UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 105: සිරි දළදා පුරාණය

බුදුපිළිමයේ උපත - 105:

සිරි දළදා පුරාණය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

"මුළු මහත් දාඨාවංස ප්‍රවෘත්තියෙහි ම එන ඓතිහාසික සාරය නම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවය. මේ යුගයේ සහ සමීප යුගයන්හි දී පුරාණ ලංකාවත්, කාලිංගයත් අතර පැවති සම්බන්ධතා මීට තුඩු දෙන්නට ඇත. "

පූජනීයත්වයෙන්, ඓතිහාසිකත්වයෙන් හා සංස්කෘතික මහාර්ඝතාවයෙන් පරමෝත්කෘෂ්ටතාවයකට පත් වී ඇති ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලෝකවාසීන්ගේ අවධානයට යොමුව ඇත්තේය. ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ ඉතිහාසය විවිධ වෘත්තාන්ත, ආදියෙන් සැදුම් ලත් පුවතක්ව ඇත්තේ එහෙයිනි. රාජ අනුග්‍රහය ලබමින් අප රටට වැඩම කළ ශ්‍රී දළදා වහන්සේ මුල සිටම රැක බලා ගැනීමේ සුරක්ෂිත භාවයෙන් යුතුව ඒ වගකීම පැවරී තිබුණේ රජතුමාට ය. රටේ පාලකයාට ය.

විශේෂයෙන් දළදා වහන්සේ වෙනුවෙන් සැදැහැ සිතින් කරන ලද පුද පූජා සඳහා විශේෂිත වූ ගොඩනැගිල්ලක් ද ඉදිවූයේය. එම පූජනීය ගොඩනැගිල්ල මුල් කාලයේ සිට ම රජුගේ රජමාලිගය ආසන්නයේම රජ මාලිගයටත් වඩා ඉතා අලංකාර අන්දමින් නිර්මාණය කරවා එහි ශ්‍රී දළදා වහන්සේ වඩා හිඳුවන ලදී.

රජුගේ මාලිගය මෙන්ම ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කළ මේ ගොඩනැගිල්ල ද දළදා මාලිගය නමින් හැඳින්වීම පුරාණ කාලයේ සිටම පැවතුණි.

ශ්‍රීදළදා වහන්සේ ලාංකික බෞද්ධ ජනතාව විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයන් විිසින් ද අගය කරනු ලබන පරම පූජනීය වස්තුවකි. එහෙයින් සංකේතාත්මකව ශ්‍රී දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙසත්, වැඩසිටින ගන්ධකුටිය මාලිගය ලෙසත් සම්භාවනා ලබති. දළදා මාලිගයට පැමිණ ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සැදැහැ සිතින් පූජෝපහාර පවත්වා වැඳ පුදා ගැනීමට ලැබීම තම තමන්ගේ ජීවිතයෙහි අනුස්මරණීය අවස්ථාවක් ලෙස ද බෞද්ධයෝ සලකති.

ශ්‍රී දළදා වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටි සමසතළිස් දන්තයන් අතුරෙන් ප්‍රධාන දළදා වහන්සේ සතර නමක් පිළිබඳ තොරතුරු ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ.

ලක්දිව ලියැවී ඇති ධාතුවංශ කථා අනුව ඉහත සඳහන් කළ සතර දළදා වහන්සේ අතුරෙන් දෙනමක් ලංකාවෙහි පිහිටියේය. එම විස්තරය අනුව ඉන් එක් නමක් සෝමනුවර සෝමවති නම් ස්තූපයෙහි නිධන් කොට ඇත. ඒ දළදා වහන්සේ මුල දී නාලොව ජයසේන නම් නා රජෙකු විසින් සෑයක තැන්පත්කොට පුද සිරිත් පවත්වන ලදී. පසුව එය තම්බපන්නියෙහි කාවන්තිස්ස රජුගේ කාලයේ මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර කෙනෙකුන් විසින් නාග භවනයෙන් වැඩමවා තම්බපන්නියෙහි ගිරි අබා රජුගේ පර්වත සතර චෛත්‍යයෙහි තැන්පත් කරවූ බව ළලාට ධාතු වංශයෙහි සඳහන් වේ. එය දකුණු දළදා වහන්සේ නමක් බව ද එහි සඳහන් වේ. ලළාට ධාතු වංශය පි.70-71 (ශ්‍රී ලංකාව් බෞද්ධ සංස්කෘතිය සිරිසමන් විජේතුංග සහ ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ සංස්කරණය කළ ග්‍රන්ථය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ලියූ දළදා වහන්සේ සහ පුද පූජා නම් ලිපිය පි. 68-සංස්කෘතික කටයුතු හා කලා කටයුතු අමාත්‍යාංශය 2012)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයෙහි තැන්පත්ව ඇති ලක්දිව වැඩසිටින අනෙක් දළදා වහන්සේ ය. මුලදී කාලිංගයෙහි තැන්පත් කරනලදැයි සලකන මෙම දළදා වහන්සේ වම් දළදා වහන්සේ නමක් බව දාඨාවංශයෙහි දැක්වේ. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ ධාතුවංශය, ලළාට ධාතුවංශය, දාඨාවංශය, රාජරත්නාකරය, මහාවංසය ( LXXII  ගාථා 216-218 ගාථා ) හා දළදා සිරිත වැනි ග්‍රන්ථවලදී සඳහන් වී ඇත.

මුළු මහත් දාඨාවංස ප්‍රවෘත්තියෙහි ම එන ඓතිහාසික සාරය නම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවය. මේ යුගයේ සහ සමීප යුගයන්හි දී පුරාණ ලංකාවත් කාලිංගයත් අතර පැවති සම්බන්ධතා මීට තුඩු දෙන්නට ඇත.

දාඨාවංසයෙහි විශ්වසනීයත්වය තහවුරු කිරීම පිණිස ඉතිහාසඥයනුදු මේ සාධක උපුටා දක්වා ඇත. (THE DECLINE OF POLONNARUVA AND THE RISE OF DAMBADENIYA – PROF.AMARADASA LIYANAGAMAGE P.23-25 1968

පැරැණි කාලිංගය වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක පැවතුණි. ආන්ද්‍රා ප්‍රදේශය ලංකාව සමඟ දාර්ශණික පක්ෂයෙන් හා කලාත්මක පක්ෂයෙන් කලක් මුළුල්ලේ සම්බන්ධතා පැවැත්වූ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි. ( ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමුවන කාණ්ඩය මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 256-257)

ඉතිහාසඥයන් ඉදිරිපත් කරන විවිධ තොරතුරු අතර ලංකාවත්, ආන්ද්‍රා දේශයත් අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් පැවති බව මැනවින් ප්‍රකට වේ. එහෙයින් මහසෙන් රජු හා කාලිංගයේ ගුහසිව රජු අතර සම්බන්ධතාවයක් පැවතුණැයි සඳහන් කරන දාඨාවංස පුවත ඵෙතිහාසික සත්‍යයක් මත ගොඩනැගුණැයි සිතිය හැකි ය. මේ අන්දමට විවිධ ආකාරයෙන් දෙරට අතර පැවති සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් දළදා වහන්සේ ලංකාවට වැඩමවන්නට ඇතැයි සිතිය හැකි ය.

දළදා වහන්සේ අරබයා හටගත් යුද්ධයෙන් තමා පරාජය වුවහොත් දළදා වහන්සේ රැගෙන ලංකාවට යන ලෙස කළ නියමයෙන් එය සිදු වූ බව දාඨාවංසයෙහි මෙන්ම සදාසන්න මූලාශ්‍රය වල සඳහන් වේ. (දාඨා වංසය – ගාථා 297-300 , දළදා සිරිත. පි. 30-31 දළදා පූජාවලිය පි. 34-35) එවක ලංකාවේ රජ කළ මහසෙන් රජතුමා සිය මිතුරෙකු මෙන්ම, දළදා පහස ලද පැන් පොදක් හෝ ලබා ගැනීමට තමන් වෙත පුද පඬුරු එවන්නෙකැයි ගුහසිව රජු කී බව ද එහි පවසා ඇත. (දාඨාවංස 301 ගාථාව රාජරත්නාකරයෙහි මේ පුවත සඳහන් වන්නේ මහසෙන් රජුගේ ඉල්ලීම පරිදි දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම වූ බවය. (රාජරත්නාකාරය පි. 2)

කෙසේ වුවද දළදා වහන්සේ ලංකාවට වැඩමවා ගෙන ආ අවස්ථාවේදී ලංකාවේ රජ කළේ මහසෙන් රජු නොව ඔහු පුත් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජුය. ඒ වන විට මහසෙන් රජු මිය ගොස් වසර නවයක් ගත වී තිබිණි. දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම ගැන මහාවංසයෙහි ද සඳහන් වී ඇත. එය දාඨාවංස විස්තරය තරම් දීර්ඝ නොවන අතර එයට මදක් වෙනස් අයුරින් දක්වා තිබේ.

“ඒ රජු දවස නම වන වස එක්තරා බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිඟු රටින් මෙහි ගෙන්වා (එළු) දළදාවස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙන බහුමානයෙන් උතුම් පුදකොට හුදු පිළිමිණින් කළ කරඬුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේ යි. එතැන් පටන් ඒ ගෙය ධාතුඝර නම් වී. ඉක්බිති සම්පුර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා පෙළහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩමවාගෙන ගොස් ඒ දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය.” (මහාවංසය දෙවැනි කොටස පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා 37 වැනි පරිච්ඡේදය ගාථා 92-97)

දළදා වහන්සේ රැගත් හේමමාලා සහ දන්ත කුමරු බමුණු වෙස් ගෙන දුර්ග මාර්ග ගෙවමින් තාම්රලිප්ත පට්ටනයට පැමිණියහ. එතැනින් ලක්දිව බලා යන වෙළෙඳ නැවක් දැක දළදා වහන්සේ කේශ කලාපයෙහි සඟවා ගත් හේමමාලා කුමරිය දන්ත කුමරු හා නැවෙන් ලංකාව බලා පිටත් වූහ.

(ඉතිරි කොටස ලබන සතියේ) 


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 104: ශ්‍රී පාද වන්දනාව

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk