UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සේරුවාවිල මහ සෑරදුන් වහන්සේ

ඓතිහාසික සේරුවාවිල මහ සෑරදුන් වහන්සේ

ඓතිහාසික සේරුවාවිල මංගල මහ සෑ රදුන් අබියස පැවැත්වෙන නිකිණි මහා පූජෝත්සව පින්කම් මාලාව මෙම මස 25 වනදා සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා පැවැත්වේ.

සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදුකෙරේ.

විදේශීය පාලන සමයන්හි දී සේරුවාවිල පුදබිම විනාශයට පත්ව තිබූ අතර දඹගස්ආරේ ශී‍්‍ර සුමේධංකර නා හිමිපාණන් වහන්සේ සිංහල ධාතුවංශය හදාරා තිබූ හෙයින් උන්වහන්සේ සේරුවාවිල පුදබිම සොයා දුෂ්කර ගමන් මගක නිරතවූහ. දඹගස්ආරේ සුමේධංකර නා හිමියන් දොඩන්දූවේ සිට තිරිකුණාමලය දක්වා රුවල් නැවකින් වැඩමවා, එතැන් සිට බත්තලකින් මුත්තූර් වෙත ද, එහි සිට බක්කි කරත්තයකින් තෝප්පුවට ද වැඩම කර වූහ. අනතුරුව අලි ඇතුන් ගමන් කළ පා සටහන් ඔස්සේ ඓතිහාසික සේරුවාවිල පුදබිම සොයා වැඩම කළ බව කියැවේ. එවකට ගරා වැටී තිබූ මංගල සෑ රදුන් ඩී. ඩී. වීරසිංහ මුදලිතුමා මුල්කර ගනිමින් ප්‍රතිසංස්කරණය කරවූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ 1931 දී කොත් පැළඳවීමේ පුණ්‍යෙීත්සවය පැවැත්වූහ. සේරුවාවිල ප්‍රජා සංවර්ධනයට උන්වහන්සේ කළ මෙහෙවර අපමණ ය.

සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1984 දී පමණ අපවත්වී වදාළහ. අනතුරුව විහාරාධිපති ධූරයට පත් වූ සේරුවාවිල සරණකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිදුෂ්කර ජීවන රටාවක් ගත කරමින් එහි වැඩ සිටියහ. මාවිල්ආරු උපවාසය සඳහා දැවැන්ත මෙහෙවරක යෙදෙමින් ඉමහත් මෙහෙවරක් සිදු කළ උන්වහන්සේට මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගෙන් ඊට අනගි සහායක් ලැබිණි.

මුංහේනේ මෙත්තාරාම නා හිමියන් විසින් ධර්ම ශාලා මන්දිරය මහරගම විලියම් පික්චර් පැලස් ආයතනයේ අනුග්‍රහයෙන් ද, සංඝාවාසය යටියන්තොට සුනිමාල් සමූහ ව්‍යාපාරයේ ගුණසේකර පවුලේ ඤාතීන්ගේ දායකත්වයෙන් ද, පැරැණි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරවීමෙන් ද, එම විහාරාංග නැවත ප්‍රතිසංස්කරණය කරවීමෙන් ද, එම විහාරාංග විවෘත කිරීම ද මෙම පින්කම් මාලාවට සමගාමීව සිදු කිරීමට කටයුතු යොදා ඇත.

හතළිස් වසරකට පසු සේරුවාවිල සතිපිරිත් දේශනාව ද මෙම නිකිණි පෝදා යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

සේරුවාවිල ලලාට ධාතු නිකිණි මහා පින්කම මෙවර පැවැත්වෙනුයේ 94 වන වරට ය. සේරුවාවිල මංගල චෛත්‍ය වර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව, ශ්‍රී සුමේධංකර දහම් පාසල ආදී සංවිධානවල මෙන් ම දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය ආයතනවල ද අනුග්‍රහයෙන් පැවැත්වෙන එම පින්කමට දිනපතා ලලාට ධාතු පූජා, ධර්ම දේශනා, සතිපිරිත් දේශනාව ආදී පින්කම් රැසක් ඇතුළත් වේ.

සේරුවාවිල නිකිණි මහා පෙරහර ජාතික සංහිඳියාව අරුත් ගන්වමින් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජනකොටස්වල සහභාගිත්වයෙන් නර්තනාංග රැසකින් හා අලි ඇතුන්ගෙන් සමන්විතව සැප්තැම්බර් 01 වනදා වීථි සංචාරය කෙරේ. මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සේරුවිල ප්‍රධාන බස්නායක නිලමේ සංජය ප්‍රදීප් කුමාරසිංහ මහතා ප්‍රමුඛ සංවිධායක කමිටුව මෙහෙයවීමෙන් එය සිදු කෙරේ.

සේරුවාවිල පෙරහර මාවත කාපට් අතුරා පිළිසකර කරවා ඇති අතර නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට සංවිධායක කමිටුව පියවර ගෙන ඇති බවත් මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ පවසති.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]