UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගත ගුණ මහිමය

 වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 36

සුගත ගුණ මහිමය

සුතා – අපි යමක් ශ්‍රවණය කරන්නට ඕනේ,
ධතා – ධාරණය කරන්නට ඕනේ,
වචසා – වචනයෙන් කට පාඩම් කරන්නට ඕනේ,
පරිචිතා – මනාව පුහුණුවෙන්නට ඕනේ,
මනසානුපෙක්ඛිතා – සිතින් හොඳට දකින්නට ඕනේ,
දිට්ඨියාසුප්පටිවිද්ධා – මනාව සම්මා
දිට්ඨියෙන් ග්‍රහණය කරගන්නට ඕනේ,

එයයි බහුශ්‍රැත ස්වභාවය , මුලින් පැහැදිලි කළා. ආගම බහුශ්‍රැත. දෙවනුව අධිගම බහුශ්‍රැත. ඉතින් ආගම බහුශ්‍රැතයෙන් තොරව අධිගම ලබන්න පුළුවන්. නමුත් ආගම බහුශ්‍රැතය අධිගමය ලබන්නට උපකාරයක් වෙනවා.

ඒක නිසා මේ දෙකම අපට අවශ්‍ය වෙනවා. බුදුපියාණන් වහන්සේ බහුශ්‍රැත භාවයෙන් අතිශ්‍රේෂ්ඨයි. ඒක නිසා තමයි අප කියන්නේ ‘විජ්ජාචරණ’ ගුණයෙන් සමන්නාගතයි කියලා.

උන්වහන්සේ තුළ තිබෙනවා අසීමිත වීර්යයක්. උන්වහන්සේ කිසිම දවසක පැකිලීමක් නෑ. යමක් කරන්න පටන් ගත්තොත් ඒක ඒ විදිහටම කරනවා නිමාව දක්වාම ‘මේ ගුණ පිළිවෙත් පිරීමේ පිළිවෙතට උන්වහන්සේ ඇරඹූ වීර්යයෙන් යමක් ආරම්භ කරලා,වීර්යයෙන් ම කරගෙන යනවා. නිමාව දක්වාම. අපිත් එහෙම තමයි වෙන්නට ඕනේ. උන්වහන්සේ සංසාරේ පාරමී පුරන කාලයේ පුදුමාකාර උත්සාහයකින්, උනන්දුවකින් කටයුතු කළේ. ප්‍රතිපත්ති පිරුවේ. පාරමී පිරුවේ. අපිත් එහෙමනම්, මේ පරක්කම කියන ගුණය දියුණුකර ගත යුතු ගුණයක්. ඊළඟට සතිය සිහිය- සිහිය කියලා කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයෙන් සම්බන්ධ වන සිහිය. රජතුමාගේ භාණ්ඩාගාරිකයා භාණ්ඩාගාරයේ තිබෙන දේවල් පෙන්න පෙන්න කියන්නා සේ අකුසලය මේකයි කුසලය මේකයි කියමින් අකුසලය බැහැර කරලා කුසලය තුළ සිහිය පිහිටුවීමයි සතියෙන් කරන්නේ. ඒ වගේම නැවත නැවත ඒ කුසලය බලසම්පන්න වීමයි සතියෙන් කරන්නේ.

‘සතිය’ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට. බල ධර්මයක් විදිහට. බොජ්ඣංග ධර්මයක් විදිහට, මාර්ග අංග ධර්මයක් විදිහට. සිදු වෙනවා. එතකොට සතර සතිපට්ඨාන ධර්මය සිදු වෙනවා. ‘මති’ කියලා කියන්නේ නුවණ මොකක්ද මේ නුවණ. මුලින් විජ්ජා කියන තැන විදර්ශනා ඤාණ ආදි අෂ්ඨ විද්‍යාවන්ගෙන් බැහැර වූ විශේෂ ඤාණ තථාගතයන් වහන්සේට තිබුණා. ඒ සියලුම නුවණ තමයි ‘මති’ කියා පැහැදිලි කරන්නේ. ඊළඟට ‘චත්තාරි ඣානානි’ සතර ධ්‍යාන’ චතුත්ථ ධ්‍යානවලට අරූප ධ්‍යානත් ඇතුළත් වෙලා තියෙනවා. මේ තමයි තථාගතයන් වහන්සේගේ චරණ ගුණධර්මයන් ටික. ඉතින් මේ කියන විජ්ජා චරණ ධර්මයන්ගෙන් බුදුපියාණන් වහන්සේ සමන්වාගතයි. ඒක නිසා අපි කියන්නේ විජ්ජා චරණ ගුණයෙන් සමන්විතයි කියා.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,

