UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදුදනට කරුණාවෙනි : විමසීමෙන් තොර ඉදිරිපත් කිරීම් ගැන ඉවසීමෙන් අවධානයට

විමසීමෙන් තොර ඉදිරිපත් කිරීම් ගැන ඉවසීමෙන් අවධානයට

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් තුන් මාසයක් ගිය තැන පැවැත් වූ පළමු ධර්ම සංගායනාවටත්, ඉන් අනතුරු ව ශාසනික පැවැත්මට කළ සියලු ක්‍රියාවලියේ දී ත් අනුග්‍රහය, දායකත්වය හා ආරක්ෂාව සැලසුණේ රජවරුන්ගෙන් බව පැහැදිලියි. මේ නිසා ලෞකික වශයෙන් ආරක්ෂාවක් ඇති කරගත යුතු තැන නුවණැති ව ආරක්ෂාව ඇතිකර ගත යුතුයි.

එහෙත් භික්ෂූන් වහන්සේ තරහව, අමනාපය, ගැටීම ආදියෙන් දුරස්විය යුතුයි. ගෘහස්ථ ජීවිතවල පවත්නා ආශාවන්ගෙන් කරන කටයුතුවලින් බැහැරව ම අධ්‍යාත්මිකව ජීවිතය උසස් තත්ත්වයක පවත්වාගැනීම ඉතාම අවශ්‍යයි. පැවිදි ජීවිතයේ අරමුණ සියලු දුකින් නිදහස් ව නිවන ලබා ගැනීම බව සිහිය පවත්වා ගැනීම බොහෝ ගැටලුවලින් නිදහස්වීමට අවස්ථාවක් කර ගත හැකියි.

ගෘහස්ථ ජීවිතයක් ගත කරන උපාසක, උපාසිකාවන් පවා භික්ෂූන් වහන්සේලා දෙස බැලිය යුත්තේ පිය කෙනෙක්, මව් කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියක් දරුවෙක් දෙස බලන ආකාරයෙනුයි. තමන්ගේ ම දරුවෙක් හෝ මවුපියන් අතින් වරදක් සිදු වූ විට රහසේ ඒ වරද හදා, රටට ලෝකයාට කෑ ගසා නොපෙන්වන්නා සේ, නොදක්වන්නා සේ බුද්ධ ශාසනයේ යම් භික්ෂුවක් තුළින් හෝ සාමණේරයන් වහන්සේ නමක් වෙතින් සිදුවන වැරැද්දක් දැක කළකිරීමකට පත් නොවිය යුතුයි. දහමෙන් ඈත්වීමට එය හේතුවක් කර නොගත යුතුයි.තවදුරටත් ඉදිරියට යමින් රටට, ලෝකයාටත් ඒ වරද මතුකොට දක්වමින් නින්දා කිරීමට වඩා ඒවා කරුණාවන්ත ව සකස්කර ගැනීමට කෙසේ ක්‍රියා කළ යුතු දැයි සිතා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ විශාඛා මහා උපාසිකාව, අනේපිඬු සිටාණන්, ආදී දායක දායිකාවන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැවැත් වූ පිළිවෙත් පිළිබඳ ව සිතා බැලිය යුතුයි.

වස්සාන කාලයේ ආරම්භයේ වැසි සළුවක් හෙවත් රෙදි කැබැල්ලක් පිළිගන්වා වස්සාන කාලය තුළ වැඩ සිටින්නැයි සිදු කරන ආරාධනාවන් පිළිබඳව සොයා බලන්න. තෙත් වූ තුන්සිවුර ම වේළාගන්නට අවස්ථාවක් නැති වූ විට නග්න ව ස්නානය කළ සමහර භික්ෂූන් දුටු එදා දායක ඇත්තන් බුදුරජාණන් වහන්සේට කරුණාවෙන් කරුණු පෙන්වා දී සුදුසු පිළියම් කළ ආකාරය වර්තමානයේ යම් යම් ශාසනික ගැටලුවලදී දායක ඇත්තන් විසින් සිතා බැලිය යුතු තැන් හැටියට සඳහන් කරනවා. ඒ ඒ අයගේ පුද්ගලික චරිත තුළින් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙස නොබැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළත් දෙව්දත්, ජබ්භවග්ගිය භික්ෂූන් වහන්සේලා, සත්තරස වග්ගිය භික්ෂූන් වහන්සේලා, ඡන්න භික්ෂුව වැනි පිරිස් මෙන් ම, අරිට්ඨ, ශාති වැනි භික්ෂූහු බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය දී ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් යම් දහම් කරුණු නිවැරැදි නොවන බවට කරුණු ප්‍රකාශ කරන්නට වූ හ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂූන් වහන්සේලා ගෙන්වා ඒවා නිවැරැදි කරනු ලැබූ සේක.

වර්තමානයේ ද ශාසනය තුළ එවැනි අවස්ථා ඇතිවිය හැකි ය. එවැනි අවස්ථාවක ශාසන භාරදාරී මහ තෙරුන් වහන්සේලා විසින් ඒ ඇත්තන් ව ගෙන්වා ධර්ම විනය පිළිබඳ ව මනා අවබෝධයක් ඇති භික්ෂු සංඝයා රැස්කරවා, කරුණාවෙන් සාකච්ඡා කොට ප්‍රශ්න විසඳා රටට හා පාලක පක්ෂයට දැනුම්දිය යුතු බව කරුණාවෙන් සඳහන් කළ යුතුයි.

එදා බුදුරජාණන් වහන්සේගේ දවස විශාඛා, අනේපිඬු සිටුවරයා, බිම්බිසාර රජු, කොසොල් රජු වැනි අය බුද්ධ ශාසනයේ පැවැත්මට උපකාර කළා සේ ම, නොයෙක් ආකාරයේ දෘෂ්ඨීන් ගත් අය ද සිටියා. හැට දෙකක් දෘෂ්ඨීන් පැවැතුණු එදා ජන සමාජයේ බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අකැමැති ව ක්‍රියා කළ ආකාරය ඉතා පැහැදිලියි. ඒ අතර බුද්ධ ශාසනයට ළංව වූ සුප්ප්‍රබුද්ධ රජතුමා, චින්චිමානවිකාව, දෙව්දත්, මාගන්ධියා වැනි පිරිස් සමහර අවස්ථාවන් හි මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය පිළිබඳ අප සිහිපත් කළ යුතුයි. එනම් බුද්ධ ශාසනයේ ම සිටි දෙව්දත් තෙරුන් නායකත්වය ගෙන බොහෝ උපාසක උපාසිකාවන් ශාසනයෙන් බැහැරට ගෙන බොහෝ පිරිසක් හදාගෙන කළ ශාසන විරෝධී කටයුතු පිළිබඳ ව සිහිපත් කළ යුතුයි.

එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, එනම් අත්හැරීම, අනිත්‍ය, දුක්ඛ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත, සංඛාර වස්තු ප්‍රත්‍යන්ගේ විසිරී යෑම නිසා ඒ ඵලයන් ද නැතිවන බවට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ආකාරයකින් වෙනස් කළේ නැහැ. කාලයට අනුව හෝ පිරිස්වලට අනුව වරද සිදු කරන පිරිස්වලින් බේරෙන්නට යැයි කිසිවිටෙකත් ශ්‍රී සද්ධර්මය වෙනස් වුණේ නැහැ. වෙනස් කළෙත් නැහැ. එසේ එදා ඇති වූ බොහෝ ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිතුරු දෙනු ලැබුවා. භික්ෂු සංඝයා උනන්දු කරනු ලැබුවා.

මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ශාස්තෘවරයා විය යුත්තේ ධර්ම විනයයි. යම් ගැටලු ඇති වූ අවස්ථාවන්වල දී සතර මහෝපදේශ අනුව කටයුතු කළ බව පැහැදිලියි. මේ නිසා තම තම අදහස්, පුද්ගලික අදහස් කිසිදු විමසීමකින් තොරව ඉදිරිපත් කිරීමෙන් සිදුවන ශාසන විලෝපය පිළිබඳ ගිහි පැවිදි අප දෙපාර්ශවය ම සිහිපත් කළ යුතුයි.කෙටියෙන් සඳහන් කරන්නේ නම්, භික්ෂූන් වහන්සේලා විසින් උපාසක උපාසිකාවන් තමන්ට මේ ලෙස ගරු කරන්නේ සීලය, සමාධිය ප්‍රඥාව අනුගමනය කරන පිරිසක් නිසා ම බව නිතර සිහිපත් කළ යුතු සේ ම ගිහි ඇත්තන් විසින් ද අප මේ ගෞරව කරන්නේ, පූජා කරන්නේ ගිහි සමාජය තුළ සිට පැවිදි ජීවිතයට පත් වූ අපේ ම දරුවන්, මවුපියන් වැනි පිරිසකට නේද කියන හැඟීම සිහිපත් කළ යුතුම යි. ඒ වගේ ම යම් යම් පුද්ගල චරිත වෙනුවෙන් දොස් කියන්නට හෝ විරුද්ධවාදී ව කටයුතු කරන්නට පෙළඹන්නේ නම්, එහි විපත සිදුවන්නේ බුද්ධ ශාසනයට බව සිහිපත් කරගත යුතුමයි. එලෙස ම තම තමන් විසින් නුවණින් දහම දැක ධර්මය අවබෝධ කරගත යුතු වැඩපිළිවෙලක් බව අවබෝධ කරගත යුතු අතර ම බාහිර අරමුණු නිසා අකුසල් සිදු කරගත්තේ නම් නිරයට යන්නට සිදුවන බව ද සිහිපත් කළ යුතුයි.

