UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුතුන් දෙන්නෙක් පුදා සසුනට මවක් සැනහේ නිවන් පැතුමට

පුතුන් දෙන්නෙක් පුදා සසුනට මවක් සැනහේ නිවන් පැතුමට

" පිරිමි දරුවන් සත් දෙනාගෙන් බාලම දරුවන් දෙදෙනා ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට තරම් ඇය නිර්ලෝභී වූවා ය."

විතාරන්දෙණියේ වජිරවංශ හිමි විතාරන්දෙණියේ මේධානන්ද හිමි

පිරිමි දරුවන් සත් දෙනෙකුට ආදරණීය අම්මා කෙනෙක් වී ඒ දරුවන් සත් දෙනා ම රටට වැඩ ඇති, දැයට සමයට වඩාත් හිත ඇති පුරවැසියන් කරන්නට මවකට විසල් ධෛර්යක්, වෙසෙස් ශක්තියක් තිබිය යුතුම ය. හදෙහි උපන් දරු සෙනෙහසට,ජය ගන්නට නොහැකි අභියෝගයක් නම් නොවන්නේ ම ය.

‘පුත්තා වත්ථු මනුස්සානං” මිනිසාගේ පරම වස්තුව දරුවන් ය’ යන බුදු වදන සිහි ගන්වමින් සිය පණසේ දරුවන් රකිමින්, කවා පොවා, හදාවඩා , දැනුම දී උගතුන් කළ, යහ ගුණ දම් උගන්වා මිනිසුන් බවට පත්කළ කරුණාබර, මව්වරුන් අතර ඇයද සිය දරු සත් දෙනා දෙස බලා නිහතමානී සුවයක් විඳින්නී ය, තංගල්ල කදුරු පොකුණේ “නන්දාවතී වීරසේකර’ අම්මා,දැන් අසූ වියේ පසුවන්නී ය. ඇයගේ පිරිමි දරුවන් සත් දෙනාගෙන් බාලම දරුවන් දෙදෙනා ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට තරම් ඇය නිර්ලෝභී වූවා ය. හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංශ හිමි, කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමිවරු දෙනම ඇය විසින් සසුනට පූජා කරනු ලැබූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ය.

අසූ හැවිරිදි වියේ වුව, ඇයගේ අපූර්ව ධාරණ ශක්තිය පුදුම එළවන්නේය.තවමත් බණ දහම් පොත්, පත්තර කියවන සැටිද එලෙස ම ය. ජීවිත ගමනේ අනේක විධ දුක් කම්කටොළු මැදින් දරුවන් සත් දෙනෙකුට ජීවිතය දෙමින් ඇය ආ ගමන් මගේ ඇයට සිහි නොවන තැනක් නැති සේ ය.

“මට බණ දහම් ඉගැන්නුවේ මගේ අම්මා. හැමදාම පෝයට සිල් ගන්නවා. අපි හැදී වැඩුණේ ආගමික පරිසරයක. හැමදාම බුදුන් වඳින, හැමෝටම උදව් කරන කරුණාවන්ත සහෝදර සහෝදරියන් අතර, ඇය මතකය අවදි කරන්නී ය.

“දරුවෙක් සසුනට පූජා කරන්න ඕනෑ කියන පින් සිතිවිල්ල මගේ සිතෙත් ඇතිවුණා. දරුවෝ දෙන්නෙක්ම කිසිම බල කිරීමක් නැතිව තමන්ගේම කැමැත්තෙන් මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කළා. මගේ දරුවන්ට ධර්මය අවබෝධ වෙන්න, මට නිවන් අවබෝධ කර ගන්න ඒ පිනම ඇති කියලයි මට හිතෙන්නේ.

දරුවන් කොපමණ සිටියද දෑස මානයෙන් දුරට ගිය කල ඒ දරුවන්ගේ රැකවරණය ගැන මවකට දැනෙන බිය කෙතරම්දැයි දන්නේ මවක්ම ය.

