UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුකට හේතුව හඳුනා ගැනීම

දුකට හේතුව හඳුනා ගැනීම

" සත්‍ය ලෙසින් ම දුක් වූ බැවින් දුක්ඛ ආර්ය සත්‍යය යැයි ධර්ම කතාවේ සඳහන් වෙනවා. කාම රූප , අරූප, සංඛ්‍යාත භව තුනෙහි ම රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධයෝ සකස්වන්නේ නම් එහි පවතින්නේ අනිත්‍ය ස්භාවයකි. එලෙස ම ඒවා නැවත නැවත බිඳි බිඳී යන ස්වභාවයකින් යුක්ත බව අවබෝධ කරගත යුතු වෙනවා."

එක් උපාදානස්කන්ධයක් බිඳී යෑමෙන් නැවත අලුත් උපාදානස්කන්ධයකට අවස්ථාව සලසා දෙනවා. කෙතරම් නිරුද්ධ වූවත් නැවත නැවතත් මේ ස්කන්ධයන්ගේ පහළවීම සිදු වෙනවා. එය අහේතුකව සිදුවන දෙයක් නොවේ. යම් කිසි හේතුවක් තිබිය යුතුමයි. මේ දුක්ඛස්කන්ධයාගේ පහළවීම පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා නොයෙක් හේතු දැක්වූවත්, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි මැනවින් පෙන්වා දී තිබෙනවා.

සරල වශයෙන් සඳහන් කරන්නේ නම්, සමුදය ආර්ය සත්‍යයෙන් දක්වන්නේ දුක උපදින ආකාරය හෙවත් දුකට හේතුව පිළිබඳවයි. දුක පිළිබඳව අප අවබෝධ කරගත යුත්තේ ආර්ය සත්‍යයක් වශයෙනි. සාමාන්‍ය ලෝකයා දකින ආකාරයෙන් තමන් අකැමැති අරමුණ දුකක් හැටියට වූවත්, ඒ අකැමැති අරමුණ කැමැති ස්වභාවයට පත්වන විට දුකක් නොවේ යැයි සිතිය හැකියි. එහෙත් ආර්ය සත්‍යයක් හැටියට දකින්නේ නම් හැම අරමුණකම ගැබ්ව පවතින්නේ හට අරගෙන බිඳී නැතිවයන ස්වභාවය බව “උප්පාද ඨිථි භංග” යන අවබෝධයෙන් ඇතිකරගත් දුක්ඛ ආර්ය සත්‍ය වටහා ගැනීමට පහසුවක් සැලසෙනවා. ඒ දුක අවබෝධ කර ගැනීමෙන් අනතුරුව දුකට හේතුව පිළිබඳව දැකගන්නට පුළුවන්කම ලැබෙනවා. එය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ පෙන්වා දෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව අපි සිහිපත් කරමු.

“කතමඤ්ච භික්ඛවෙ දුක්ඛ සමුදයං
අරියසච්චං යායං තණ්හා
පෝනොභවිකා නන්දිරාග සහගතා
තත්‍රතත්‍රාභිනන්දනී. සෙය්‍යථීදං
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛ
සමුදයං අරියසච්චං”

මහණෙනි, දුක්ඛ සමුදය සත්‍ය කවරේ ද? යම් තෘෂ්ණාවක් සත්ත්වයා නැවත නැවත භවයෙහි උපදවා ද, අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද ස්කන්ධයන් කෙරෙහි ඒවා කැමැති යැයි, හොඳ යැයි සතුටුවීම හා ඇළීම කෙරේ ද? ලැබුවා වූ ද, පැමිණියා වූ ද, කුඩා වූ ද, මහත් වූ ද, හීන වූ ද, ප්‍රණීත වූ ද, කුඩා වූ ද ඒ ඒ භවයන් හි සතුට හා ඇල්ම සිදු කෙරේ නම්, එය කාම තෘෂ්ණාව යැයි සඳහන් කෙරේ.

මේ තෘෂ්ණාව භවයන්හි නැවත නැවත ඉපදෙමින් ලබන්නට කැමැති ආශාව බව තෘෂ්ණාව හැටියටත් නැවත භවයක් නැති බවත් මේ භවයේදී ම, මේ ජීවිතයේ දී ම ඇස කන ආදී ඉන්ද්‍රියයන් සතුටු කරන්නට, ඇළෙන්නට, බැඳෙන්නට, පිනවන්නට තිබෙන ආශාව විභව තෘෂ්ණාව ලෙස දක්වනු ලැබේ. මෙය සමුදය ආර්ය සත්‍ය හැටියට කෙටියෙන් පෙන්වා දෙන අතර, දුක් හටගන්නේ මේ හේතුව නිසා ම බවත් පැහැදිලි කෙරේ.

මෙය කෙටියෙන් විස්තර කරන්නේ නම්, භවය දුකක් ලෙස තේරුම් ගන්නා වූ ආර්ය ශ්‍රාවකයා විසින් ඒ දුක හට ගැනීමට හේතුව පිළිබඳව සොයන්නට, විමසන්නට උත්සාහ කරනවා. ඒ අනුව දුකෙන් සමන්නාගත වූ මේ භවය සකස් වන්නේ සත්වයාගේ සන්තානයේ ඇතිවන්නා වූ තෘෂ්ණාව මත බව අවබෝධ කරගන්නවා. ඒ තෘෂ්ණාවත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තේරුම් ගන්නවා. අධ්‍යාත්මික වශයෙන් මේ ස්කන්ධ පංචකයෙහි තෘෂ්ණාවක් ඇතිකර ගන්නටත්, බාහිර වශයෙන් ස්කන්ධ පංචකයන්හි තෘෂ්ණාවක් ඇතිකර ගන්නටත් පුද්ගලයා උත්සාහ දරන්නේ කුමන ආකාරයෙන් ද? ඒ අනවබෝධය නිසා ය. අනවබෝධය හෙවත් මෝහය, මුලාව, අවිද්‍යාව යන විවිධ ලෙසින් මෙය විස්තර කෙරෙනවා.

එනම් අප මේ සාකච්ඡාවට බඳුන් කර ගන්නා වූ දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි ඇති අනවබෝධය නිසා ය. දුක්ඛ ආර්ය සත්‍යයේ සඳහන් ජාතිපි දුක්ඛා, තැන් සිට ආර්ය ශ්‍රාවකයෙක් ලෙස අවබෝධයක් කරගත හැකි වන්නේ නම් ස්කන්ධ පංචකය ම දුකක් බවත්, ඒ ස්කන්ධ පංචකයේ පැවැත් ම හඳුන්වන භවය දුකක් බවත් ආර්ය ශ්‍රාවකයාට තේරුම්ගත හැකියි. එවිට අප මේ දැන් ලබා තිබෙන භවය තුළ පවත්වන ජීවිතය නම් වූ ස්කන්ධ පංචකය ද දුකක් බව අධ්‍යාත්මික වශයෙන් අවබෝධ කරගත යුතු වන්නේ ය. රූප, වේදනා, සංඥා, සංකාර , විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකය පිළිබඳව යම් වූ ද අවබෝධයක් මෙහි දී ඇති කරගත යුතුයි. රූපය යනු පඨවි නම් තද ගතිය. ආපෝ නම් වූ වැගිරෙන ස්වභාවය, තේජෝ නම් උෂ්ණය, වායුව නම් සුළඟ මේ ධාතූන්ගෙන් සකස් වුණා වූ රූපයමයි. වේදනාව නම් විඳීම් ය.

එනම් ඒ ධාතූන්ගෙන් සකස් වුණා වූ රූපය මුල් කොටගත් ඇති කරගන්නා වූ විඳීම්ය. සංඥා නම් ඒ විඳීම් ලබන්නට උපකාරී කර ගන්නා වූ හෝ උපකාර කරගත්තා වූ හෝ හඳුනාගැනීම් ය. සංඛාර නම් ඒ ඔස්සේ සකස් වුණා වූ ශක්තීන් ය. මේවා කර්ම ශක්තීන් හැටියටත් සඳහන් කළ හැකියි. ඇස ආදී ආයතනයන්ගෙන් රූපාදී ආරම්මණයන් පහළවන විට හඳුනාගැනීමේ ස්වභාවය විඥානයෙන් සිදු කෙරෙනවා. මෙසේ ස්කන්ධ පංචකය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇති කර ගන්නා වූ ශ්‍රාවකයා මේ ස්කන්ධ පංචකය නිසා අනවබෝධයෙන් සිදුවන ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ ගන්නවා.

එනම් රූපය මාගේ ය. මම වෙමි. මගේ ආත්මය හෙවත් මගේ වසඟයේ පවතිනවා යන අදහස අභාවිත සිතක ඇතිවිය හැකියි. ඒ ස්වභාවය අපි හඳුන්වන්නේ අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා විසින් මේ ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට සිත පුරුදු නොකොට ඇති ස්වභාවයයි. එය අභාවිත සිතක් ඇත්තෙක් හැටියට දක්වනු ලැබේ.

අභාවිත සිතක් ඇති පුද්ගලයා රූපය, ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් ආරම්මණයට හසුකරගන්නේ ‘මගේ ය. මම වෙමි.’ මගේ ආත්මය යන තෘෂ්ණාවක් ඇති කරගෙන ය. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, මේ රූපය කියන ආරම්මණය තුළ මෙහි දී රූපය යැයි අදහස් කරන්නේ සත්ත්වයෙක්, පුද්ගලයෙක් යන අදහස ය. එවිට ඇසට රූපයක් අරමුණු වන විට අභාවිත සිතක් ඇති පුද්ගලයාගේ චක්ඛු විඤ්ඤාණය හඳුනාගැනීමකට පත්වෙනවා. ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි සකස්වීමෙන් ස්පර්ශයක් සකස් වෙනවා. අභාවිත සිතක් ඇති පුද්ගලයා ඇසෙහි සකස්වෙන්නා වූ රූපය හඳුනාගන්නේ ප්‍රිය අරමුණක් හෝ අප්‍රිය අරමුණක් වශයෙනුයි. යම් අවස්ථාවක දී මධ්‍යස්ථ ස්වභාවයක් ද පැවැතිය හැකියි.

මෙහි දී ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි යන ආයතන තුනේ එකතුවෙන් ස්පර්ශය සකස් වෙනවා. එවිට ඒ ස්පර්ශයෙන් ඊළඟ අවස්ථාවට යන්නේ ප්‍රිය අරමුණක් නම් මගේ ය යන සුඛ ආශ්වාදය ලැබීමේ කැමැත්තක් ඇතිව ය. එලෙස ම අකැමැති අරමුණක් ලෙස ද හඳුනාගත්තා නම් ස්පර්ශයෙන් අනතුරුව විඳීමට යන්නේ අකැමැතිය යන අමනාප, දුක්ඛ විඳීමකින් අනතුරුව ය. මධ්‍යස්ථ ස්වභාවය ද පැවැතිය හැකියි. එහෙත් එය අවිද්‍යාව මුල්කොටගෙන පවතින නිසා යම් විටක එය නැවතත් අනවබෝධයෙන් යුතුව ස්ථිරය මගේය යන සැපවේදනාවකට හෝ, මම අකැමැතියි යන අමනාපයෙන් යුක්ත දුක්ඛ වේදනාවකට ද පත්විය හැකියි.

මේ ආකාරයෙන් අභාවිත සිතක් ඇති අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා ඇසින් දකින රූපයත්, කනට ඇසෙන හඬත්, නාසයෙන් ලබන ආඝ්‍රාහනත්, දිවෙන් ලබන්නා වූ රසත්, කයෙන් ලබන්නා වූ ස්පර්ශත්, මනසින් ලබන්නා වූ සිතිවිලිත්, ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ මැදහත් වශයෙන් හෝ උපාධානය කර ගනී. ඔබ සාමාන්‍යයෙන් හඳුන්වන මම කැමැතියි, අකැමැතියි යන අවස්ථාවන්ට පත්වීමයි. මෙහි දී සිදුවී තිබෙන්නේ කුමක් ද? රූපය මුල්කොටගෙන අධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙහි ම තෘෂ්ණාවක් ඇසට රූප, කනට ශබ්ද වශයෙන් ඇති කර ගැනීමයි. තමාගේ මනස තුළම මේ ස්වභාවය ඒ ආශාව ඇතිවෙනවා. එය කාම තණ්හා හැටියට පළවෙනි පියවරේ දී හඳුන්වා දිය හැකියි.

තවත් කොටසක් ඇසළ අව අටවක අගෝ. 04 පෝදා පත්‍රයේ පළ වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]