ඔබ වහන්සේ විදර්ශනා ඤාණ, මනෝමය ඍද්ධි ඤාණ, ඍද්ධි විධ ඤාණ, දිබ්බ සෝත ඤාණ, පරචිත්ත විජාණන ඤාණ, පුබ්බේ නිවාසානුස්සති ඤාණ, අෂ්ඨ විද්‍යාවන්ගෙන් සමන්වාගත වන සේක. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, භෝජනයේ මාත්‍රඥතාව ජාගරියානුයෝගය, ශ්‍රද්ධා ගුණය, හිරිඔතප් ගුණය, බහුශ්‍රැත ගුණය, උත්සාහය , සිහිය, නුවණ, සතර ධ්‍යාන යන පසළොස් චරණ ධර්මයන්ගෙන් යන විදු චරණ ගුණයෙන් සමන්වාගත වන සේක. මෙසේ විදු චරණ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය ද පූජා කරමි. පූජා වේවා.

සුගත කියන ගුණය කෙටියෙන් විස්තර කරනවා නම්, සුගත කියලා කියන්නේ සු -ගත- යහපත් ගමන් විලාස, සුන්දර ගමන් විලාස ඇති නිසයි.

‘සුගතත්තා’ දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වාම වෙනස් නොවන, මධ්‍යම ප්‍රතිපදාවෙන් ම ගමන් ගත් නිසා සුගත කියනවා. උන්වහන්සේට එදා දීපංකර පාද මූලයේ දි නියත විවරණ ලැබුණා. එදා ඉඳලා අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට මධ්‍යම ප්‍රතිපදාවෙන්මයි ගමන් ගත්තේ. ඒ නිසා අපි කියනවා ‘සුගත’ කියලා. ඊළඟට ‘සුගතත්තා’ යහපත් වචන කතාකළ බැවින්. උන්වහන්සේ හැමවෙලේ ම අර්ථ සම්පන්න, ව්‍යඤ්ජන සම්පන්න. සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්ම චරියාවයි කතා කළේ. උන්වහන්සේ කතා කළ ධර්මය ‘ස්වාක්ඛාත’ යි. උන්වහන්සේ කතා කළ ධර්මය සන්දිට්ඨිකයි. අකාලිකයි. ඒහිපස්සිකයි’. ඕපනයිකයි, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති. ඒ කියන්නේ උන්වහන්සේ ගේ ධර්මය ආදි කල්‍යාණයි. මජ්ඣය කල්‍යාණයි. පරියෝසාන කල්‍යාණයි. උන්වහන්සේගේ ධර්මයේ මුල යහපත්. මැද යහපත්. අග යහපත්. උන්වහන්සේගේ ධර්මයේ කිසිතැනක අවුල් නැහැ. වියවුල් නැහැ. උන්වහන්සේ මේ මේ දේ කිව්වා. කිව්වේ නැහැ කියා කිසිම කෙනෙකුට කියන්න දෙයක් ඉතුරු කළෙත් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ තුළ යහපත් වචන, ඒ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ දන්නවා නම් මේක බොරුවක් කියා උන්වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ දේ කියන්නේ නැහැ. සත්‍ය නම් කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවා නම් පමණයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ තමයි සුගත යන්නෙහි තේරුම. ඊළඟට සෝභන ගමන් විලාස ඇති බැවින්. බෙහෝම ලස්සන ගමන් විලාස ඇති බැවින් උන්වහන්සේ ළඟ ‘නාගාපලෝකනය’ තිබෙනවා. නාගාප ලෝකනය මොකක්ද? ඇතෙකුට පිටුපස හැරිල බලන්න ඕන නම් ඇතා මුළු ඇඟම හරවන්නට ඕනෙ නේද? බුදුපියාණන් වහන්සේ ළඟත් තියෙන්නේ නාගාපලෝකනයයි.

