UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිර්වාණ සුවයම වර්ණිතය

නිර්වාණ සුවයම වර්ණිතය

දෙලෝ සැපත සාදනා කරුණු සතරක්

සුඛා මත්තෙය්‍යතා ලෝකේ
අථෝ පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලෝකේ
අථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා

ලොව අතිඋත්තම සැපත සාධනය කළා වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ඒ අත්‍යුත්තම සැපය උදෙසා පාරමී දම් පූරණය කරන අයගේ උපයෝගීත්වය සලකා දෙලෝ සැප සාදනා කරුණු බොහෝ දේශනා කළ සේක. ඒ අතර බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයෙහි නාග වර්ගයෙහි දෙලෝ සැපත සාදනා කරුණු කිහිපයක් දැක්වෙයි. පූර්ව ගාථා රත්නය ඒ අතරින් කරුණු සතරක් අන්තර්ගත ය. මෙම කරුණු සතර වෙසෙසින් දක්වන්නේ ගෘහස්ත දිවිපෙවෙත ගත කරනුවන්ට පහසුවෙන් ම කරගත හැකි වටිනා පුණ්‍ය ක්‍රියා බැවිනි.

සැපය වූ කලී,ලොව කවුරුත් විඳීමට කැමැත්තෝ ය. නමුදු එසේ වින්දනය කරන සැපයන් ඒ ඒ පුද්ගලයාට අනුව විවිධ ප්‍රමාණ වේ. ලෞකික, ලෝකෝත්තර, භෞතික, අධිභෞතික , බාහිර, අධ්‍යාත්මීය ආදි අයුරින් ඒ සැපත ප්‍රභේද වේ. ලෞකිකත්වය තුළ ඇති නාම මාත්‍රික තාවකාලික සැපය යන්න බුද්ධාදී උතුමෝ පිළිකෙව් කළහ. ලෝකෝත්තරත්වය තුළ ලබන සැපය වූ සදාකාලික වු නිවන් සුවය ම වර්ණිත ය. එසේ වු ලෝකෝත්තර සැප සාධනය පිණිස උපකාරී වූ ගුණ ධර්ම පුරුදු පුහුණු කිරීම හෙවත් නිවන් සඳහා කුසලයෙහි අවශ්‍යතාවය වෙයි.

තමා ලද සිවුපසයෙන් මව්පිය උපස්ථානය සිදුකළ භික්ෂුවගේ ක්‍රියාව අනුමත කරමින් බුදුරජාණන් වහන්සේ, සැපත පිණිස හේතුවන කරුණු හතරක් මෙසේ දෙසා වදාළ සේක.

මව කෙරෙහි මනාසේ පිළිපැදීම

සැප ගෙනදේ,

පියා කෙරෙහි මනාසේ පිළිපැදීම

සැප ගෙනදේ,

මහණුන් කෙරෙහි මනාසේ පිළිපැදීම

සැප ගෙනදේ,

රහතුන් කෙරෙහි මනා සේ පිළිපැදීම

සැප ගෙන දේ යනුවෙනි.

මෙම කරුණු හතරෙහි දක්වා ඇති මුල් කරුණු දෙක එක්ව ගෙන සාකච්ඡා කිරීම වටනේ ය. මන්ද යත් මව සහ පියා පිළිබඳ ගුණ දැක්වීම් දහම තුළ එක්වම සිදුකර ඇති බැවිනි. මත්තෙය්‍යතා හා පෙත්තෙය්‍යතා යනු මව හා පියා කෙරෙහි මනාසේ පිළිපැදීම හෙවත් මව්පිය උපස්ථානයයි. මව්පිය උපස්ථානය තුළ දෙලොව සැප ළඟා කරගත හැකි ය.

බොහෝ දුක් ගැහැට විඳ අප මෙලොවට බිහිකර පෝෂණය කරවූයේ මව්පියෝ ම ය. මව්පියන් නිසා අප ලද ලාභයන් කියා, ලියා නිමක් කළ නොහැක්කේ ය. මව්පිය දෙපළ අප කුසහොත් දවසේ පටන්ම හදෙහි රඳවාගෙන දිවි පරදුවට තබා බොහෝ කැප කිරීම් කළෝ ය.

“දසමාසේ උරෙ කත්වා – පෝසේසි වුද්ධිකාරණං” යනුවෙන් මවුන් වඳින ගාථා පාඨයෙහි ද සඳහන් වන්නේ මව අප දසමාසයක් කුස දරා පෝෂණය කළ බවයි. මව්කුස තුළ අප දසමසක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සිටිය බව සත්‍යය වූයේ නමුදු ඒ දසමස හදෙහි අප නොරඳා සිටියා නම්, අද අප මෙලොව කෙසේ දිවිගෙවයි ද යන වග අපට අනුමාන කළ නොහැකි ය. දසමසක් නොව ඔවුන් දිවි ඇතිතුරා අප හදෙහි දරා සිටියි. මවගේ හදගැස්ම, ගුණසුවඳ තුරුලු කරගෙන මෙලොව එළිය දකින අපි පිය සෙනෙහෙ නම් රැකවල් මැදින් දිවි ගමන අරඹමු. මෙසේ අප වෙනුවෙන් අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳි, දහඩිය කඳුළු හෙළූ, සෙනෙහෙවන්ත මව්පිය දෙපළ අපට මිහිපිට දෑසින් දැකිය හැකි බුදුවරු ය.

“බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා”

පූර්වාචාර්ය වරු ඔවුන් ම ය. දරුවන්, ආහුණෙය්‍ය ගුණයෙන් යුතුව පිදිය යුත්තෝ මව්පියෝ ය. සකල ප්‍රජාව කෙරෙහි අනුකම්පා සහිත වුවෝ මව්පියෝ ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ විහරණයන්ගෙන් සත්‍යය වශයෙන්ම යුක්ත වූවෝ මව්පියෝ ය. සමහරෙක් සිතනුයේ මව්පියන් අපට දෙන ලද්දේ මොනවාද යනුවෙනි. මව්පිය දෙදෙනා භෞතිකමය වශයෙන් අපට කිසිවක් නොදුන්නාට ඔවුන් අපට ජීවය ලබා දී ආරක්ෂා කොට පෝෂණය කළ නිසා ම ඔවුන් කෙරෙහි උවටැන් සිදුකිරීම ප්‍රමාණවත් ය.

මව්පියන්ට උපස්ථාන නොකරන්නා පිරිහෙන්නෙකු සේ ම, වසලයෙකු ද වන බව බුදුදහම උගන්වයි. එසේම මව්පියන් පෝෂණය කිරීම මංගල කරුණක් සේම, මව්පියන් පෝෂණය කරන තැනැත්තා ලෙව ප්‍රශංසාවට පත්වන අතර මරණින් මතු සුගතිගාමීව තුටුවන බවද සඳහන් වේ. මෙසේ මව්පිය උපස්ථානය බුදු වදනින් ම පමණක් නොව උන්වහන්සේ ක්‍රියාවෙන් ද සනාථ කළහ. ඒ මඟම ගිය සැරියුත් මහරහතන් වහන්සේ, මාතුපෝසක භික්ෂුව ආදි බුදු සව්වෝ ද, මවුපිය උපස්ථානය මැනවින් සිදුකළහ. බෝසතාණන් වහන්සේ පාරමීදම් පුරණ බෝසත් ආත්මභවයන්හි ද දිවි පරදුව තබා මව්පිය උපස්ථාන කළ අයුරු අපි අසා ඇත්තෙමු. ජාතක කථා, බොහෝමයක් මව්පිය උපස්ථානය ගැන අපට උගන්වයි.

මේ කිනම් අයුරකින් මව්පිය උපස්ථානය සිදු කළත් මව්පියන් අප කෙරෙහි කළ මෙහෙයට ප්‍රතිඋපකාර කිරීමක් ලෙස සිතිය නොහැකි බව බුද්ධ දේශනාවෙන් උගන්වයි.

වසර සියයක් ආයුෂ ඇතිව, වසර සියයක් දිවි ගෙවන්නෙක් , දිවි ඇතිතාක් මව් එක් උරහිසකත්, පියා අනෙක් උරහිසෙහිත් තබා කිසි දිනෙක බිම නොතබාම උපස්ථාන කරන්නේ වේ ද, නෑවීම් , අත්පා මිරීකීම්, ආහාරපාන අනුභව කරවීම් ආදියද කරන්නේ, එසේම දෙඋරහිස මත හිඳම මළ මුත්‍ර පහ කරන්නේ එය ද ඉවසන්නේ නමුදු මේ කිසිවක් මව්පිය උපස්ථානය සිදුකළා යැයි කිව නොහැකි බව සඳහන් වෙයි.

මව්පියන් පුදන ගෘහය බ්‍රහ්මයා සහිත පූර්වාචාර්යවරු සහිත, ආහුණ්‍යෙයන් සහිත, පුණ්‍යස්ථානයක් ලෙස දහමෙහි අරුත් ගන්වයි. ඒ නිසාවෙන් කෙතරම් කැපවීමකින් මව්පිය උපස්ථාන කළත් ඔවුන් අපට කළ මෙහෙයට ප්‍රති උපකාර කළා යැයි සිතිය නොහැකි ය. එනමුදු ඒ තුළ මහා පුණ්‍යස්කන්ධයක් රැස්වෙයි. හැකියාව තිබියදීත් මව්පිය උපස්ථාන නොකරන්නවුන් කෙසේ නම් සුගතිගාමි වෙත් ද? ඔවුහු දුගතියට ම මං පෙත් සලසා ගත්තෝ ය.

