UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගමයි – කිරිවෙහෙරයි ඇසළ මහා උත්සවයයි

කතරගමයි – කිරිවෙහෙරයි ඇසළ මහා උත්සවයයි

ඇසළ උත්සව, ඇසළ සැණකෙලි නමින් හැඳින්වෙන්නේ බෞද්ධ මහජනතාවගේ සහභාගිත්වයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි දේවාලයන්හි ඒ ඒ දෙවිවරුන් උදෙසා පැවැත්වෙන උත්සවයන් වීම විශේෂත්වයයි. කතරගම, දෙවිනුවර, මහනුවර, අලුත්නුවර,නවගමුව, රත්නපුර ,කොටබෝව, ඇම්බැක්කේ , බදුල්ල, සොරගුණේ, අම්මඩුව, වල්ලහගොඩ ගම් දොළහ ,ගණේගොඩ යන ස්ථාන ඇසළ උත්සව පැවැත්වෙන ප්‍රසිද්ධ ස්ථානයන් ය.

මහනුවර ඇසළ උත්සවය දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් සිවු දේවාල සම්බන්ධ කරගෙන පැවැත්වෙන අතර, අනෙක් ස්ථානවල ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඒ ඒ දේවාලවලටය. මෙම දේවාල කතරගම, උපුල්වන්, සුමන සමන් ,පත්තිනි , නාථ ආදි බෞද්ධ දෙවිවරුන් උදෙසා ගොඩනැගී ඇති දේවාලයන් වීම ද විශේෂත්වයකි. මේ සෑම උත්සවයකම වැදගත් ස්ථානය හිමිවන්නේ ඇසළ පෙරහර ලෙස හැඳින්වෙන විචිත්‍ර සංස්කෘතික අංගයටය.

කවර ස්ථානයක, කවර දෙවියෙකු මුල් කරගෙන ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වුණත් ඒ හැම මංගල්‍යයකම පොදු ලක්ෂණ කීපයක් ද විද්‍යමාන වෙයි. එනම්, කප් සිටුවීම, සාමාන්‍ය පෙරහර, මහ පෙරහර හෙවත් රන්දෝලි පෙරහර සහ දිය කැපීම ය. ඊට අමතරව ඒ ඒ දේවාලවලට ආවේණික තවත් අංගයන් ද ඊට ඇතුළත් වෙයි.

මෙම ලිපියෙහි අරමුණ, කතරගම මහසෙන් මහා දේවාලය ආශි‍්‍රත ව පැවැත්වෙන ඇසළ මහා මංගල්‍යය පිළිබඳවත්, එහි දී කතරගම ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහාරයේ සහ සම්බන්ධයත් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමය. ඒ තොරතුරු පරික්ෂා කරනවිට පෙනී යන වැදගත්ම කාරණය නම්, ලංකාවේ පැවැත්වෙන සියලු ම ඇසළ සැණකෙළිවලට වඩා කතරගම ඇසළ මහා මංගල්‍යය, ඊටම ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ රාශියක් නිසා සුවිශේෂී බවක් උසුලන බවය.

ඓතිහාසික වාර්තා අනුව කතරගම යනු බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් බෞද්ධ පින්බිමකි. බුදුරදුන් සිය තෙවැනි ලංකා ගමනයේ දී මහ රහතුන් පිරිවරා වැඩසිටි ස්ථාන අතර, කතරගම ද එකකි. එවක කතරගම ප්‍රාදේශීය පාලකයා වූ මහාඝෝෂ නම් ප්‍රභූවරයාට අයත් කිිහිරි උයනෙහි වැඩ හිඳිමින් බුදුරදුන් දම් දෙසු බවත්, ඊට සවන් දුන් බොහෝ පිරිස් තෙරුවන් සරණ ගිය අතර මහාඝෝෂ සෝවාන් ඵලයට පත් වූ බවත් ජනප්‍රවාදයෙහි එයි. කිරිවෙහෙර සෑ රදුන් ඉදිකර ඇත්තේ ඒ ඓතිහාසික සංස්දිධිය සමරනු වස්, ඒ කිහිරි උයන පිහිටි බිමෙහි ය.

සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරටට වැඩම වන ලදුව, දෙවනපෑතිස් රජතුමා විසින් අනුරාධපුරයේ පිහිටි මහමෙව්නා උයනෙහි රෝපිත ජය ශ්‍රී මහා බෝධි ශාඛාවෙන් හටගත් අංකුර අටෙන් එකක් ලත් කතරගම ක්ෂත්‍රියයෝ, එය ස්වකීය ජනපදයෙහි රෝපණය කළහ. කතරගම මහා දේවාල පරිශ්‍රයෙහි අද දක්නට ලැබෙන අෂ්ටඵල රුහ බෝධිය එයයි.

