UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුව සෙත සලසන වස්සාන සමය

සුව සෙත සලසන වස්සාන සමය

බොහෝ දෙනාට ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැබෑ ලක්ෂණයයි. ගෞතම බුදුරදුන් ලොව පහළ වූ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී ශාස්තෘවරයාණන් ය.

සාධාරණ හා යුක්තිගරුක යැයි හැඟුණහොත් අන් මත ගරු කොට සැලකීම බුදුරදුන්ගේ සිරිත ය. තත් කාලීනව පැවැති බොහෝ අරුත් සුන් ආගමික ක්‍රමවේදයන් යථාර්ථවාදී හා ආර්ය දර්ශනයට අනුගත කොට, දෙලොව සුව සලසන ක්‍රියාවලියක් ලෙස සංස්කරණය කොට සමාජ ගත කිරීමට උන්වහන්සේට සිදු විය.

බුදුරදුන් අනුදත් “පෙර හා පසුවස් විසීම” යැයි වස් විසීම් දෙකකි. පෙර කී පරිදි බුද්ධ ප්‍රඥප්තියට අනුව ඇසළ පෝදාට පසුදා වස් එළඹීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. යම් සාධාරණ හේතු මත එදිනට වස් විසීමට නොහැකි වූ යතිවරුන්ට නිකිණි පෝදා වස් විසීමට අනුදත්හ. මෙය “පසුවස්” නම් වේ.

මෙලෙස ශාසනික වැදගත්කමකින් යුත් වස් විසීමේ චාරිත්‍රය ලංකාවට පැමිණියේ බුදුසසුන පිහිටුවාලීමෙන් පසුවය. ඒ අනුව මිහිඳු මා හිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිසක් ‘අරිට්ඨ’ මහ රහතන් වහන්සේ ප්‍රධාන 56 ක් වු රහතන් වහන්සේලාත් දෙවන පෑ තිස් රජුගේ ඇරයුමින්, එතුමා විසින් ඉදිකර දෙන ලද “අටසැට ලෙන්වල” වස් එළිඹියහ. මෙය ලක්දිව සිදුවු ප්‍රථම වස්සූප ගමනයයි. මේ දක්වා මෙම උතුම් චාරිත්‍රය වසර දහස් ගණනක් මුළුල්ලෙහි බොදුනුවන් විසින් පරපුරින් පරපුරට නොසිඳ පවත්වා ගෙන එනු ලැබේ.

වස් කාලය එළඹෙත් ම ඒ ඒ විහාරස්ථානයට සම්බන්ධ දායක පිරිස දැහැත් ගොටු හා වැසි සළු රැගෙන තම ආරාමයන් වෙත ගොස් වස් විසීම සඳහා භික්ෂූන් වහන්සේට ආරාධනා කරති. වස් සිව් මාසය සිව්පසයෙන් උවටැන් කරමින් හා පිළිවෙත් පිරීමෙහි යෙදෙමින් සැදැහැබර ව ක්‍රියා කරති. වස් ආරාධනාව ලද භික්ෂුව ද විශේෂිත ගුණ දහම් සුරකිමින් තමන්ට සිව්පසය ලබා දෙන දායක පිරිසට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරමින් වැඩ වෙසෙති. එබැවින් වස් විසීම ගිහි – පැවිදි දෙපක්ෂයට ම වැඩ සිදුවන්නකි. භික්ෂූන් වහන්සේලා ධර්මය අධ්‍යයනයෙහි හා භාවනා කර්මයෙහිත් යෙදී වෙසෙති. උන් වහන්සේලාට උවටැන් කරන දායක පිරිස ද මෙසේ පින් සිදු කර ගනිති.

සිල්වත් පැවිදි උතුමෝ යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වැඩ වෙසෙත් නම් එහි මිනිසුන් කයින් වදනින් හා සිතින් (ත්‍රිවිධද්වාරයෙන්) ‘පුණ්‍ය’ නමැති ධනය රැස් කර ගනිතියි තථාගත දේශනාවෙහි දැක්වේ.

සැබැවින් ම වස්සාන සමය බොදුනුවන්ට පුණ්‍ය කාලයෙකි. කාර්ය බහුල දිවිපෙවෙතක් ගත කළද බොහෝ සැදැහැවතුන් මේ අවදිය තුළ බොහෝ ආමිස, ප්‍රතිපත්ති පූජාවන් සිදු කරනු ලබයි. තායි හා බුරුම ජාතිකයෝ මාසය හෝ තෙමස බැගින් පැවිදි වී වස්සානයෙහි විශේෂ අධ්‍යාත්මික චර්යාවන්හි නියැළෙති. සමාධි භාවනා වැඩීම වැනි මානසික (චිත්ත) සංවර්ධනය තුළින් ආර්ය මාර්ගයෙහි මස්තකයටම පිවිසෙති. බොහෝ විට එම රටවල රජවරු ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද පැවිදිවී සිටිනු දක්නට ලැබේ.

