සෙංකඩගලපුර
සිරි දළදා වරුණ:
දිය කැපුම් මංගල්ලය
අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර පුල්ලෙයාර් එනම් ගණදෙවි
කෝවිලේ භාරකාර මණ්ඩලය පූජා වස්තූන් රැගෙන පැමිණ වතාවත්හි යෙදී දියවඩන නිලමේතුමාට ද
ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි වැදගත් චාරිත්‍රයකි.
මෙම අවසන් මහ පෙරහර වීදි සංචාරය අවසානයේ මධ්‍යම රාත්‍රියේ දී කෙටි පෙරහරකින් පෙරහර
කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරය වෙත වැඩම වීම අතීතයේ සිට පවතින චාරිත්‍රයකි.
අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත පෙරහර ළඟා වූ විට පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත්
කිරීම සිදුවේ.
ඇසළ හෝ නිකිණි පෝය දින අවසන් රාත්‍රී මහ පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පසුදින දියකැපුම්
පෙරහර ආරම්භ වේ. සතර මහා දේවාලයේ කපු මහත්වරු සමඟ පවත්වන දිය කැපුම් පෙරහර ගැටඹේ
තොටට ළඟා වේ. එහි බෝධීන් වහන්සේ අසල දෝලාවන් තැන්පත් කොට. කපු මහත්වරුන් ගඟ දිය
මැදට ගොස්, අටමඟල ඇඳවා ස්ත්‍රෝත්‍ර ගායනා කොට, රැගෙන ගිය කප හා පසුගිය වසරේ පුරවා
ගත් දිය කොටස ගඟ දියට එක්කොට රන් කඩුවෙන් දිය දෙබෑ වන සේ දිය කපා රැගෙන යන කෙණ්ඩියට
යළි ගං දිය පුරවා ගැනීම සිදුවේ.
දිය පුරවා ගැනීමෙන් අනතුරුව කෙණ්ඩියෙහි කට බැඳ රන්දෝලිය තැන්පත් කොට ඇති බෝධීන්
වහන්සේ අසලට පැමිණ දොස් දුරු කිරීමේ සෙත් ශාන්ති පවත්වා රන් කෙණ්ඩිය, රන් කඩු,
රන්දෝලියෙහි බහා දේවායුධගෙන කපු මහත්වරු ඇතු පිට නැග පෙරහරින් ගණදෙවි කෝවිල වෙත
පැමිණෙති. අනතුරුව එහි කපු මහත්වරු සෙත් ශාන්තිකර්ම හා චාරිත්‍ර පවත්වති.
දවල් පෙරහර ආරම්භ වනතුරු එහි රැඳී සිට දවල් පෙරහර පිටත්වී, ගෙඩිගේ විහාරය ආසන්නයේ
දී මාලිගාවේ පෙරහර සමඟ එක් වී ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රයට පැමිණ තුන් වරක්
ප්‍රදක්ෂිණා කොට ගෙවැදීම සිරිතයි.
කාර්තික මංගල්ලය
කාර්තික මංගල්ලය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසය හෙවත් ඉල් මාසයේ පොහෝ දිනයේ දී ය. එය
දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදීප පූජාවකි.
කාර්තික මංගල්ලය සඳහා සතර දේවාල හා අනෙකුත් සෙසු සිද්ධස්ථානවලට තෙල් බෙදා දීම සිදු
කරන්නේ දළදා මාලිගාව මඟින් නාථ දේවාල භූමියේ දී ය. එසේ බෙදා දෙන තෙල්වලින් ප්‍රදීප
පූජා පැවැත්වීම ඒ ඒ දේවාල හා විහාරස්ථානයන්හි නියමිත නැකැත් දින සුබ මුහුර්තියෙන්
සිදු කිරීම සාමාන්‍ය සිරිත ය.
මානව ඉතිහාසයේ ආරම්භයේ සිට ම මෙන්ම අග්නි පූජාව විශේෂ වූ වැදගත්කමකින් යුතුව සලකා
ඇත. හින්දු සමයේ අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව දඹදිව උපත ලැබූ බුදුසමයෙහි
ආමිස පූජාවක් වශයෙන් ද ප්‍රධාන තැනක් ගත් පූජාවක් බවට පත්විය.
කැති නැකතින් උපන් කාර්තිකේය හෙවත් කඳ සුරිඳු එනම් කතරගම දෙවියන් උදෙසා ඉල් මාසයේ
පෝය දින ප්‍රදීප පූජාවක් පැවැත්වීම හින්දුන් තුළ ඈත අතීතයේ සිට පැවතෙන පූජා
චාරිත්‍රයකි. හින්දු ආභාෂය නිසා මෙම ප්‍රදීප දැල්වීම දෙවියන් උදෙසා පවත්වන්නක් යැයි
ජන ව්‍යවහාරයේ මතයක් පවතී.
කුරු රට ධනංජය රජු ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත් වූ බව කුරු ධම්ම
ජාතක කතාවෙහි සඳහන් ව ඇත. එමෙන් ම ලක්දිව අනුරපුර පණ්ඩුකාභය රාජ සමයේ චිත්‍රරාජ හා
කාලවේල යක්ෂ නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත් වූ බව සෙනරත් පරණවිතාන සූරීන්
සඳහන් කර ඇත. රාජාධිරාජසිංහ රජු සමයේ දළදා වහන්සේ උදෙසා පහන් ලක්ෂයක් දල්වමින්
ප්‍රදීප පූජා පැවැත් වූ හෙයින් එදා මුළු නගරයම ආලෝකමත් වූ බව පැවසේ.
මෙලෙස කාලයෙන් කාලයට ඒ ඒ රජ දරුවන් විසින් සිදු කළා වූ විවිධ බුද්ධෝපස්ථාන වත්
පිළිවෙත් පූජා චාරිත්‍ර රාශියක් චිරාගත සම්ප්‍රදායික ඉපැරැණි චාරිත්‍ර ලෙසින්
වර්තමානයේ ද ශ්‍රී දළදා මාලිගාවෙහි දී සිදුකෙරේ.
රාජ කුමාරවරුන්ට පසුව දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය පැවරුණු දියවඩන නිලමේතුමන්ලා
විසින් ද අඛණ්ඩව එම පුද සිරිත් වර්තමානය දක්වා පවත්වාගෙන ඒමට, ආගමික, ජාතික,
සංස්කෘතික උරුමයන් වඩාත් ඔපවත් කොට ආරක්ෂා කරගැනීමට විශාල දායකත්වයක් උසුලනු ලැබීය.
කාර්තික මංගල්ලය දළදා වහන්සේ උදෙසා ම සිදු කැරෙන සාම්ප්‍රදායික පූජා චාරිත්‍රයකි. |