මේ කරුණු දෙක සිහිපත් කළේ කතරගම බෞද්ධ පූජා භූමියක් ය යන මතය මතු කිරීමට වඩා කතරගම මහා දේවාලයත්, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයත් අතර පවත්නා ඓතිහාසික සම්බන්ධය ගොඩනැගෙන්නට තුඩුදුන් පසුබිම සකස් වූ ආකාරය පැහැදිලි කිරීමට ය.

රෝහණ රාජ්‍යයේ නැගීමත් සමඟ ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවැති කතරගම ක්ෂත්‍රිය රාජ්‍යය, ඉතිහාසයෙන් මැකී යන්නේ එය ද රෝහණ රාජ්‍යයට ම එක් වීමෙනි. කාවන්තිස්ස රජු රෝහණයේ පාලකයාව සිටිය දී අනුරාධපුරය අගනුවර කරගත් රජ රට ප්‍රධාන රාජ්‍යය පැවැතියේ එළාර නම් ද්‍රවිඩ ආක්‍රමණිකයාගේ පාලනය යටතේ ය. මේ පර සතුරු ආක්‍රමණයෙන් රට මුදා ගැනීමට පෙරට එන්නේ කාවන්තිස්ස රජුගේ පුත් දුටුගැමුණුු යි.

පියාගේ ඇවෑමෙන් සිහසුනට පත් දුටුගැමුණු , ස්වකීය අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා ද්‍රවිඩ පාලනයට එරෙහිව යුද වදින්නට තීරණය කළේය. ඒ සඳහා අවශ්‍ය පසු බිම ඒ වන විට නිර්මාණය වී තිබූ නිසා දුටුගැමුණු රජුට තිබුණේ සටන් මෙහෙයැවීමයි. ඒ සඳහා දෘෂ්‍යමාන බලවේග පමණක් නොව අදෘෂ්‍යමාන බලවේගවල ද පිහිට ලබාගත යුතුයැයි කල්පනා කළ දුටුගැමුණු රජතුමා ඒ වන විටත් කතරගම ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට ලක්ව පුද පූජා ලබමින් සිටි මහසෙන් දෙවියන්ගේ පිහිට පැතීමේ අදහසින්, කතරගම මැණික් ගඟේ ජීවමාලි තොටුපළින් දිය නා, පෙහෙවස් සමාදන්ව ඓතිහාසික අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වෙත ගොස්, තම අරමුණ දන්වා තම සටනට අනුග්‍රහය දක්වන ලෙසත්, තමා ජයග්‍රහණය කළහොත් මහසෙන් දෙවිඳුන් උදෙසා ස්ථිර දේව මන්දිරයක් ඉදිකරදෙන බවටත් ප්‍රතිඥා දී බාරයක් විය. රජතුමා බෝධිය වෙත ගොස් තම ඉල්ලීම ඉදිරිපත් කළේ ඒ වන විට කතරගම මහසෙන් දෙවියන් අෂ්ටඵලරුහ බෝධියට අධිගෘහිත ව වෙසෙතැයි ජනතාව අතර විශ්වාසයක් පැවැති බැවිනි.

අපේක්ෂිත අයුරින් ම දුටුගැමුණු රජතුමා විජයග්‍රහණය ලැබූ අතර එතුමාගේ පළමු කාර්යය වූයේ තමා දෙවියන් හමුවේ වූ පොරොන්දුව ඉටු කිරීමයි. ඒ අනුව අෂ්ට ඵල රුහ බෝධි පරිශ්‍රයෙහි දේව මන්දිරයක් ඉදි කරවූ දුටුගැමුණු රජතුමා එම දේවාලය ආශි‍්‍රතව දෛනිකව හා වාර්ෂිකව ඉටුකළ යුතු පුද සිරිත් මාලාවක් ද සම්මත කර එකී පුද සිරිත් අඛණ්ඩව ඉෂ්ට සිද්ධ කිරීම සඳහා නිල තේවා මණ්ඩලයක්ද පත්කර එකී කාර්යයන් අධීක්ෂණය කිරීම සඳහා බස්නායක නිළමේවරයෙක්ද පත් කළේය. බස්නායක නිළමේ තනතුරට පත් පළමු තැනැත්තා රජුගේ ම බෑණා කෙනෙකු බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.

