි වු නෙළුම් පඳුරෙහි වූ
නෙළුම් මලෙහි සොළොස් හැවිරිදි කතක් මවනු මැනවි’යි පැවසූහ.
නැවතත් තෙරුන් වහන්සේ එසේය ධම්මදින්නයෙනි, යනුවෙන් පවසා එහි මනහර නෙළුම් මලෙහි
සොළොස් හැවිරිදි කාන්තා රූපයක් මැවූහ.
අවසානයෙහි ධම්මදින්න තෙරණුවෝ ස්වාමීනි, හොඳමයි. ඔබ වහන්සේ විසින් මා විසින් කියන ලද
සියල්ල මවන ලදී. ඔබ වහන්සේගේ ඍද්ධිමය භාවය පිළිබඳ මම සතුටු වෙමි. එසේ නම් ස්වාමීනි,
අවසාන වශයෙන් ඔබ වහන්සේ විසින් මවන ලද කාන්තා රුපය ගැන සුබ වශයෙන් යළි යළිත් සිතනු
මැනවැයි පැවසූහ.
එසේ මෙනෙහි කරන තිස්ස තෙරුන්ගේ සිතෙහි රාග චේතනාවක් උපනි. එකෙනෙහි ම තමා නො රහත් බව
හෙවත් පුහුදුන් බව දැනගත් තිස්ස හිමියන් ලජ්ජාවට පත්ව ධම්මදින්න හිමියන් ළග
උක්කුටිකව හිඳ “සත්පුරුෂය මට පිහිට වන්න” යැයි ඉල්ලී ය.
ඉන්පසු ධම්මදින්න හිමියන් මහා තිස්ස තෙරුන්ට අසුභ කමටහන් කියා දී භාවනාවට අවශ්‍ය
පසුබිම සකස්කොට දී එතැනින් වැඩම කළහ. ධම්මදින්න හිමියන් එතැනින් බැහැරවන්නට පෙරාතුව
ම තිස්ස තෙරුන් වහන්සේ කමටහන් වඩා රහත් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති ධම්මදින්න තෙරණුවෝ
මහාතිස්ස හිමියන් සංඝස්ථවිරයන් කොට තිස්සමහාරාමයට වැඩියහ. |