වස් ආරාධිත දිනයෙහි සිට කඨින පින්කම සිදුවන දිනය දක්වා වන මෙම වස්සානයෙහි බොදුනුවන් වන ඔබට කෙතරම් කුසල් දහම් වැඩිය හැකි ද? ඔබේ සිතිවිලි හා ක්‍රියාවන් හි සංයමයක්, කළමනාකරණයක් හා පිවිතුරු බවක් ගෙන දෙන යම් භාවනාවක නිරත විය හැකි ද? ලබා ගත් උසස් මිනිසත් බවින් කොපමණ ඵල නෙළා ගත හැකි ද? ඔබ ඔබට ම මඳක් සංවේදී වී ආවර්ජනයක යෙදෙන්න. යා යුතු – නොයායුතු මඟ වටහා ගන්න. තමන් කවුද? යන්න හඳුනා ගන්න. එයට මේ සුබ කාලයයි. මේ පුණ්‍ය කාලයෙහි ශ්‍රද්ධාව හා ප්‍රඥාව (නුවණ) මෙහෙයවා ඔබට කළ හැකි පින්කම් අපමණ ය. පින්කම් කිරීමෙන් තම සිත පිවිතුරු වී යහපත් සෞඛ්‍ය සම්පන්න, ප්‍රසන්න කෙනකු වන බව ඔබට නොවැටහේ ද? නිමල බුදුදහමින් ඔබ සුන්දර මාවතකට ඔසවා තබන බව ඔබට පසක් වනුයේ මෙලෙස අධ්‍යාත්මික ලෝකයට පිවිසීමෙන් පමණක් බව නිරතුරුව මෙනෙහි කරන්න. නිතර සිනහවෙන් පුරවා ගත් මුහුණ කෙතරම් පි‍්‍රයංකර ද? තම කාර්යාලයෙහි වැඩ පළෙහි, කම්හලෙහි හෝ පාසලේ දී ඒ තුළින් ඔබට කොපමණ පිළිගැනීමක් ලැබෙයිද? මේවා කවදා හෝ මුදලට ගත නොහැකි හෘදයාංගම චර්යාවන් ය. ලබා ගත හැකිවන්නේ ඔබ දහම් මඟට පිවිසිය හොත් පමණි.

මේ වස් සමය තුළ ඔබගේ විහාර පරිශ්‍රය තුළ සිදුවන පිළිසකර කිරීම්, ශ්‍රමදාන ආදියට ශ්‍රමයෙන් හෝ ඔබට දායක විය හැකියි නේද? එතුළින් ගමත්, පන්සලත් අතර සබැඳියාවය වැඩි දියුණු වී මනා ආකල්ප සපිරි පි‍්‍රයශීලි වූවන් වීමට හේතුවනු නියත ය.වස්සානයෙහි අපේ මුතුන් මිත්තන් හුරු කොට දායාද කළ මෙම සද් චාරිත්‍ර අපේ දූ පුතුන්ටද දැනුවත් කොට පවුලෙහි සැම දෙනම පන්සල වෙත පිය මං කිරීම, වත් පිළිවෙතෙහි යෙදීම කෙතරම් ආස්වාදජනක ද? ඔබ මුළු හදින් පිළිගන්නට විහාර පරිශ්‍රයම සූදානමින් සිටියි. ඔබට මෙත් සිතින් ආසිරි පතන්ට අපේ යතිවරුන්ද සූදානමින්ය. සැනසුමට මඟ එයයි. දෙලොව විමුක්තිය ලැබෙනුයේ එතුළිනි.

කාර්ය බහුල වුව ද ඔබගේ මානසික හා කායික විඩාවන් දුරු කොට ප්‍රබෝධජනකව , ශාන්තව සිතන්නෙකු කොට මනා සංයමයෙන් හා යහපත් දැක්මකින් ඉදිරියට යන්ට බුදුදහම අපට හොඳ මාර්ගෝපදේශකත්වයක සිටිනවා. පමා නොවී ඔබ කළ යුතු දේ අදම කරන්න. පසුතැවිලි වන්නකු නොවන්න. අධ්‍යාත්මිකව ඔබ පොහොසත් වන තරමට ඔබේ ලෞකික (මෙලොව) දිවි මග සුන්දර කරනවා. එසේ නොවී යන ගමන “වනයෙහි අන්ධව හැසිරෙන කුළු හරකෙකු බඳු යැයි දහම පවසනවා.

වත්මන් ලොව විද්‍යාව හා තාක්ෂණයෙන් උසස් , ඉදිරියට ද අප මවිත කරවන නිර්මාණ හා උපකරණ අපට හමු වෙයි. මේ නිෂ්පාදකයන්ට හසු නොවූ විද්‍යාත්මක සත්‍යතාවයන් බුදුනුවණට හසු වුණා. එබැවින් හැම අතින් ම බුදුදහමේ පෙන්වා දෙන යථාර්ථයට ඔබ වහ වහා පිවිසෙන්න. තරුණ දුවේ, පුතේ ඔබ ද පමා වූයේ නැහැ. අද ම ඔබේ යොනිසො මනසාකිරය තුළින් විමසා දහමට පිවිසෙන්න. නිරර්ථක කෙලෙස් වඩන, සිත කළඹන, නිසරු දේ බැහැර කරන්න. එවිට ඔබ හොඳ සාර්ථක දියණියක හෝ පුතෙකු සහෘදයෙකු ලෙස සමාජගත වන බව අවධාරණය කරන්න.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]