කතරගම මහසෙන් මහා දේවාලය කතරගම පුදබිමට එක්වූයේත්, එම දේවාලය ආශි‍්‍රත ඇසළ මංගල්‍යය ඇතුළු පුද සිරිත් ආරම්භ වුයේත්, ඒ අනුවය. ඒ අදින් වසර දෙදහස් එකසිය අසූවක් පමණ ඈත අවදියකයි. රාජ සම්මතය අනුව ඒ සියල්ල එදා සිට අද දක්වාම අඛණ්ඩව ඉෂ්ට සිද්ධ වෙමින් පැවත එයි. මේ පුජා චාරිත්‍ර අතර දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය නම්, කතරගම මහා දේවාලය කුදු මහත් සෑම චාරිත්‍රයකදීම රත්නත්‍රයට ප්‍රමුඛත්වය ලබා දී තිබීමයි. කතරගම මහා දේවාලයත්, කිරිවෙහෙර රාජ මහා විහාරයත්, ඒකාත්මික වන්නේ ඒ අනුවය. මහා දේවාලයේ දෛනික හා වාර්ෂික පුද සිරිත් සඳහා නිලධාරි මණ්ඩලයක් හෙවත් තේවා මඩුල්ලක් පත් කළ බව ඉහත සඳහන් කෙරිණි. “පිරිත් නිලය” යනු ඒ අතර විශේෂිත නිලයකි. මහා දේවාලය හා සම්බන්ධ බෞද්ධ චාරිත්‍ර විධි පැවරෙන්නේ පිරිත් නිලයටයි. පිරිත් නිලය පැවරී ඇත්තේ කිරිවෙහෙර විහාරස්ථානයට ය. ඒ දුටුගැමුණු රාජ නියමයෙනි. දේවාලය හා සම්බන්ධ බෞද්ධ ආගමික වතාවත් සඳහාම වෙන්වු බුද්ධ මන්දිරයක් මහා දේවාලයට යාබදව ඇති අතර එය හඳුන්වන්නේ කිරි විහාරය නමිනි. දේවාලයේ දෛනික බෞද්ධ චාරිත්‍ර සිදුවන්නේ කිරි විහාරයෙනි. දිනකට තුන් වරක් හා දේවාලයේ මුරුතැන් පූජාව ඇතුළු පුජා පැවැත්වෙන අතර මුළුතැන් පූජාවේ අග්‍ර කොටස කිරි විහාරයට පූජා කිරීම එබඳු එක් චාරිත්‍ර විධියකි. කිරි විහාරය අයත් වන්නේ කිරි වෙහෙරටයි. කතරගම මහා දේවාලයේ උත්කර්ෂවත් පූජා විධිය ඇසළ මංගල්‍යයයි. පෙරහර පිටත්වීමට පෙර දේවාලය තුළ පිරිත් සජ්ඣායනය කර ඊට සහභාගි වන තේවාකරුවනට පිරිත් පැන් බෙදා දෙන අතර මහා දේවාලය තුළ පිරිත් පැන් ඉසීම ද සිදුවෙයි. ඒ සියල්ල සිදුවන්නේ පිරිත් නිලය භාර කිරිවෙහෙරවාසී භික්ෂූන් අතිනි. මෙබඳු චාරිත්‍ර විධියක් ඉටු කරන ලොව එක ම දේවාලය කතරගම මහා දේවාලයයි.

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ විචිත්‍රවත් අවස්ථාව රන්දෝලි පෙරහර හෙවත් මහා පෙරහරය. යට සඳහන් කළ සියලු බෞද්ධ චාරිත්‍ර විධි ඉටු කිරීමෙන් අනතුරුව නියමිත නැකතක් අනුව මහා දේවාලයෙන් පිටත්වන මහ පෙරහරෙහි විශේෂත්වය, එම පෙරහරේ දේවාභරණවලට අමතරව සධාතුක කරඬුවත් එය භාරව කිරිවෙහෙරවාසි භික්ෂූන් වහන්සේලාත් වැඩම කරවයි. මේ මහ පෙරහර කිරිවෙහෙර විහාරස්ථානය දක්වා ගමන් කරන අතර, එහි දී සිදුවන බෞද්ධාගමික චාරිත්‍ර විධි රාශියක් තිබේ. මේ ලක්ෂණ සහිත ලොව එකම දේවාල පෙරහරද කතරගම මහා දේවාල පෙරහර පමණි. කතරගම මහා දේවාලයත්, කිරිවෙහෙර රාජමහා විහාරයත්, කතරගම ඇසළ මහා මංගල්‍යයත් අතර, දුටුගැමුණු රජ දවස පටන් අඛණ්ඩව පැවත එන අන්තර් සම්බන්ධතාව මේ කරුණු ආශ්‍රයෙන් මනාව වටහා ගන්නට හැකිය. ඒ අනුව කතරගම මහා දේවාලය ආශි‍්‍රතව පැවැත්වෙන දෛනික හා වාර්ෂික පුද සිරිත් ද චාරිත්‍රානුකූලව පැවැත්වෙනු ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]