දරුවන් දෙන්නෙක් කුඩා වියේ දී ම පන්සලට පූජා කළ පසු හදවතට දැනුණ හිදැස පුරවා ගත්තේ කෙසේ දැයි ඇසූ කල ඇය ගේ දෙනෙත් දිලිසෙනු දුටුවෙමි.

“දරු දෙන්න පැවිදිවෙලා ඉන්නවා දුටුවාම හිතට මොන තරම් සතුටක් දැනුණත් ගෙදර දී සුරතල් කතා මතක් වෙන කොට, පුංචි කමිස පොඩි දකින වෙලාවට ,වැඩිමහල් සහෝදරයෝ මල්ලිලා දෙන්නා ගැන කතා බහ කරන කොට ඇහැට කඳුලක් ආවේ නෑ කියන්නේ කොහොමද? ඒත් මගේ දරු දෙන්නා ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වේවි කියන බලාපොරොත්තුව නිසා ඒ දුක වැඩි වේලාවක් රැඳුණේ නෑ. ඇය පවසන්නී ය.

උදේ පටන් රෑ වෙනතුරුත් දරුවන්ගේ කුස පුරවන්නට, ඔවුන්ට අනාගතයක් හදා දෙන්නට වෙර වීරිය දැරූ පියාණන් වූයේ කෝන්වත්තේ පැටි මහත්තයා ය.

“තාත්තා ගොවිතැන් බත් කරන්න මොන තරම් දුක් මහන්සි වුණත් ගොවිතැන් පාළුවෙන කාල තිබුණා. ඒ කාලෙට ජීවිතේ හුඟක් දුෂ්කර වුණා. අපේ අම්මා නම් කවදාවත් ඒ ගැන සැළුණේ නෑ. ඇයට පුදුම ධෛර්යක් තිබුණා. කම්මැලිකමක් නෑ. ලෙඩක් දුකක් හැදුණ වෙලාවක් අපි දන්නේවත් නෑ. ඇය කවදාවත් ඇයගේ අපහසුකම් අනෙක් අයගේ අඩුපාඩුකම් ගැන අපට කීවේ නෑ. හරිම කඩිසරයි. ඈත ළිඳකින් වතුර ඇදලා ගෙදර එළවළු වැවුවා. අපේ කෑම වේලට කවදාවත් එළවළු වැරදුණේ නෑ. මොනතරම් වැඩ තිබුණත් අම්මා තුන්වේලටම ආහාර පිසුවා. කුරහන්ගලේ කුරහන් අඹරාගෙන,වංගෙඩියේ වී ටික කොටාගෙනයි අපට කන්නට දුන්නේ. කුප්පි ලාම්පුවේ එළියෙන් රෑ මැදියමක් වෙනතුරු පැදුරු විව්වෙ හරියට භාවනාවක් කරනවා වගේ. ඒ පැදුරුවල මැවුණු රටා අදටත් මතකයි. සමහරදාට පොල් අතු වියනවා. අමාරු දවස්වලට ඒවා විකුණලා ඇය අපට පොත පත අරන් දුන්නා. විතාරන්දෙණියේ මේධානන්ද පොඩි හාමුදුරුවන් තමන් වහන්සේගේ කුඩා කල ගිිහි ගෙදර මතකය අවධි කළේ එලෙසිනි.

“මම දරුවන්ට කවදාවත් සීතල බත් දුන්නේ නෑ.තුංවංගියටම බත් ඉවුවා. ඉදල් කොහු බඳින්න. හැඳි හදන්න මට පුළුවන්. කවදාවත් ඒවා මුදල්වලට ගත්තේ නෑ.” නන්දාවතී අම්මා ආඩම්බරයෙන් පවසන්නී ය.

“මට මතකයි. මගේ බාල කාලයේ සහෝදරයෝ ටික හැමෝම එකතු කරගෙන අම්මා උදේ සවස බුදුන් වඳිනවා. අමාවක පෝයට, පසළොස්වක පෝයට ඇය නොවරදවාම සිල් ගත්තා.

ඒ හැම දවසකම වගේ මමත්, මල්ලිත් අම්මා සමඟ සිල් ගන්න යනවා. විතාරන්දෙණියේ පන්සලට. ඒ කාලේ කොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ, විතාරන්දෙණියේ චන්දජෝති හාමුදුරුවන්ගේ චරිතා දර්ශය පැවිදි වෙන්නට මා තුළ උනන්දුවක් ඇති කළා.

උන්වහන්සේ හරිම කරුණාවන්තයි. ඒ වගේම මිනිසුන්ට ආදරෙයි. මිනිසුන්ගේ සිත් හැදුවා වගේම ජීවත්වන හැටි කියා දුන්නා. අම්මයි, තාත්තයි නිතරම අපිට අවවාද දුන්නේ උන්වහන්සේ වගේ වෙන්න කියලයි.

විතාරන්දෙණියේ වජිරවංශ හාමුදුරුවෝ පවසන්නේ එලෙසිනි.

“මම සිල් සමාදන් වෙන්න ගියාට කවදාවත් දරුවෝ බඩගින්නේ තිව්වේ නෑ. උදේ රැයින් නැගිටලා උදේට, දවල්ට කෑම හදල ගේදොර පිරිසුදු කරලයි ගෙදරින් පිටත් වුණේ.

හවස සිල් පවාරණය කරලා ඇවිත් මම දරුවන්ට රෑ කෑමත් උයා දුන්නා”.

ඇය ගෙදර ජීවිතය ගැටලුවක් නොවන ලෙස සමබර කරගෙන ඇති අපූරුව ආදර්ශමත් ය.

“පැවිදි වුණත් මම මගේ දරුවෝ දෙන්නා හැකි හැම මොහොතකම ඉගෙනුමට උනන්දු කළා. උන්වහන්සේලා ඉගෙන ගන්න හරිම දක්ෂයි. පිරිවෙන් ගියා. විශ්ව විද්‍යාලෙටත් ගියා. අද ඒ දැනුමෙන් ප්‍රයෝජන අරගෙන තවත් පොඩි හාමුදුරුවරුන්, පාසල්, දහම් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා දකින හැම මොහොතකම මට ලොකු සතුටක්, දරුවො ගැන ආඩම්බරයක් දැනෙනවා. ඒ විතරක් නොවෙයි. බණ කියන හැටි දුටුවාම මම මොනතරම් පින්කර තිබෙනවාදැයි සිතනවා.” ඇය සතුටින් පවසන්නී ය.

“අපේ අම්මට ධර්මය ගැන හොඳ අවබෝධයක් තිබුණා. අපි පැවිදි වෙනවාට තාත්තා එතරම් කැමැත්තක් තිබුණේ නෑ. ගිිහි ජීවිතේ දුකක්. දරුවෝ ඒ දුකින් නිදහස් වීම නේද හොඳ? “ ඒ හැම මොහොතකම අම්මා කීවේ ඒ කතාව. අපේ අම්මට ජාතක කතා ගැන හොඳ මතකයක් තිබුණා. නිතරම ඇය අපට බණ කතා කියා දුන්නා. ජීවිතේ තේරුම් කරලා දුන්නා.අයියත් මමත් පැවිදි වුණේ ඒ අනුබලයෙන්” මේධානන්ද හාමුදුරුවෝ පවසන්නේ එලෙසිනි.

නන්දාවතී අම්මා ගේ දසුන පින්බර ය. වදන් කාරුණික ය. ඇසුර පි‍්‍රය දනවන්නීය. ඇය හා ගෙවෙන හෝරාවක් වුව මිනිත්තු ගණනාවක් සේ ය. හැම තත්පරයක් ම ප්‍රයෝජනවත් ය.

සම්බුද්ධ ශාසනය බබළවන්නේ, රැකගන්නේ ධර්මධර, විනයධර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ය. එවන් බුදු පුතුන් සසුනට දායාද කිරීමෙහිලා මවකට කළ හැකි පරිත්‍යාගයක් වේ නම්, ඒ ඉතා උතුම් ම ය. නන්දාවති මෑණියන් ද එවන් උදාර චරිතයකි.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]