පන්සියයක් භවයන්හි හිස සිඳීය...
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ මිනිසුන් විසින් සතුන්
මරා මළවුන් උදෙසා දෙනු ලබන දානයක් මුල්කොට ගෙන මෙම ජාතක කතාව වදාළ සේක.
පෙර කාලයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයේ වේදය හොඳින් ඉගෙන
සම්පූර්ණ වූ එක් ආචාර්ය බ්‍රාහ්මණයෙක් මතක දානයක් දිය යුතු යැයි සිතුවේ ය. එක්තරා
එළුවකු අල්ලාගෙන පැමිණ පුද්ගලයෙකු කැඳවා
”සගය, මේ එළුවා ගඟට ගෙන ගොස් නහවා කරෙහි මල් මාලයක් බැඳ පා ඇඟිලි කෙළවර සුවඳ ආලේප
තවරා සිරුර සරසා ගෙන එව යි“ කීවේ ය.
ඒ පුද්ගලයා බමුණා කී ආකාරයට ම එළුවා සරසා ගං තෙර බැඳ තැබී ය. පෙර ආත්ම සිහි කිරීමේ
නුවණින් යුතු එළුවා,
”මේ දුකින් අද මට මිදිය හැකි වන්නේ” යැයි දැන සතුටුව කළයක් බිඳෙන පරිද්දෙන් මහ
හඬින් සිනාසෙන්නට විය. ඒ සමඟ ම නැවතත් “මේ බමුණා මා මරා මා විසින් මෙතෙක් කල් විඳි
දුක් විඳවන්නේ ය” යැයි සිතා ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන ඔහු කෙරෙහි කරුණාවෙන්
මහත් හඬින් හඬන්නට විය. මෙය දුටු එතැන සිටි පුරුෂයෝ එළුවා අමතා,
” මිත්‍රය, ඔබ වරක් මහ හඬින් සිනා සී නැවත හඬන්නට පටන් ගත්තේ ය. කවර කරුණක් නිසා
සිනාසුණේ ද? කවර කරුණක් නිසා හඬුවේ ද? යි ඇසී ය.
එවිට එළුවා මෙසේ කී ය.
ඔබලා මේ කාරණය මා මරන්නට යැයි කියූ බ්‍රාහ්මණයා ඉදිරියේ දී අසනු. එවිට මම පිළිතුරු
දෙමි“යි කී ය.
ඒ පුරුෂයෝ එළුවා රැගෙන බ්‍රාහ්මණ ඇදුදුරුතුමා වෙත ගොස් සියලු විස්තර කීහ. ඒ බමුණා ද
මිනිසුන් කී බස් අසා සිනාසීම සහ හැඬීමට හේතුව එළුවාගෙන් විමසී ය. එළුවා ද තමාගේ පෙර
ආත්ම භවයන්හි දී සිදුකළ අකුසල කර්මය සිහි කොට
”පින්වත් බමුණ, මම ද පෙර ආත්ම භවයක ඔබ මෙන් බ්‍රාහ්මණයෙකු වී සිටියෙමි. “මතක දානයක්
දෙමි” යි සිතා එළුවකු මරණයට පත් කළෙමි. ඒ අකුසල කර්මය හේතුකොටගෙන ආත්මභව හාරසිය අනූ
නවයක් හිස කැපීමේ දුකට පත් වූයෙමි. මේ මාගේ පන්සියය වැනි ආත්මය සම්පූර්ණ වන අවසාන
ආත්ම භවය යි. එනිසා “අද මම මේ දුකෙන් මිදෙමි” යි සතුටට පත්ව සිනාසුනෙමි. නමුත් මා
අද ඒ දුකෙන් මිදුණ ද “ ඔබ මා මරා පන්සියයක් ජාතියෙහි හිස් කැපීමේ දුක ලබනු ඇතැයි
සිතා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් හඬා වැටුනෙමි” යි කී ය.
එය අසූ බමුණා එළුවා අමතා,මිත්‍රය, ඔබ බිය නො වන්න. මම ඔබ නො මරමි. ඔබට අභය දානය
දෙන්නෙමි. ඔබ මට මේ විපත පෙන්වා දී අප්‍රමාණ දුකකින් මා ගලවා ගත්තේ ය. ඔබ මට සැබෑම
මිත්‍රයෙකි”.
”බමුණ නුඹ අද මා නො මැරුව ද, මට අද මරණයෙන් මිදිය නො හැක. නුඹ විසින් මට යම්
ආරක්ෂාවක් සපයයි ද, එය ඉතා අල්ප ය. මා විසින් කරන ලද අකුසලය ඉතා බලවත් යැයි” කී ය.
පසුව එළුවා සමඟ බමුණා ඇවිදිමින් එක්තරා ගල් තලාවක් මතට පැමිණියේ ය. එහි දී සරුවට
වැඩුණු තණ පඳුරක් දුටු එළුවා එය කෑමට හිස දික් කරද්දී එක්වර ම ගල් තලාවට වැදුණු
අකුණු පහරක් නිසා කැඩී ගිය ගල් පතුරක් වැදී එළුවාගේ හිස සිඳී ගියේ ය. මේ බව දැනගත්
මහජනයා ද එතැනට රැස්වූහ.
එකල බෝධිි සත්ත්වයෝ ද ඒ ස්ථානයෙහි ඇති ගසක වෘක්ෂ දේවතාවෙක් ව සිටියහ. මේ සියලු දෑ
බලා සිටි ඒ දේවතාවා මහජනයා රැස්ව සිටිය දී අහසට පැන නැඟී පළක් බැඳගෙන වැඩ සිටිමින්
රැස් ව සිටි පිරිස අමතා,
”මේ සත්ත්වයෝ නොයෙක් අයුරින් අකුසලයෙහි විපාක දැන ප්‍රාණඝාත නො කරන්නේ නම් ඉතා
යහපත් ය. ඒ ඒ භවයෙහි සත්ත්වයන්ගේ උපත, ජරාව, ව්‍යාධිය හා මරණයට පත්වීම දුකක් ම
වන්නේ ය. ලෝකයා මේ ස්වභාවය දන්නේ නම්, සත්ත්වයෙක් තවත් සත්ත්වයකු නො මරයි.
ප්‍රාණඝාක කළා වූ පුද්ගලයා වනාහී අටමහා නරකයෙහිත්, දහසක් පමණ වූ කුඩා නරකයෙහිත්,
නොයෙක් තිරිසන් ආත්මභාවයෙහිත් ඉපිද බොහෝ දුක් විඳිමින් බොහෝ කලක් ශෝක කරන්නේ වෙයි.
මෝහයෙන් මුළා වූ සත්ත්වයෝ අවිද්‍යාවෙන් අන්ධව මේ දොස් නො දැක ප්‍රාණඝාතය කරන්නාහු
ය”. යනාදී වශයෙන් ධර්මය දේශනා කළහ. දම් දෙසුම ඇසූ මනුෂ්‍යයෝ අපා දුක පිළිබඳ බියට
පත් වී ප්‍රාණඝාතයෙන් වැළකුණ අතර, දානා දී පින්කම් කොට දිව්‍ය ලෝකයේ උපත ලැබූහ. එකල
වෘක්ෂ දේවතාවා වූයේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ය.
- නයනා නිල්මිණී |