නිවන් මඟ අවුරණ
පංච නීවරණ
මෙලොව උපත ලද අප හැම මෙම දුර්ලභ වූ මනුස්ස ජීවිතය පිළිබඳ ව අවබෝධයෙන් බැලිය යුතු ය.
මනුස්ස යන වචනයේ අරුත වනුයේ උසස් වූ මනසක් ඇති බව යි. උසස් වූ මනසක් ඇති ව උපදින අප
මෙම මනුස්ස ආත්මය ලබන්නට පෙර භවයේ කො පමණ පින් කරන්නට ඇති ද? (දුර්ලභංච මනුස්සත්තං)
යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ මනුස්ස ආත්මයක් ලැබීම දුර්ලභ බව යි.
මෙසේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබුව ද, අප සංසාරයේ නිවන් දකින තුරාවට ගමන් කළ
යුතු ය. එසේ ගමන් කරන විට අපට විවිධ වූ බාධකයන්ට මුහුණපාන්නට සිදු වෙයි. බෞද්ධයාගේ
පරම වූ අභිලාශය වනුයේ නිවන ලබා ගැනීමයි. මෙසේ නිවනට ගමන් කරන අපට ඒ නිවන කරා යන
ගමනට බාධා කරන, නිවන් මඟ අවුරණ කරුණු පසක් දක්නට ලැබේ. එම කරුණු පස නම්, පංච නීවරණ
ධර්මය යි.
කයින් හෝ වචනයෙන් පුද්ගලයා අයහපතට යොමු කරවන චෛතසික ධර්මයන් කෙලෙස් යනුවෙන්
හඳුන්වනු ලබයි. මෙම කෙලෙස් ධර්ම පුද්ගලයාගේ අධ්‍යාත්මික ජීවිතයට බෙහෙවින් ම බලපායි.
ක්ලේශයන්ගේ ස්වභාවය වනුයේ පිරිසුදු වූ සිත අපිරිසුදු කිරීම ය. මෙම කෙලෙස් ධර්ම
අතුරින් පහක් නීවරණ යනුවෙන් හඳුන්වනු ලබයි. එම නීවරණ පස නම්,
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච ,විචිකිච්ඡා යනුවෙනි.
ආත්මාර්ථය හා පරාර්ථය දැන ගැනීමට ද, මෙලොව,පරලොව දියුණුව දැන ගැනීමට ද ඉඩ නොදී
ආවරණය කරන නිසා ද මෙම ධර්ම පස නීවරණ ධර්ම යනුවෙන් හඳුන්වා දී ඇත. මෙම නීවරණ ධර්මවලට
වහල් වී සිටින, ඒවා නතර කිරීමට වෙහෙස නො ගන්නා, හොඳ නරක තේරුම් ගැනීමට නොහැකි වූ
විට , අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට අපොහොසත් වෙයි.
කාමච්ඡන්ද
කාමය, ඡන්දය යන වචන දෙකෙන් ම ප්‍රකාශ වනුයේ ආශාව සහ ලෝභය යි. පෘථග්ජන පුද්ගලයන්
ආශාවන් කරා, උමතුවෙන් ගමන් කරයි. මේ නිසා සසර බැඳ තබයි. විශේෂයෙන් ම ඇස. කන, නාසය,
දිව, ශරීරය පිනවීම කාමච්ඡන්ද ලෙස හැඳින්විය හැකි ය. මේ නිසා මම ය, මාගේ කියා හැම
දෙයක් ම තමන් සතු කර ගැනීමට උත්සාහ කරයි. මේ නිසා ක්ලේශ ධර්මයන් වැඩි වෙයි. කල්‍යාණ
මිත්‍ර සේවනය, ඉන්ද්‍රිය සංවරය යන මේවා තුළින් කාමච්ඡන්දය නතර කළ හැකි ය.
ව්‍යාපාද
ව්‍යාපාද යනු ක්‍රෝධය, ද්වේශය, වෛරය යි.යම්කිසි කෙනෙකු කෙරෙහි නොයෙක් කාරණා
නිසාවෙන් තරහක්, අමනාපයක් ඇති වේ නම්, ඒ ව්‍යාපාදය යි. වර්තමාන සමාජයේ ද විවිධ වූ
ආරවුල් ඇතිවීමට ප්‍රධාන හේතුව වනුයේ මේ තරහ ඒම නිසා ඇති වන විවිධ බලපෑම් ය.
(කුද්ධෝ අත්ථං න ජානාති) යනුවෙන් හඳුන්වා ඇත්තේ කිපුණු තැනැත්තා කිසි යහපත් වැඩක්
නො දන්නා බවයි. තව ද (කුද්ධෝ ධම්මංන පස්සති) කිපුණු තැනැත්තාට කො පමණ ධර්මය
පරිශීලනය කළ ද, ඇසුව ද, එය පිහිටන්නේ නැත යනුවෙනි)
ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ ව ඉවසීම බුද්ධ දේශනාවේ සඳහන් වේ. සමාජය තුළ විවිධ මනුෂ්‍ය
ඝාතන ,ජීවිත හානි සිදු වීමට ප්‍රධාන හේතුව ඉවසීම නොමැතිකම යි. ව්‍යාපාදය නැති
කිරීමට ඉවසීම ප්‍රගුණ කළ යුතු ය. දේශනාවේ සඳහන් වනුයේ (ඛන්ති බලං බලාණිකං) යනුවෙනි.
එනම්, ඉවසිම මහා බලඇණියක් ලෙසයි.
ථීනමිද්ධ
ථීනමිද්ධ යනු උදාසීන බව යි. ථීන යනු සිතෙහි හට ගන්නා උදාසීන බවයි. මිද්ධ යනු
චෛතසිකයන්ගේ හට ගන්නා උදාසීන බව යි. අප කුසල් දහම් සිදු කරන විට අලස නො වී එවායෙ හි
නියැලිය යුතු ය. එයින් තමන් අපේක්ෂා කරන අරමුණු කරා ලෙහෙසියෙන් ම පිය නැඟිය හැකි ය.
වීර්යය යනු ථීනමිද්ධයට ප්‍රතිවිරුද්ධ පදය යි. දේශනාව තුළ ථීනමිද්ධය දුරලීමට හේතු වන
වීර්යයන් 3 ක් සඳහන් කර ඇත. එනම්,
ආරම්භක ධාතු – යමක් කිරීමට පටන් ගන්නා වීර්ය ය,
නික්ඛම්ම ධාතු – වැඩක් කර ගෙන යන අතරතුර ඇති වන වීර්ය ය,
පරක්කම ධාතු – වෙනත් බාධක මැඩ ගෙන තම කටයුත්ත කර ගෙන යා හැකි වීර්යය යනුවෙනි
අප ජීවිතයේ ඕනෑ ම කටයුත්තක් නිසි සේ ඉටු කර ගැනීමට මෙම වීර්යයන් තුන අවශ්‍ය වේ.
උද්ධච්ච කුක්කුච්ච
අලු ගොඩකට ගලක් ගැසූ කල අලු ගොඩ ඇවිස්සෙ යි. එ පරිද්දෙන් සිතෙහි ඇවිස්සුනු හා නො
සන්සුන් භාවය උද්ධච්ච නම් වේ. කුක්කුච්ච යනු කුකුස යි. තමන් ජීවිතයේ කරන පව් ගැනත්,
නො කරන කුසල් ගැනත්, සිත සිතා දුක් වීම, පසුතැවීම කුක්කුච්ච යි. මෙම දෙකට ම
ප්‍රතිවිරුද්ධ ධර්මය නම් සමාධිය යි. සිත සමාධි ගත කිරීම තුළින් උද්ධච්ච කුක්කුච්ච
නැති කර ගත හැකි වෙයි.
විචිකිච්ඡා
විචිකිච්ඡා යනු සැකය යි. අපට නොයෙක් අවස්ථාවල සැකය ඇති වෙයි. මෙම නීවරණයක් හැටියට
ගන්නා සැකය නමස් බුද්ධාදී අටතැන් පිළිබඳ ඇති වන සැකය යි. බුදුන් වහන්සේ, ධර්ම
රත්නය,සංඝ රත්නය සැක කිරීම, අතීත භාවය, අනාගතය සැක කිරීම ආදි වශයෙන් මේවා පිළිබඳව
ඇති සැකය නිසා පුද්ගලයාට ධර්මය මනා ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වෙයි. එවැනි සැකයන්
ඇති වූ විට වෙනත් අය සමඟ සාකච්ඡා කිරීමෙන් එම සැකය දුරු කර ගත හැකි ය.
මේ අනුව බලන විට නීවරණ නිවනට බාධාවකි. එමෙන් ම මෙලොව පරලොව යහපතට ද බාධාවකි.
එබැවින් අප බෞද්ධයන් හැටියට නිවැරැදි ව ධර්මය ප්‍රගුණ කොට එම දුබලතා මඟ හරවා ගැනීමට
උත්සාහ කළ යුතු ය.
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති,
වත්තේගම රතනසාර හිමි |