ත්‍රිවිධ රත්න රැකවරණය
සසර වසන තුරු
නිවන් දකින තුරු
සතර අපායට නොයවා
රැකවරණය සලසා දෙන
එකම සදාකාලික රැකවරණය
බුද්ධ, ධම්ම, සංඝ
ත්‍රිවිධ රත්නය යි
වි.ජ.මු. ජයතිලක බණ්ඩාර
වික්‍රමසිංහපුර
ලෝක තිවංකර බුදු සමිඳේ
මනසා නන්දන නිඳුකාණෝ බෝ සෙවණේ බුදු වුණ සමිඳේ
පරමානන්දන කුසිනාරාවේ සල් උයනේ පිරිනිවී සමිඳේ
සවනානන්දන සපිරූ ඔබ ලොවිඳු තිලෝගුරු බුදු සමිඳේ
ජගනා නන්දන ඉසුරාණෝ ඔබ බව නිම කළ සම්බුදු සමිඳේ
මහීපාල ඒ සිරිසේන
තුල්හිිරිය , අලව්ව
නිසරු දිවිය
සිලි සිලි නදින්
හඹා යන මද සුළඟ
අතර නිති ඇද හැලෙන
අමෝරා වැසි අතර
නිබඳ අඟු පිලට වී
සියුම් සිතිවිලි අතර
වැහි පිහිලි කෙළවරින්
ඇද හැලෙන වැසි අතර
බුර බුරා පැන නඟින
ලොකු කුඩා පෙණ බුබුළු
දිලිසි දිලිසී ඉපිල
නැසී වැනසී යනෙන යුරු
පසන් සිතිවිලි තුළට
නිසරු දිවියෙහි අරුත
පසක් වේ මැ’යි නිතර
බී. ආර්. දයානන්ද
ගම්පහ
රාහුල පොඩි හාමුදුරුවෝ
පොඩි හිමි ලකුණ බඳු බොදු ශාසනය තුළ
වැඩි හිටි සඟ රුවන නිති ආදරය කළ
දැඩි විනයකින් තම දිවි මඟ එළිය කළ
පඬි රුවනක් නොවෙද රාහුල හිමි එකල
පෙර තම පියා දැන් සම්බුදු හිමිය දැන
කර පෙන්වා නොමැත කෙනෙකුට පුහු මාන
වරදක් නොසිදුවෙයි සැම නිවැරැදිව වුණ
පෙර භව පුරා ගෙන ආවද දැහැමි ගුණ
විශ්‍රාමලත් පරිවේණාචාර්ය
පී. බී . ගුණරත්න
සුමනතිස්ස පිරිවෙන, දෙහිවල
මරණය
භව උපත සිදු වෙයි
ජීවන ගමන එළඹෙයි
ලෙඩ දුක ද පැමිණෙ යි
නියත මරණය ළඟම සිදු වෙයි
උඩුකුරුව සයනය
පැවසෙයි මෙයට මරණය
නියතමයි මරණය
ඇයි ඉතින් මේ ශෝක ජනනය
ඇස් දෙක පියවෙන්න කලින්
යහ ගුණ හුරු කරමු සිතින්
දස කුසලය වඩමු බැතින්
සැනසීමක් ලැබෙයි තුටින්
මුනිඳු බණ අසමු
මරණානුස්සති වඩමු
සසර භය දකිමු
මරණ ගමනට තිතක් තබමු
මැටිගහතැන්නේ
ප්‍රේමරතන හිමි
ශ්‍රී පාලි විහාරය , ජා ඇළ
බුදු හිමියනි
බුදු හිමියනි, වඩිනු මැනේ
ලෝකය ගිනිගෙන දැවෙනු පෙනේ
මිනිසත් කම් පිරිහෙනව පෙනේ
මගෙ බුදු හිමියනි, වඩිනු මැනේ
ලෝකය යහපත් කරනු මැනේ
ප්‍රියංගිකා පෙරේරා
ඊශ්‍රායලේ සිට
ධර්මය
ධර්මය අනුව ඇවිදින නර සසර බවේ
නිර්මිත ගතිය දුටු විට විනි විදිව මැවේ
දර්ශනයකින් හැම කෙනෙකුට දෙවන සුවේ
ධර්මය සදා කාලික වස්තුවකි ලොවේ
කත්නවීර මුදලිගේ
දුල්මුරේ
නා හිමි සැරැදේ
ශ්‍රී ලංකා අඹර ශාසන තිලක හිමී
අමරපුර නිකායේ සඟ සමුළුවට එබී
පදරුත් සියල් දැන සුපුවතට කැටී
ජනපති අගමැතිඳු සුරතින් පදවි ලැබී
ගන්තුන උල්ගලයි අපගේ විහාරය
ගොඩ මඩ දෙකම පෝෂිත අලංකාරය
මඩවල නැණ අනඳ හිමි ගුරුගෙ භාරය
ලැබගත් අස්සජී විය එහි දෝංකාරය
දින දින යුග ගණන් හදවත් සනසන්න
ගුණ නැණ ලෝකයෙන් බුද්ධිය පුරවන්න
නා හිමි සඳුනි සසුනට වැඩ සලසන්න
තව බොහො කාලයක් සසුනෙහි වැඩ ඉන්න
ගන්තුන ඩබ්ලිව්. ආර්. ජේ. සමන්තිලක
කෑ/කඳුරට ම. වි (ආචාර්ය ) |