UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

පොසොන් අමාවක 2018.07.12

මඟ නොහැරිය යුතු දහම් පාසල් අධ්‍යාපනය

මැක්සිම් ගෝර්කි ලෝක ප්‍රකට රුසියානු ලේඛකයෙකි. දිළිඳු, අනාථ දරුවෙකු වූ ගෝර්කිට දිවි රැක ගන්නට කුඩා කල සිටම බොහෝ දුක් විඳින්නට සිදුවිය. විවිධ රැකියාවන්හි නිරත වන්නට සිදුවිය. ජීවිතය ගැට ගසාගන්නට වෙහෙසෙනු විනා පාසලකට ගොස් විධිමත් අධ්‍යාපනයක් ලබන්නට තරම් අවස්ථාවක් ඔහුට ලැබුණේ නැත. එහෙත් ඔහු පසු කලෙක ලොවපුරා පාඨකයන්ගේ ආදරය දිනාගත් කීර්තිමත් ලේඛකයෙක් විය. තම ජීවිත කතාව ලියූ මේ මහා ලේඛකයා එහි සටහන් කළේ තමන්ට ඉගෙන ගන්නට මඟ පෑදුවේ, තමන් ඉගෙන ගත් විශ්වවිද්‍යාලය වූයේ ජීවත් වූ පරිසරය බවය. ඔහු ඉගෙන ගත්තේ තමා අවට පරිසරයෙනි. එහිදී ඇසූ දුටු දෙයිනි. විවිධ මිනිසුන්ගේ හැසිරීම්, ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙනි.

පරිසරය විශ්වවිද්‍යාලයක් තරමට දැනුම දෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. එහෙත් අද අපේ සමාජයේ බොහෝ මවුපියන්ට වරදින්නේ අධ්‍යාපනය ඇත්තේ පාසල් විෂයය නිර්දේශිත පොත පත තුළ පමණක් බව සිතන්නට යාම නිසා ය. පාසල් කාලයෙන් පසුවද මද විවේකයක් හෝ නොලබා ඇතැම් දරුවන් අමතර පන්තිවලට යොමු කරන්නේ බොහෝ විට දරුවාගේ දැඩි නොකැමැත්ත මත බලහත්කාරයෙනි. සෙනසුරාදා මුළු දවසමත්, ඉරිදා දිනයේත් සමහර දරුවන්ට අමතර පන්තිය, එහි බරපතළම වරද ඉරිදා දින දහම් පාසලට පැමිණීමට ඇති අවකාශය ද අහිමි කිරීම ය. වෙනත් ලෙසකින් කියනවා නම් දරුවාගෙන් එම කාලය ද උදාරා ගැනීමය. දහම් පාසල් අධ්‍යාපනය නොලැබීම කුඩා දරුවකුගේ ජීවිතයට මහත් හිඩැසක් ඇති කරන්නේ ය. වැඩිහිටියෙකු වී ද ඒ හිස්තැන පුරවනු නොහැකිය.එහි අහිතකරතාවයන් තමන්ට පමණක් නොවේ. ජීවත්වන සමාජයට ද මුදා හැරෙන්නේ ය.

ළමා මනස ගුණධර්මයන්ගෙන් පෝෂණය වන්නට යහපත් පරිසරයක් අත්‍යවශ්‍ය ය. දහම් පාසල ඒ සඳහා හොඳම තෝතැන්නය. පන්සල්බිමේ පරිසරය සාමකාමී ය. එහි වැඩ සිටින බෝධීන් වහන්සේගේ, වෙහෙර වහන්සේගේ, බුදුපිළිම වහන්සේගේ දර්ශනය කුඩා දරුවන් තුළ නිතැතින් ම සංයමයක්, සාමකාමී බවක් ඇති කරයි. පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දරුවන්ට සැබෑ කල්‍යාණ මිත්‍රයන් ය. බෝධීන්වහන්සේ සෙවණේ, එසේත් නැතිනම් බොහෝවිට පන්ති කාමරයෙන් බැහැරව සිසිල් සෙවනක දරුවන්ට කියා දෙන බණ කතා, බෝසත් කතා කුඩා කල සිටම අපූර්ව ජීවිතාවබෝධයක් ලබා දෙන අතරම ශක්තිමත් පෞරුෂත්වයක් ඇති කරයි. පන්සලේ පරිසරයේ දී ඇස ගැටෙන කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම කතාබහ, ගමන බිමන ඇතුළු සෑම හැසිරීමක් ම අන් තැනක හැසිරීමට වඩා වෙනස් ය. සංවරශීලීය. දහම් පාසල තුළින් මෙහෙයවන සීල භාවනාමය වැඩසටහන්, දානමය පින්කම් ආදියට ද දරුවාට නිරන්තරයෙන් සහභාගි වන්නට අවස්ථාව ලැබේ. මේ සියලු දේ අතර ගත කරන පැය කිහිපයක දී වුවද දරුවන් ජීවිතයට බොහෝ දේ උකහා ගනී. එය යහපත් ජීවිතයකට පදනම සකසාදෙයි. මේ නිසා දහම් පාසල් අධ්‍යාපනයට දරුවා යොමු කරවීම සෑම බොදුනුවකුගේ ම වගකීමක් බවට පත්කර ගත යුතු ය.

පවුලක, ගමක, රටක සංවර්ධනය යනු භෞතික සම්පත්තීන්ගේ දියුණුව පමණක් නොවේ. එහි වෙසෙන මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගේ සංවර්ධනය ද අත්‍යවශ්‍ය ය. මරණබිය, සොර බිය නැති, විශ්වාසය රැඳුණු, බොරුව, වංචාව නැති දැමුණු මිනිසුන් සිටින සමාජයක් පමණි ජීවත්වීමට වඩාත් සුදුසු වන්නේ. එවැනි මිනිසුන් බිහි කිරීමේ හොඳම තෝතැන්න දහම් පාසල ය.

දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙමින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පසළොස්වක පොහොය දින සහ ඉරිදා දින පෞද්ගලික පන්ති පැවැත්වීම පිළිබඳ නිසි වැඩ පිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අවධාරණය කළේ ය. දිගු කලෙක සිට ම මෙම මාතෘකාව වරින් වර කතා බහට ලක්විය. එහෙත් එය එක් පාර්ශ්වයකට පමණක් කළ නොහැක්කකි.තමන්ගේ දරුවාට ගුණ ධර්ම ඉගැන්වීමේ වගකීම, ආගම දහමට නැඹුරු කරවීමේ වගකීම අන්කාටත් වඩා ඇත්තේ මව්පියන්ට ය. ඒ කාර්යභාරයේ දී මව්පියන් ආපස්සට ඇදුණේ නම්, වෙනත් දිශාවකට තල්ලු වී ගියේ නම් දරුවන් නිවැරැදි මග යනුයේ කෙසේ ද? මේ නිසා වහ වහා ම මව්පියන් ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුව තිබේ.

ගමේ පන්සලේ, ගමේ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසල වැඩිදියුණු කරන්නට අත හිත දීම ද ඔවුන් සතු යුතුකමකි. බොහෝවිට එහි අධ්‍යාපනය ලබා දෙන්නේ ගම් ප්‍රදේශයේ ම දැන උගතුන් ය. ඇතැම්විට විශ්‍රාමික ගුරු භවතුන් ය. මේ අයගේ ගරු සේවය අගය කිරීම ද පරපුරක අනාගතය වෙනුවෙන් කරන මා හැඟි ආයෝජනයක් ය.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]