UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැරැණි බණකතා 02: අවැඩ නොකරන්න

අවැඩ නොකරන්න

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයෙහි සිවුරු මැසීමෙහි නිරත වූ භික්ෂුවක් හා එම භික්ෂුවගේ ස්වභාවය දැනගෙන උන්වහන්සේ රැවටීම පිණිස ක්‍රියාකළ තවත් භික්ෂුවක් පිළිබඳව භික්ෂුන් අතර ඇති වූ සංවාදයක් මුල් කොට මෙම ජාතක කතාව දේශනා කොට තිබේ.

බෝසතාණන් වහන්සේ එක්තරා වන ප්‍රදේශයක පියුම් විලක් අසල වැඩුණු ලුණුවරණ ගසක රුක් දෙවියෙකුව ඉපදුණේ ය. ඒ වනයේ තිබූ කුඩා විලක බොහෝ මත්ස්‍යයන් සහ එක් කකුළුවෙක් ද විසීය. ඒ නුවරට දැඩි නියඟයක් ඇති වුණි. නියඟය නිසා විලෙහි ජලය සිඳී ගියේ් ය. එහි සිටි මසුන් දුකට පත්විය. එය දුටු එක්තරා කොකෙක් “උපායශීලිව මොවුන් රවටා ගෙන ගොස් මරා කමි” යි සිතා විල සමීපයට ගොස් ඉතා දුකට පත් වූ එකෙකු මෙන් සිටියේ ය.

"යහළුවනි, මේ විලේ දිය සිඳී ගොස් ඇති නිසා නුඹලා පිළිබඳව මට මහත් ශෝකයක් ඇත්තේ ය. එනිසා නුඹලා කැමැතිනම්, මාගේ තුඩින් එකා බැගින් අර ඈත පෙනෙන පස් පියුමෙන් සුසැදි මහා විලට ගෙන ගොස් ඇරලවීමට කැත්තෙමි”යි කීවේය.

“ ඈත අතීතයේ පටන් කුඩා මසුන්ට යහපත සඳහා වන ක්‍රියාවක්, සිතන ලද හෝ කරන ලද කොකෙක් ගැන නම් අප අසා නැත. මේ වංචාවෙන් අප මරා කෑමට දරන උපායක් නො වන්නේ ද?” යි මත්ස්‍යයෝ ඇසූහ.

“හා හා එසේ නො කියන්න. මා කියන දේ විශ්වාස නො කරන්නේ නම්, එක කුඩා මස්සකු එවා මා කියන විල ඇති ස්ථානය දැක ගන්න”

ඒ යෝජනාවට එකඟව විල ඇති නැති බව දැන ගැනීමට එක් කුඩා මත්්ස්‍යකුට පැවරී ය. ඒ කුඩා මස්සා කොකා සමඟ ගොස් විල දැක බලා නැවත පැමිණ, එහි ව්ස්තර අනෙකුත් මත්ස්‍යයන්ට පැවසී ය. එය ඇසු සියලු දෙනා ම ඒ විලට යන්නට කැමති වූහ.

කොකා ද පළමු ව ගෙන ගිය කුඩා මාළුවා විල අසල ඇති ලුණුවරණ ගසෙහි තබා ගෙන මරා මස් කා ඇට සැකිල්ල ගස මුල දමා නැවත පැමිණ දෙවන දිනයේ දී තවත් මත්ස්‍යයකු රැගෙන ගියේ ය. මේ අයුරින් දිනපතා මසුන් රැගෙන ගොස් මරා කෑවේ ය. මසුන් අවසන් වූ කල විල අසලට පැමිණ එහි ඉතිරිව සිටින කකුළුවකු දැක ඒ කකුළුවා ද මරා කෑමට සිතුවේ ය.”යාළුවේ මම මෙහි වූ සියලු මත්ස්‍යයෝ ම පස් පියුමෙන් සුසැදි මහවිලට ගෙන ගොස් ඇරලුවෙමි. නුඹ පමණක් මෙහි තනිව සිටින්නේ කුමකට ද? කැමැති නම්, ඒ විලට නුඹ ද ඇරලන්නෙමි”

එය ඇසූ කකුළුවා කොකාගේ කපටිකම් ගැන සැක සිතා ඔහුට පාඩමක් උගන්වන අදහසින්

”මිත්‍රය, නුඹ මා රැගෙන යනවිට මා බර වැඩි බැවින් බිමට ඇද වැටිය හැකි ය. එනිසා මගේ අඬු දෙකකින් නුඹගේ බෙල්ල අල්ලාගෙන යන්නට දෙන්නේ නම්, මම එන්නෙමි”.

ඒ බස් ඇසු කොකා තමන් රැවටීම සඳහා එසේ කී බව නො දැන එයට කැමැති විය. කොකා කකුළුවා රැගෙන විල අසලට ගොස් විල පෙන්වා ලුණුවරණ ගස දෙසට යන්නට විය. එවිට ලුණු වරණ ගස මුල තිබූ අනෙකුත් මාළුවන්ගේ ඇට කැබලි දැක මේ කපටි කොකා තමන් ද මරා කෑමට සූදානම් වන බව දැන තමන් අල්ලාගෙන සිටි අඩු දෙකෙන් කොකාගේ බෙල්ල තරයේ සිර කළේ ය. එවිට කොකාට මරණ බිය ඇතිවිය. කඳුළු වගුරවමින්, මිත්‍රය, මම ඔබට කිසිදු කරදරයක් නො කරමි. මට ජීවිත දානය දෙනු මැනවි’යි කියා ලුණුවරණ ගසින් බැස කකුළුවා රැගෙන ගොස් විලට දමද්දී ම කකුළුවා ද කතුරකින් පියුම් දණ්ඩක් කපන්නා මෙන් කොකාගේ ගෙල කපා දමා විලට බැස්සේ ය. සියල්ල දුටු ලුණුවරණ ගසෙහි විසූ රුක් දෙවියකු වනය දෝංකාර ගන්වමින්

”මේ ලෝකය හැම දාම වංචාවෙන් ජයගත නො හැකි ය. එක් වරක් හෝ දෙ වරක් පමණක් වංචාවෙන් ජයගත හැකි ය. එහෙත් ඒ සොර සිත් ඇති තැනැත්තෝ තමන්ට ම අවැඩක් කර ගන්මෝ ය. කැමති දේ නො ලබන්මෝ ය. ඒ කෙසේද යත්, කකුළුවා ලවා ගෙල සිඳගත් කොකා මෙන් යැයි කීවේ ය.

එකල කපටි කොකා නම් දෙව්රම් වෙහෙර වසන කෛරාටික භික්ෂුවය. කකුළුවා නම්, පිටිසර වසන තෙරුණුවන් ය. ලුණුවරණ ගසෙහි අධිගෘහිත දේවතාවා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]