මහා සමය සූත්‍රය
02 කොටස
ගල්කිස්ස
උසස් බාලිකා විද්‍යාලයේ
සහකාර විදුහල්පති ශාස්ත්‍රපති
බුස්දුල්ලේ
සිරිධම්ම හිමි
මහරජ, සමගි වූවන් අතර කිසිදු පිරිහීමක් දක්නට නො ලැබෙන්නේ යැයි දේශනා කරමින් නෑයන්
ඇමතූ බුදුරදුන්, රජවරුනි තෙපි නෑදෑයෝ ය. නෑයෝ සමගියේ විසිය යුතු ය.
සමගිය ඇතිවිට සතුරෝ ඉඩ නො ලබති. සිත් පිත් නැති වෘක්ෂයන්ගේ ද සමගිය පවතින්නේ ය. පෙර
ඇති වූ මහ සුළඟක දී මහ සල් වනයක මහ රුක් පැළෑටි ගස් වැල් ආදියෙන් එකට වැළඳගෙන සිටිය
හෙයින් එක ගසකුදු බිම පතිත නොවූ බව පැහැදිලි කරමින් රුක්ඛධම්ම ජාතක කතාව දේශනා කළහ.
පෙර බරණැස බඹදත් රජු සමයෙහි පළමු වෙසමුනි රජ චුත විය. ශක්‍රයා වෙනත් වෙසමුණි රජකු
පත් කළේ ය. ඔහුගෙන් පසු උපන් වෙස්සමුණු රජු කැමති කැමති තැන්වල විමන් හදා ගන්නා ලෙස
පිරිසට කී ය. එකල වෘක්ෂ දේවතාවෙකු ව උපන් බෝසතුන් එළිමහනේ ගස්වල විමන් නොගෙන
සල්වනයෙහි සිය විමන පිරිවරා විමන් ගන්නා ලෙස දැන්වූහ. නුවණැත්තෝ එසේ කළහ. සෙස්සෝ
ගම් ආදි ඇසුරේ සිටීම ප්‍රයෝජනවත් යැයි සිතා එළිමහනේ වූ ගස්වල විමන් ගත්හ. ඇති වූ
අකල් වැසි කුණාටුවකින් එළිමහන් හි වු තනි ගස් මුලින් උපුටා වැටිණි. සල් වනයේ එක
ගසකුදු බිම නොවැටිණ. අතරමං වූ දෙවිවරු සල්වනයට ගොස් ඒ බව බෝසතුන්ට කී හ. නැණවතුන්ගේ
බස් නොගෙන පිහිටක් නැති තැනට යන්නෝ මෙබඳු තත්ත්වයන්ට පත්වෙනවා යැයි බෝසතුන් කී ය.
බුදුරදුන් කරුණු කාරණා අවධාරණය කරද්දී ශාස්තෘන් වහන්සේ නිසා අපේ දූ පුතුන් ආරක්ෂා
වුණේ යැයි කල්පනා කළ දෙරට වාසීන් ශාස්තෘන් වහන්සේ ගිහි ගෙයි වාසය කළේ නම් දෙදහසක්
කුමරුන් පිරිවර කොට චතුර්මහද්වීප රාජ්‍යයන් ඔහුට අයත් වන්නේ ය. දහසකට අධික පුත්‍රයෝ
වන්නා හ. එහෙයින් ක්ෂත්‍රියයන් ම පිරිවර සහිතව හැසිරේ. එ නිසා දෙනුවරවාසී
කුමාරවරුන් දෙසිය පනස් දෙනා බැගින් දෙනුවරින් පන්සියයක් පැවිදි කිරීමට බුදුරදුන්ට
ලබා දුන්හ. බුදුරදුන් ඔවුන් පැවිදි කර මහ වනයට වැඩි සේක. ඔවුන් පැවිද්ද කෙරෙහි
අකැමැත්තෙන් පසු වූ නිසා පෙර බිරින්දෑවරු ඔවුන් උපැවිදි කර ගැනීමට උත්සාහ ගත්හ.
බුදුරදුන් භික්ෂු පිරිස ශාසනයෙහි කළකිරුණු බව දැන තමන් වහන්සේ සමඟ වාසය කරද්දීත්
එසේ වීම නුසුදුසු යැයි තීරණය කළහ. කුණාල විලට රැගෙන ගොස් කළකිරීම නැති කරන්නේ යැ’යි
සිතූහ. ඔවුන් තමන් වහන්සේගේ සෘද්ධියෙන් කුණාල විලට එක්ක ගියහ. එම විල පෙන්වා එහි
වසන මත්ස්‍යයන්ගේ නම් නොදන්නේ නම් තමන් වහන්සේගෙන් අසන්නයැ’යි දේශනා කළහ. භික්ෂූන්
වහන්සේ විමසූ සියලු ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්හ. ඉක්බිතිව
පක්ෂීන් දෙදෙනෙකු විසින් මුව තුඩෙන් ඩැහැගෙන දඬුවෙක හුන් කුණාල පක්ෂි රජ
ඉදිරියෙන්ද, පිටුපසින් ද, දෙපැත්තෙන් ද, පක්ෂි සමූහයා පිරිවරාගෙන එයි. භික්ෂූහු
පක්ෂියා දැක ස්වාමීනි මෙ තෙමේ මේ පක්ෂීන්ගේ රජ විය යුතු යැයි මොවුහු පිරිවර විය
යුතු යැයි සිතමුයි කීහ. බුදුරදුන් එය එසේම බව දෙසූ හ. අනතුරුව කුණාල ජාතකය දේශනා
කළහ. දේශනාව අවසානයේ සියල්ලෝ ම සෝවාන් ඵලයෙහි පිහිටිය හ.
එම සෝවාන් මග සමගම සෘද්ධි බලයට පත්වූහ. බුදුරදුන් සියල්ලට ම පෙර මහ වනයට වැඩම කළහ.
බුදුරදුන්ගේ ආනුභාවයෙන් කුණාල විලට පැමිණි භික්ෂූන් තම තමන්ගේ ආනුභාවවලින් නැවත මහ
වනයට වැඩම කළ හ. බුදුරදුන් එම භික්ෂූන් අමතා කෙලෙස් දුරුකිරීම සඳහා කමටහන් දුන්හ.
ඔවුන් හුදකලාව වසමින් භාවනා කළහ. බුදුරදුන් ද භික්ෂූන් වහන්සේලා නියත වශයෙන් ම
සියලු කෙලෙසුන් නසා තමන් හමුවට පැමිණෙන බවත් ඔවුන් පැමිණි කල්හි සක්වල දෙවියෝ එක්
සක්වලකට රැස්වන බවත් එනිසාම මහත් සමූහයක් සපිරෙන බවත් දැන එළිමහනෙහි වැඩහුන්හ.
කෙලෙසුන් නැසූ භික්ෂූන් පිළිවෙළින් පැමිණ බුදුරදුන්ට වැඳ එකත්පසෙක වැඩ හුන්හ.
රහතන් වහන්සේලා වෙතින් ලක්ෂණ දෙකක් පෙන්නුම් කෙරේ. තමන් ලබාගත් ශ්‍රේෂ්ඨත්වය
දෙවියන් සහිත ලෝකයා දැනගත්තේ යැයි සිත උපදී. තමන් ලැබූ ශ්‍රේෂ්ඨත්වය අන්‍යයන්ට
ප්‍රකාශ කරනු කැමැත්තෝ නොවෙති. බුදුරදුන් රහතන් වහන්සේලා පිරිවරා කිඹුල්වත්පුර මහ
වනයෙහි වැඩවාසය කරති. බුදුරදුන් හා රහතන් වහන්සේලා වැඩවාසය කරද්දී අසඤ්ඤි රූපාවචර
දෙවියෝ ද, සමාපන්න දෙවියෝ ද යන බොහෝ දෙවිවරු මහ වනයට රැස්වූහ. මෙලෙසින් දස දහසක්
සක්වල දෙවියෝ ම එහි රැස්වූහ.
අනතුරුව දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසකට වූහ. දෙවිවරු කිහිපදෙනෙක්
බුදුරදුන්ට අදහස් ඉදිරිපත් කළහ.
මේ මහ වනයෙහි දිව්‍ය සමූහයා රැස් වූ මහා සමාගමකි. කෙලෙසුන්ගෙන් නොපැරදුනු මහා සංඝයා
දක්නට මේ සමාගමයට පැමිණියෙමු.
එහි රැස්වූ සියලු භික්ෂුහු තමන් සිත එකඟ කළහ. තමන් සිත සෘජු කළහ. රියදුරා රිය
හසුරුවන්නාක් මෙන් නුවණැත්තෝ ඉඳුරන් රකිතියි පැවසී ය.
ඒ රහත්හු පසස් ඇති බුදුරදුන් විසින් මොනවට දැමුනාහු කෙලෙස් හුල හිඳ කෙලෙස් කනයම සිඳ
රාග, ද්වේෂ, මෝහ ඉන්ද්‍රඛීලය උදුරා පියා තෘෂ්ණා නැතිව පිරිසුදුව නිර්මලව හැසිරේ.
යම් කෙනෙක් බුදුන් සරණ ගිය විට ඔහු අපාගාමී නොවේ. මියයනවාත් සමඟම දිව්‍ය ලෝකයේ
උප්පත්තිය ලබයි. |