සම්බුද්ධ ශාසනයට එකතුවන පිරිස හඳුන්වන්නේ බුද්ධශ්‍රාවක ශ්‍රාවිකා යනුවෙනි. ඉන් අනතුරුව අප භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යනුවෙන් ද හඳුන්වා ගන්නවා. භික්ඛු කියන වචනයේ අර්ථ රාශියක් පවතින අතර ඉන් අදහස් කිහිපයක් සඳහන් කරන්නේ නම් “සසර බිය දක්නා සුළු නිවන් මඟ අරමුණු කරනවා කියන අදහසයි.

එලෙස ම ගෘහස්ථ ජීවිතයේ පවතින කාමා දී අකුසල ධර්මයන්ගෙන් නිදහස් ව ගෘහස්ථ ජීවිතයේ පවතින ඇලීම් බැඳීම්වලින් නිදහස්ව සිය පියාපත් පමණක් බර ඇති පක්ෂියෙක් මෙන් අහසක් බඳු ව නිදහස් ව සිතන්නට පුළුවන් ජීවිතයක් පවත්වනවා යන අදහසයි. ඒ වගේ ම භික්ෂාව හෙවත් පිණ්ඩපාතය ලබමින් පිඬු පිණිස හැසිරෙමින් ජීවිතය පවත්වනවා කියන අදහසයි. මේ අදහස් පෙළ ඔස්සේ භික්ෂු භික්ෂුණී යන්න නිර්වචනය කරන්නට පුළුවනි.

ගිහි පිරිස හඳුන්වනු ලැබූයේ උපාසක, උපාසිකා යනුවෙනි. උපාසක උපාසිකා පිරිස හඳුන්වා දී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි දැන අවබෝධයෙන් යුක්ත ව පැහැදීමක් ඇතිකර ගත් පිරිසක් ලෙසටයි. ඒ පිරිස හඳුන්වන්නේ උපාසක, උපාසිකා පිරිස හැටියටයි.

මේ උපාසක උපාසිකා පිරිස අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ලෙසට පංචශීලය ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේ ම මේ උපාසක, උපාසිකා පිරිස ධර්ම විනය පිරිපුන් භික්ෂූන් දකින්නට කැමැත්තක් ඇති කර ගැනීම, ඒ වගේ ම සම්‍යක් ප්‍රඥාව දියුණු කරගෙන ධර්මය ධාරණය කර ගැනීම, ධාරණය කරගත් ධර්මය විමසා බැලීම, එය ආරම්මණයන් ඔස්සේ ගළපා බලමින් රාග,ද්වේෂ,මෝහා දී කෙලෙසුන් සන්සිඳෙන ආකාරයෙන් කටයුතු කිරීම අවසානයේ මම ය, මාගේ ය කියන සක්ඛාය දිට්ඨිය බැහැර කරමින් විදර්ශනා නුවණින් සියලු සංඛත සංඛාර වස්තු ත්‍රිලක්ෂණයට යටත් කොට දැක ගැනීමයි. ඒ වගේ ම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් වූ ස්කන්ධ පංචකය සම්මුතිය තුළ ‘මම මගේ කියා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් පඨවි ආදී හේතූන්ගෙන් සකස් වූ බැවින් ‘මම මගේ’ කියා හැඳින්වූවත් ඒ පඨවි ආදී ධාතුන්ගේ විසිරීමෙන් ඒ පුද්ගල සංඥාව බැහැර වන බව දැන රාගා දී කෙලෙස්වලින් බැඳීමට හෙවත් කර්ම රැස්කර ගැනීමට හේතුවක් නොමැති බවත් නුවණින් අවබෝධ කර ගැනීමයි.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]