බිනර අව අටවක 2018.10.02
වැදගත් පූර්වාදර්ශයක්
ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සාදීන්ට හසුවෙමින් සසර කතරේ අතර මං නොවී,
සුමේධ තාපස ව සිටිය දී දීපංකර පාද මූලයේ දී අතට පත් නිවන් සුවය පසෙක තබා සියලු ලෝ
සතුන් වෙත පතළ මහා කරුණාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරණය කොට
අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ලෝ සත සසර දුකින් මුදවනු
පිණිස පන්සාළිස් වසක් පුරා උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක. සම්බුද්ධ
පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනය දෙක ම ශාස්තෘන් වහන්සේ වන
බව පෙන්වා වදාළහ.
ඒ සදහම් මග යා යුතු අවබෝධයෙන් ම ය. අනවබෝධයෙන් නොවේ. සිහිබුද්ධියෙන් මිස අසිහියෙන්
ද නොවේ. පුහුදුන් ජීවිතයේ අශිෂ්ට බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්නට උපාය සොයන්නෝ,
අනවබෝධය තුළ, අසිහිය තුළ ශ්‍රී සදහම් මග යනවා යැයි මිරිඟුවකට හසුවන අය ඉල්ලමක් කොට
හඟිති. ඒ ඉල්ලමෙන් වහා ප්‍රයෝජන ගන්නට සිතා ධර්මය විකෘති කරමින් ස්වකීය පෞද්ගලික
අදහස් පළ කරමින් පටු අරමුණු මුදුන් පමුණුවා ගන්නට යෙදිය හැකි සියලු උපාය යොදති. ඒ
චීවරයට සමාජය තුළ ඇති නමස්කාර පූර්වක ගෞරවයේ නාමයෙනි. එවැන්නෝ බුද්ධ කාලීන භාරතයේ ද
වූ හ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුහු කැඳවා නිවැරැදි කළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන්
පසු ද එවැන්නෝ වූ හ. ධර්මාශෝක රාජ්‍ය සමයේ ද, අශෝක අධිරාජයා මොග්ගලී පුත්තතිස්ස
මහරහතන් වහන්සේගේ අනුශාසනය ඇති ව එවැනි අධර්මවාදී භික්ෂු වෙස්ගත් සියල්ලෝ සම්බුදු
සසුනෙන් නෙරපා හැරියහ. ඒ සම්බුදු සසුන අපිරිසුදු වීම වැළැක්වීමට ය. අද ද එහි වෙනසක්
නොවේ. ප්‍රත්‍ය පහසුකම් බලාපොරොත්තුවෙන්, ජනපි‍්‍රයත්වය, අධිකාරීත්වය අරමුණෙන්
ශ්‍රී සද්ධර්මයේ මුවාවෙන් අසද්ධර්මය පතුරුවා හරින්නට ඇතැම් භික්ෂු වෙස්ගත්තෝ ද සමහර
ගිහියෝ ද උත්සාහ කරති. සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන, බොදු දනට
නිවැරැදි දහම් මග කියා දෙන සුපේශල, ශික්ෂාකාමී, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ
අපමණ වෙති. ඉතා ම ස්වල්ප පිරිසක් පමණක් එවැනි සටකපටකම් කරති. එහෙත් අඳබාලයන්ගේ
ක්‍රියාවන් සේ සලකා එවැනි අධර්මිෂ්ටකම් බැහැර නො කළ යුතු කිරි කළයට ගොම බිඳක් මුසු
වීමෙන් කිරි කළය ම විනාශ වී යන්නා සේ එවැන්නෝ නිසා නිර්මල සම්බුද්ධ ශාසනයට මහත්
විපතක් විය හැකි නිසා ය. මෙහි දී බොදු ජනතාව අවදියෙන් සිටිය යුතු ම ය.
අන්ධභක්තියෙන් යුතු ව, කෙනෙක් කියන දේ ඒ ආකාරයෙන් පිළිගැනීම බුදුරජාණන් වහන්සේ
අනුමත නො කළහ. යමක් පිළිගත යුතු නුවණින් විමසීමෙනි. එසේ නොවූ විට සිදු වන්නේ සත්‍ය,
අසත්‍ය තෝරා ගන්නට නොහැකි ව අතර මං වී අපාගත වන්නට ය.
භික්ෂු සමාජය තුළ ගැටලු ඇති කරන එවැනි අසද්ධර්මචාරීන් කිහිප නමකට පසුගිය දා මල්වතු
මහා විහාරයේ දී තරයේ අවවාද කොට නැවත එවැනි වැරැදි නොකරන්නට කටයුතු සැලසීම ඉතාමත්
කාලෝචිත බව ධර්මයට ලැදි අතිමහත් බොදුනුවන්ගේ ම අදහස ය. ඒ වැදගත් පියවර ආදර්ශ
සම්පන්න ය. වැරැදි කරන්නන් ඉන් මුදවා සම්බුදු දහමේ චිරස්ථිතියට ගත් අගනා පියවරක්
වනවා සේ ම වැරැදි මග යන්නට සිටින අයට ද අනතුරු ඇඟවීමක් වනු ඇත.
වර්තමානයේ ලේඛන කාර්යයේ නියැළෙන ඇතැම් ගිහියෝ ද බෞද්ධාගමික සංකේත තමන්ගේ පටු අදහස්
මුදුන් පමුණුවා ගන්නට විවේචනය කර ඇති අවස්ථා දැක ඇත්තෙමු. බෞද්ධාගමිකයන් අපහාසයට
ලක් කරමින් ලියන අවස්ථා ද ඇත. ඔවුන් සැබෑ ලේඛන කලාව හඳුනන්නෝ නොවෙති. විටෙක ගම්‍ය
වන්නේ ද වාග් කෝෂයේ අල්පබව ය. ලේඛකයෙක් ලෙස නමක් හදාගන්නට ආගම දහම, අනර්ථවත් ලෙස
උපයෝගී කරගෙන සිදු කරන මෙවැනි ලියවීම්වලට ද ඉඩ නොතැබිය යුතු ය. ඔවුන්ට මතු භවයේ දී
දඬුවම් ලැබෙන තුරු බලා නො සිට මේ භවයේ දී ම අශිෂ්ටකම් ප්‍රදර්ශනය නොකරන්නට දැඩි ලෙස
අවවාද කළ යුතු ය. ඒ මතු පරම්පරාව වැරැදි අවබෝධයන්ට නතුවීමෙන් වළකනු සඳහා ය.
|