ඇසළ පුර පසළොස්වක 2018.07.27
මතින් තොර වීමට ...
සදාචාර සම්පන්න සමාජයක පදනම පංචශීලය යි. ගිහි බෞද්ධයාට ඒ ගැන අමුතුවෙන් කියාදිය
යුතු නොවේ. නිත්‍ය ශීලය ලෙස, ජීවන ප්‍රතිපදාව ලෙස පන්සිල් සුරකින තාක් ඒ සමාජයේ මරණ
බිය, සොර සතුරු බිය, අවිශ්වාසය, බොරුව සහ මදයට පත්වීම රජයන්නේ නැත. එහෙත් විවිධ
සමාජ බලපෑම් බෞද්ධ සමාජය තුළ පවත්නා මේ සදාචාරවත් පැවැත්ම වෙනස් කරන්නට අර අඳිනු
පෙනේ.
වෙසෙසින් මුළු මහත් සමාජයක් විපතට ඇද දැමිය හැකි මත්ද්‍රව්‍ය පිළිලයක් සේ උඩු දුවන
ආකාරයක් පෙනේ. අවිචාරවත් මනසින්, ලාභය පෙරදැරි කර ගත්, කවර ක්‍රමයකින් හෝ රුපියල්
ශත හම්බ කිරීමේ වෑයමක නිරත වෙමින් පහසුවෙන් මුදල් ඉපයීමේ මාර්ගයක් කර ගනිමින්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලජ්ජා බියකින් තොරව ඒ සඳහා උත්සාහ ගන්නා ආකාරය දිනෙන්
දින වාර්තාවන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිවීම පුරවැසියන් ලෙස සමස්ත ජාතියේ ම වගකීමකි.
දම්වැලක පුරුක් සේ එකට බැඳී සිටින ඔවුන් ඒ එකමුතු බවින්, අන්‍යෝන්‍ය සම්බන්ධයෙන්
ප්‍රයෝජන ගත යුතු කාලය එළඹ තිබේ. වැරැදි මග යන්නේ සුළුතරයකි. එහෙත් ඒ ඔස්සේ වන විපත
මහත් ය. හරි මග යන බහුතරය එකාවන්ව වරදට විරුද්ධව නැගී සිටිනවා නම් ඕනෑම දිශාවකින්
හමා එන චණ්ඩ මාරුතයකට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණ දෙන්න අපහසු නො වනු ඇත. යම් කෙනෙක්,
සමාජ කණ්ඩායමක් ඒ වගකීමෙන් බැහැර වූ තැන වන කුඩා හිදැසක් වුවද අයහපතට හිස ඔසවන්නට
ඇති ඉඩකඩ ඉහළ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය පාසල් වයසේ පසුවන දරුවන් ය. මතට
ඇබ්බැහි කරගත්තේ නම් මේ දරුවන් පහසුවෙන් ම ඔවුන්ගේ දිගු කාලීන ආයෝජකයන් බවට පත්කර
ගත හැකි ය. එක පැත්තකින් අනුකරණයට, අත්හදා බැලීමට, වැඩි පෙළඹවීමක් ඇති යෞවනය රවටා
ගැනීම ද පහසු ය. පාසල් දරුවෙක් මතට ගොදුරු වනවා යනු කායික මානසික රෝගියෙක් වීමය.
අධ්‍යාපනය සහමුලින් ම කඩා කප්පල් වී යාම ය. එවිට රටේ අනාගතයට යන කල දසාව සිතා
ගැනීමත් අපහසු ය. මදයට පත් වූ පසු ලජ්ජාව සහ බිය යන ලෝක ධර්මතාවන් පිළිබඳ කිසියම් ම
හෝ හැඟීමක් නැත. ප්‍රකෘතියෙන් තොර සිත බොහෝ පාප කර්මයන්ට ගත මෙහෙය වන්නේ ය.
සරලවම කියනවා නම් ගිහියාගේ නිත්‍ය ශීලයෙහි මුල් සිඛ පද සියල්ල බිඳ දමන්නට මදයට පත්
වූ පුද්ගලයාට කිසිදු අපහසුවක් නොවන්නේ ය. එවිට සදාචාර සම්පන්න සමාජයකට සිදුවන විපත
ගිණිය නොහැකි ය. සමාජයේ කුඩා ම ඒකකය වන පවුල තුළ සිට මහා සමාජය දක්වා ම නියෝජනය කරන
විවිධ සමාජ කණ්ඩායම් මතට එරෙහිව නැඟී සිටීම අත්‍යවශ්‍ය වේ. නීතියට පමණක් එය තනිව කළ
නො හැක්කකි. විශේෂයෙන් අම්මා, තාත්තා, පාසල, පන්සල, දහම් පාසල, සුබ සාධක සංගම්,
යෞවන සමිති, තරුණ සංගම්, වැඩිහිටි සංගම් ආදී සියල්ලේම ගරු නායකත්වය තම කණ්ඩායම මතට
එරෙහි ශක්තිමත් දිශානතියකට යොමු කරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වේ.
දරුවන් වැරැදි මඟ යන්නේ බොහෝවිට මව්පියන් සමඟ වන දුරස්ථ බව නිසා ය. දරුවන් තමන්ට
සමීප වන තරමට අවනත ද වන්නේ ය. ඉඳහිට හෝ යෞවනයේ පසුවන දරුවා පසුපස ගොස් විපරම් කරන
බව හැඟවූයේ නම් දරුවා වරදට බිය ය. රැවටිලිකරුවන්ට හසුවීමේ ඉඩ ද අහිමි ය. දරුවන් ගැන
මව්පියන්ට හොඳ අවබෝධයක් තිබිය යුතු ය. එවිට ඔවුන්ගේ ආකල්ප හඳුනාගැනීම පහසු ය.
පාසල තුළ නිරන්තර දැනුම්වත් කිරීම් අවශ්‍ය ය. දරුවන් ඇගයීම අවශ්‍ය ය. ඉගැන්වීමෙන්
පමණක් නො නැවතී ගුණ ධර්මයන්ගෙන් දරුවා පෝෂණය කරන්නට ද සංවේදී විය යුතු ය. ගමේ
පන්සලේ හාමුදුරුවන් වහන්සේ ගම හැදීමේ නියමුවාණන් ද වේ. පන්සල, දහම් පාසල සේ ම
පන්සලෙහි ක්‍රියාත්මක විවිධ සමිති සමාගම් ඊට හොඳම තෝතැන්නකි. මේ සියලු සමාජ
නායකත්වයන්, ඒ නායකත්වයන් තුළ හසුරුවන සමාජ සාමාජිකයන් එකාවන්ව එක්ව කටයුතු කළේ නම්
මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන් ගමෙන් පළවා හැරීම අපහසු නැත. තමන්ගේ ගම මතින් තොර
සදාචාරවත් ගමක් බවට පරිවර්තනය කර ගැනීම අපහසු නැත. මේ ඒ සඳහා සුදුසුම කාලය යි.
අවැසි උනන්දුව හා උත්සාහය තුළ වන ක්‍රියාකාරී බව ය. එය මතින් තොර රටක ඇරඹුම ද වනු
ඇත.
|