නිකිණි පුර අටවක 2018.08.18
වෙසෙස් මෙහෙවරක්
මැහැල්ලක් මඟ අයිනක තල වේළමින් සිටියා ය. දිසාපාමොක් ආචාර්යතුමා සිය ගෝලයන් සමඟ ඒ
අසලින් දිය නාන්නට ගියේය. එක් ගෝලයෙක් තල මිටක් සොරෙන් ගෙන කෑවේය. මැහැල්ල
අනුකම්පාවෙන් එය ඉවසුවා ය. දෙවැනි, තෙවැනි දිනයේ ද එය සිදුවිය. මැහැල්ලගේ ඉවසීම
දුරුවිය. ගෝලයන් හදන්නේ මෙසේදැයි ඇදුරුතුමාට දොස් නැගුවා ය. ඔහු ඒ වේලේම තල සොරා කෑ
දරුවාට දඬුවම් කළේ ය. ගුරුවරයා සමඟ වෙර බැදගත් හේ මතු කලෙක පළි ගන්නෙමැයි සිතුවේ ය.
රාජ්‍යත්වය ලද පසු ගුරුවරයා කැඳවා එදා දුන් දඬුවම සිහිපත් කළේ ය. අමාත්‍යවරුන්
ඉදිරියේ ගුරුතුමා කීවේ තමන් එදා එසේ දඬුවම් නොදුන්නා නම් රජෙක් වෙනුවට අද සිටින්නේ
සොර දෙටුවෙක් බව ය. අමාත්‍ය මණ්ඩලයද ඒ කතාව අනුමත කළේ ය. මේ ජාතක කතා පොත් වහන්සේ
තුළ එන ‘තිලමුට්ඨි ජාතක’ කතාවේ සාරාංශයකි.
අඳුර දුරු කර ලෝකය ඒකාලෝක කරන්නේ හිරු ය. ලෝකය ගැන නොතේරෙන , හරි වැරැදි නොදන්නා
කුඩා දරුවන්ගේ ලොවෙහි ද විවිධාකාර අඳුරු පැල්ලම් තිබේ. ඒ අඳුර දුරු කිරීමෙහිලා ගුරු
මව්පියවරුන්ගේ මෙහෙවර විශිෂ්ට ය. දරුවාගේ අඳුර දුටු තැන, වරද දුටු තැන ඔවුහු ඊට
පිළියම් යොදති. නිය පොත්තෙන් කඩන්නට ඇති දෑ පොරවෙන් කපන්නට සිදුවන තුරු සැබෑ
ගුරුවරයෙක් බලා සිටින්නේ නැත. අතීතයේ සිට අද දක්වාද ඔවුහු බොහෝ දෙනෙක් ඒ කාර්ය භාරය
අකුරට ඉටු කරති.
දෙවිවරුන් වන් ගුරුවරුන් යැයි වහරේ එන්නේ ද සිය ශිෂ්‍යයන් වෙනුවෙන් වූ කරුණාව නිසා
මය.
ගුරුවරු අතර වත්මන් සමාජයේ වෙසෙස් තැනක් හිමි වන්නේ පාසල් ගුරුවරුන්ට ය. පෞද්ගලික
පන්ති ගුරුවරු ද එහිදී ප්‍රධාන වෙති. ඒ අතර බොහෝ විට ඇගයීමට ලක් නොවන, සුවිශේෂී
යැයි නොසිතන ගුරු පිරිසක් ද වෙති. ඒ දහම් පාසල් ගුරුවරු ය. ගමේ පන්සලේ , ගමේ
දරුවන්ට දහම් පොතපතින් දැනුම ලබා දෙන්නා සේම ඔවුහු දරුවන්ට ගුණ දහම් කියාදෙති. පොදු
කටයුතුවලට,පින්කම්වලට දරුවන් සහභාගි කරවති. ඒ සඳහා ඔවුන් කැප කරන කාලයට, ශ්‍රමයට ,
බුද්ධියට මිලක් අය කර ගන්නේ නැත.
“නිස්සරණාධ්‍යාශයෙන් දහම් පාසල් ගුරුවරු තම බුද්ධිය, ශ්‍රමය, කාලය, ධනය ද වැය
කරමින් සේවය කරනවා. ඔවුන්ගේ සේවාවේ අගය මිල කරන්න බැහැ. එහෙත් දහම් පාසල් ගුරුවරුන්
කරන සේවාවේ අගය බොහෝ අය වටහාගෙන නෑ” යනුවෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ
ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී ගෝනදූවේ ගුණානන්ද, හිමියෝ පසුගියදා පානදුර ශ්‍රී මහා
විහාරස්ථායේ පැවැති උත්සවයකදී අවධාරණය කර තිබුණි. මේ බොහෝ අය අතරට දහම් පාසල්
දරුවන්ගේ මව්පියන්ද අයත්වන බව අපගේ හැඟීම ය. තමන්ගේ දරුවාගේ ගුණ යහපත්කම් ඔප්
නංවන්නට අමිල මෙහෙවරක් කරන ගමේ දහම් පාසලේ ගුරු මවට, ගුරු පියාට නිසි ගෞරවය ලබා
දෙන්නට මවුපියන්ද අමතක නොකළ යුතු ය. බොහෝ විට එවැන්නක් නොපෙනේ. දරුවන්ගේ වටිනාකම
වඩාත් දැනෙනේ මව්පියන් ට ය.
ඇතැම් ළමයින්ගේ ගුණ ධර්ම ඇත්තේම නැතිතරම් බවට අද සමාජයෙන්ම චෝදනා නැඟේ. එහෙත් වරද
දරුවන්ගේ නොවේ. ඔවුන්ට නිසි මග පෙන්වීමක්, මෙහෙය වීමක් නොලැබීම ඊට ප්‍රධාන හේතුවකි.
යහපත් ළමා පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් එහිදී දහම්පාසල ගෙන යන ව්‍යායාමය
උත්කෘෂ්ඨය. එහි පුරෝගාමීහු දහම් ගුරුවරු ය.
යහපත ඇගයීම තුළ ලැබෙන උත්තේජනය තවත් යහපත් දෑ වැඩි වැඩියෙන් කරන්නට පෙළඹවීමකි. දහම්
ගුරුවරු ඇගයිය යුතු එහෙයින් ය.
නැණ නුවණින් සේ ම ගුණ දහමින් ද ළමා පරපුර පෝෂණය නොවූයේ නම් අනාගතයේ අපට දකිනු හැකි
අනුන්ගේ දුක නොහඳුනන, ආත්මාර්ථකාමී යාන්ත්‍රික වූ මිනිස් පරපුරක් ය. එවැනි සමාජයක
වයෝවෘද්ධ මව්පිය රැකවරණය, අන්‍යෝන්‍ය උපකාරය. සාමය, සහජීවනය බලාපොරොත්තු වීම ඵල
රහිත ය.
අද අදම කළ යුතු ඒ මඟ වසා නිවැරැදි මඟ දරුවන්ට විවර කර දීම ය. එහිදී දහම් පාසල්
ගුරුවරු ඇගයීම ද, වෙසෙස් ආයෝජනයක් වන්නේ අප සිතනවාට වඩා වෙසෙස් යහපත් කාර්ය භාරයක්
ඔවුන් අතින් ස්වේච්ඡාවෙන්, අපගේම දරුවන් වෙනුවෙන් ඉටුවන නිසා ය.
|