උන්වහන්සේට පිටු පස සිටින කෙනෙක් බලන්න ඕන නම්, අපි වගේ බෙල්ල හරවා බලන්නේ නැහැ. මුළු ශරීරයම හරවා බලන්නේ. ඒ වගේම උන්වහන්සේ වඩින කොට පාරේ දූවිලි, ගල්කැට ,බොරළු සියල්ල ඉවත් වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී පතුල් හරියට ලෑල්ලක් බිම තියන්නා සේ සමතලා පොළවේ සමව පිහිටනවා. උන්වහන්සේ වඩින වෙලාවේ මේ අපි යන්නා වාගේ ශබ්ද නැගෙන්නේ නැහැ. තව කෙනෙකුට හිංසාවක්, පීඩාවක් වෙන්නේ නැහැ. ලොවක් සනසමින් තමයි උන්වහන්සේ වඩින්නේ. ඉතින් උන්වහන්සේ ගේ මේ ගමන් විලාසය බොහොම සුන්දරයි. ඒ වාගේම පි‍්‍රයමනාපයි. තථාගතයන් වහන්සේ ගේ මේ ගමන් විලාසය දකින දෙවියන් සාධු කාර දෙනවා. බ්‍රහ්මයන් සාධු කාර දෙනවා. තිරිසන් ගත සත්වයන් සාධුකාර දෙනවා. ඒ වාගේම නොයෙක් මිථ්‍යා දෘෂ්ඨිකයන් පවා සම්මා දිට්ඨික වෙනවා. ඒ වාගේම සම්මා දිට්ඨික ඇත්තන්ගේ සම්මා දිට්ඨිය තව තවත් බල සම්පන්න වෙනවා. අපැහැදුණු අය පැහැදෙනවා. පැහැදුණු අය තව තවත් පැහැදෙනවා. බුදුපියාණන් වහන්සේට, සුන්දර ගමන් විලාසයක්, සෝභන ගමන් විලාසයක්, පැවති නිසා අප කියනවා සුගත කියා. ඊළඟට සුන්දර නිවනට වැඩි නිසා .උන්වහන්සේ නිවනට වැඩම කළේ එක ආත්මයක් නෙමෙයි. අනන්ත අප්‍රමාණ අනාදීමත් කාලයක් සසර දුක් විඳලයි නිවනට වැඩම කළේ. සියලුම දුක් ගැහැට, සියලුම දේ පසෙකට දාලා උන්වහන්සේ සියලු දේ ඉවසා දරාගෙන යි නිවනට වැඩම කළේ. බලන්ට , තථාගතයන් වහන්සේගේ ගමන් විලාසය ගැන කියද්දි මතක් වෙනවා. තුන් බෑ ජටිලයන් රහත් කරලා ඒ පිරිවර දහසක් අරගෙන බුදුපියාණන් වහන්සේ වඩිනවා රජගහ නුවරට. බිම්බිසාර රජ්ජුරුවන්ගේ ආරාමයට ආරාධනාව ඉටුකරන්න යනකොට මේ විලාසය දකිනවා සක්දෙව් රජ්ජුරුවෝ එතුමා තරුණ මානවකයෙකුගේ වේශයක් අරගෙන ලස්සන පී‍්‍රති වාක්‍ය පවසනවා.

ඉතාමත් දැමුණු, කෙලෙසුන්ගෙන් අතමිදුණු තථාගතයන් වහන්සෙගේ අර දැමුණු සිත් ඇති ජටිලයන් සමඟ රන්වන් ශරීර ඇතිව රජගහනුවරට වඩිනවා.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk