UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

පල්ලේගම සිරිනිවාස නා හිමි

අනුරාධපුර අටමස්ථානාධිපති – ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක, ස්වාමින්ද්‍රයන් වහන්සේ හැට හය වැනි වියට පා තැබීමේ ජන්ම දිනය නිමිත්තෙනි.

1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමා ය. මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාව ය. උන්වහන්සේගේ ගිහි නම දුක්ගන්නා වලව්වේ ජයතිලක වේ.

07 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1988 වසරේ අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ මහා සංඝරත්නයේ ඇසුර ලබා එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නා හිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වූහ. භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවෝ කටයුතු කළහ.

සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන් කනුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත වරම උන්වහන්සේට ලැබීමයි. එකල ජයසිරි මහා බෝසමිඳුන්ගේ තේවාව සිදුකළේ ද සිරිනිවාස පොඩිහාමුදුරුවන්ය. බෝධි තේවාවට ගිය සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ සිතේ ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට තවත් රන්වැටක් සෑදීමේ සිතිවිල්ල සෙමින් සෙමින් ලියලා වැඩුණේය.

අනුරාධපුර මහා විහාර පරිවේනාධිපති හිමියන් 1970 දී අපවත් වූයෙන් මහාවිහාර පිරිවෙන ද තාවකාලිකව වැසී ගියේය. 1971 මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් විය. අනතුරුව සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත්ව සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින් සමත්විය.

1975 වසරේ වෙසක් මස 06 වැනි දින මහනුවර ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර සීමා මාලකයේදී හේරත්හල්මිල්ලෑවේ රේවත, පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඤාණරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1977 වසරේ නොවැම්බර් මස 20 වෙනි දින අටමස්ථානාධිපතිව වැඩ විසූ උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නා හිමියන් අපවත් වූයෙන් අටමස්ථානාධිපති ධූරයට පත්වූයේ පල්ලේගම ඤාණරතන හිමියන් ය.

පසුව අභිනව අටමස්ථානාධිපති ඤාණරතන නා හිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් වශයෙන් මාස තුනක් පමණ බොහෝ කැපකිරීමෙන් කටයුතු කිරීමට සිරිනිවාස හිමියන්ට සිදු වූහ.

මේ අතරතුර හුණුපිටියේ ගංගාරාමයට වැඩම කළ සිරිනිවාස හිමියන් එහි සිට උසස් පෙළ පන්තිවලට සහභාගි වෙමින් ඉගෙනීමේ කටයුතු නැවත ආරම්භ කළේය. එහි අධ්‍යාපන කටයුතු කරන අතරතුරදී අටමස්ථානාධිපති ඤාණරතන නා හිමියන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේ බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ.

බෝමළුව පන්සලට වැඩම කිරීමත් සමඟම දිනපතා උදේ සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව උන්වහන්සේට හිමිවිය. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට 1984 දී ඇතුළුවිය. 1988 උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.

පසුව අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස උන්වහන්සේ පත් කෙරිණි. 1989 මිරිසවැටියේ වස්වැසීමට උන්වහන්සේ තීරණය කළහ.

1990 දී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධානය කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමියන් තෝරාගත්තේ සිරිනිවාස හිමියන්ය.

1993 පොසොන් පුන් පොහොය වන විට මිරිසවැටිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව කොත නිරාවරණය කිරීමේ පූණ්‍ය මහෝත්සවය සූදානම් වෙමින් තිබුණි. එවකට ජනාධිපති ආර්.පේ‍්‍රමදාස මැතිතුමා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිත විය. එහෙත් කිසිවෙකුත් නොසිතූ නොපැතු ලෙස මැයි 01 දා ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා දිවංගත විය. මිරිසවැටිය චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ භාග්‍ය හිමිවූයේ ඉන්පසු ජනාධිපති පදවියට පත්වූ ඩී.බී. විජේතුංග මැතිතුමාට ය. 1993 ජුනි මස 04 වැනි දින උදෑසන 8.12 ට කොත නිරාවරණය කෙරුණි.

සිරිනිවාස හිමියන් වැඩ වසන පන්සලේ තත්ත්වය දුටු විජේතුංග ජනාධිපතිතුමා සංඝාවාසයක් තනාදීමට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරිපත් වී එහි වැඩ ආරම්භ කළේය. මේ අතරවාරයේදී 1994 වසරේ අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදුවූහ. මෙහිදී සිරිනිවාස හිමියන් අභයගිරිය පන්සලේ පැවති ජල ප්‍රශ්නය පළමුවෙන් ම විසඳූහ.

සිරිනිවාස හිමියන්ට අභයගිරියේ වැඩ සිටීමට සිදුවූයේ වසරක් පමණි. 1995 රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරිව වැඩ විසු ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත්වී වදාළහ. මින්පසු අටමස්ථානාධිපති නා හිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරිධුරයට පත්කරන ලදහ.

1995 මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියට පත්කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි.

පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නා හිමියන් පත්වී සිටියහ. ඒ වන විට උන්වහන්සේ 44 වැනි වියෙහි පසුවූහ.

1997 ජූලි මස 05 වැනි දින පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිනව අටමස්ථානාධිපති නා හිමියන් නිල වශයෙන් බෝමළුව පන්සලට වැඩම කරවන ලදී. අටමස්ථානාධිපති පදවිය පිළිබඳ අක්ත පත්‍රය සහ විජිනිපත සිරිනිවාස නා හිමියන්ට ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගන්වන ලද්දේ එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසිනි.

මෙම පත්කිරීම් වලින් පසුව ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීමට මූලික අඩිතාලම 1999 නිකිණි මස 20 වැනි දිනය. විවිධ පරිත්‍යාග තුළින් රන්වැට අරමුදල ක්‍රමයෙන් වර්ධනය වූවත් එය සිදුවූයේ මන්දගාමීවය. රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් 2002 ජනවාරි මස 26 වැනි දින උඩමළුව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රන්වැට පිළිබඳ කථාව අගමැතිවරයාට සිහිපත් කළෝය. ඉන්පසු සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන්වැට පිළිබඳ උපදේශක සභාවක් පත්කරන ලදී. අරමුදල් හා ඉදිකිරීමේ කමිටුවක් ද පත්කෙරිණි.

නව රන්වැට සඳහා මුල්ගල තැබීම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2002 වෙසක් මස 23 වැනි දින සිදු කෙරිණි. 2003 වසරේ වෙසක් මස 14 වැනි දින රන්වැට විවෘත කෙරුණි.

සිරිනිවාස නාහිමියන්ගේ ආරාධනයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වියදමින් බෝ මළුවට පහතින් පිහිටි දේවාල මලුවේ ආරක්ෂක ගේට්ටු පහක් සවිකරන ලදී. ඒ සමගම දේවාල මළුවේ කළුගල් ඇතිරීමට ලැබීම ද රන්වැට ඉදිකර ඉතිරි මුදල් සියල්ල පාලනය සඳහා සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි රන්වැට අරමුදල් පාලක මණ්ඩලය පිහිටුවන ලදී.

වර්ෂා කාලයට බෝධින් වහන්ස්ගේ පහත වැලි මළුව වතුර පිරීමට පටන් ගන්නා බැවින් වන්දනාකරුවන් මහත් අසීරුතාවයකට පත්වන අයුරු දුටු නාහිමියෝ රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව එම ගැටලුවද විසඳීමට කටයුතු සැලසුවේය. ඒ වන විට අග්‍රාමාත්‍යධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ඇතිව බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවත ද නවීකරණය කරවාගත් සිරිනිවාස නාහිමියෝ 2004 පෙරහර මාවත විවෘත කරවන ලදී.

පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂූන්වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් “මහා විහාර භික්ෂු පරිගණක මධ්‍යස්ථානය” නමින් ආයතනයක් පිහිටුවීමටද පෙරමුණ ගත් සිරිනිවාස නාහිමියෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ නැණසල ව්‍යාපෘතිය ඔස්සේ එය තවදුරටත් සංවර්ධනය කළෝය.

ඉන්පසු මහා විහාර නැණසල ඔස්සේ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක්ද විවෘත කෙරුණි. බෝමළුව ප්‍රධාන අටමස්ථානයේ ආරක්ෂාව සහ තේවා කටයුතු කළ විල්ලිදුර ඇත්තන් ඇතුළු රාජකාරි ශ්‍රේණිවල ජනතාවගේ රාජකාරි යළි විධිමත් කළ උන්වහන්සේ ඒවායේ ප්‍රතිලාභද ඔවුන්ට මැනවින් ලැබෙනසේ සංවිධානය කළහ. ශබ්ද පූජා ආදිය සඳහා මහනුවර ප්‍රදේශයෙන් නව ශිල්පීන් ගෙන්වා පාරම්පරික විහාරගම්වල ඔවුන් පදිංචි කරවීමට උන්වහන්සේ පියවර ගත්හ.

2004 වසරේ ඉල් මාසයේ 12 වැනි දින මහා වර්ෂාවට උඩමළුවේ දේවාල මළුව හෙවත් තුන්වැනි මළුව රැකගෙන සිටි මහා ප්‍රාකාර බැම්ම බටහිර පැත්තෙන් ගලවා ගෙන ගොස් තිබුණේ මළුවේ ප්‍රාසාදයක්ද සමගිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ මැදිහත්වීමෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහා ධර්ම ශාලාවක් රජයේ වියදමින් සාදවා ගැනීමට උන්වහන්සේට හැකි විය. 2005 වසරේ වෙසක් මස 08 වැනි දින තායිලන්තයේ චූලාලංකාර රාජ් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් සිරිනිවාස නා හිමියන්ට පිරිනැමිණි.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට දින හතක් මුළුල්ලේ බෝධින් වහන්සේ ළඟටම ගොස් දැක බලා වැඳ පුදා ගැනීමේ උතුම් අවස්ථාව උදාකර දුන්නේ සිරිනිවාස නා හිමියන්ය. 2005 වසරේ නිකිණි මස 23 වැනි දින සිරිනිවාස නාහිමියන් මුල්වී ඉදිකළ උඩමළුවේ දෙවැනි රන්වැටද විවෘත කෙරිණි. සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන දානපතින් පිරිසකගේ මැදිහත්වීමෙන් බෝධින් වහන්සේට ස්වර්ණමය තහඩුවලින් ආධාරකයක් ද සවිකරන ලදී.

හැට හය වැනි වියට පා තබන අනුරාධපුර අටමස්ථානාධිපති , උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේට ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආරක්ෂාව හා නිදුක් නිරෝගී සුවය ලැබ ශාසනික කටයුතු තවතවත් සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]