එනමුදු ධර්මානුකූලව මව්පියන් කළ මෙහෙයට සරිලන සේ කරන උපකාරය නම්, ශ්‍රද්ධා විරහිත මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහිත්, මසුරු වූ මව්පියන් ත්‍යාග සම්පත්තියෙහිත්, නුවණ මද වු මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහිත් පිහිටුවන්නේ නම් එය මාතා පිතෘ උපස්ථානය පරිපූර්ණ කළා සේ යැයි දහමෙහි උගන්වයි. ඒ මන්ද යත් එසේ ගුණ ධර්ම වශයෙන් ඔවුන් පෝෂණය කළ කල්හි සංසාරික වශයෙන් ඔවුන් සැපයක්ම ලබන බැවිනි.

අප පෝෂණය කළ උතුම් මව්පියන්ට භෞතිකමය වශයෙන් හැකි උපරිමයෙන් උපස්ථාන කළ යුතුවා මෙන් ම, අධ්‍යාත්මීය ගුණ වගාවට ළං කිරීමෙහිලා පූර්වෝක්ත ශ්‍රද්ධාදී ගුණ සම්පත්තීන්හි පිහිටුවා , මව්පියන්ගේ ද සසර සුවපත් කිරීම දෙලෝ සැප ලබා උතුම් නිවන් සාධනයට ද මහඟු පාරමිතාවක් බව අමුතුවෙන් කිවමනා නොවේ.

මහණුන් කෙරෙහි මනා සේ පිළිපැදීම සැප ගෙන දේ.

සැප සලසන තෙවැනි කරුණ ලෙස දක්වන්නේ “සාමඤ්ඤතා” ශ්‍රමණයන් (පැවිද්දන්) කෙරෙහි මනාසේ පිළිපැදීමයි. “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චිකරණත්ථාය’ යන අධ්‍යාසයෙන් කසාවත දැරූ, යහපත් වූත්,ඍජු වූත්, මාර්ගයේ ගමන් කරන්නා වූ ඤාණය වැඩීමෙහි යෙදෙන ආදීවූ ගුණ ගණාභරණ විභූෂිත උත්තමයන් පැවිද්දන් නම් වෙයි.

පැවිදි උතුමෝ යනු හුදෙක් පරාර්ථයෙහි ලා තම දිවි කැප කෙරුවෝ ය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් උදෙසා පැවිද්දෙකු විසින් නිතර නිතර සිහිකළ යුතු කරුණු දහයක් දක්වා තිබේ. එහි දී පරාර්ථ චර්යාව හා තමාගේ සිල් ගුණදම් පිළිබඳ නිතර නිතර සිහිපත් කරමින් ස්වකීය වැරැදි නිවැරැදි කරගන්නා ලෙසින් උගන්වා තිබේ.

ගම් දනව් සිසාරා දහම් ආලෝකය පැතුරුවේ ද, අද දක්වා සම්මා සම්බුදු දහම ජීවමානව පවත්වාගෙන ආවේ ද, භික්ෂූන් වහන්සේ ය. වැවයි, දාගබයි, ගමයි, පන්සලයි, කහ සිවුරයි, නිල් ගොයමයි යන සංකල්පය අප තුළ පවතින ඒ අවිච්ඡේදනීය සබැඳියාවේ අපූර්වත්වය විදහාපායි.

“බ්‍රහ්මඤ්ඤතා” යනු සිව්වැනි කරුණයි. බුදු, පසේබුදු, මහරහත් ආදි උත්තමයන් කෙරෙහි මනාසේ පිළිපැදීම සැපයට කරුණකි. මන්ද යත් ඒ උත්තමයෝ මුළුමනින්ම පව් බැහැර කරන ලද්දෝ ය. මුළුමනින් ම කෙලෙස් මුල් සිඳලූවෝ ය. මතු භවය සෑදීම නිමා කළෝය. නිවනේ නිවුනෝය. මේ ආදි කල්පයක් කීවත් නිමාකළ නොහැකි ගුණ ඇත්තෝ ය.

උතුම් නිවන් පසක් කරගත් සසුනේ ප්‍රථම රහත් සැට නම අරභයා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළේ දිවිය පුරා පරාර්ථ සේවය කරන ලෙසයි.

බොහෝ වු සත්වයන් සසර දුක් නිමාකරලීමේ මගට පමුණුවන්නට වෙහෙස වෙන ලෙසට උන්වහන්සේ අනුදැන වදාරා තිබේ. උන්වහන්සේලාත් දිවි හිමියෙන් පරාර්ථ සේවයම කරන ලද්දෝය. පසේබුදු උත්තමයන් වහන්සේලා සසර දුක් නිමා කරන මුත් සත්වයා ඒ මග කියාදීමට අපෙහොසත් වෙති. එනමුදු උන්වහන්සේලා සත්වයිනට පිංකෙත් බඳුය. උන්වහන්සේලා අරමුණු කරගෙන පින් දහම් කිරීමෙන් දෙලෝ වැඩ සලසා ගත හැකි ය.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk