දුරුතු අමාවක 2018.01.16
සීමා නැති ඉවසීම
වැඩිහිටියන් අතර මෙන් ම, තරුණ දූ දරුවන් අතර ද බුදුදහම පිළිබඳ නව ප්‍රබෝධයක් ඇති වී
තිබෙණු දකින විට සතුට උපදී. පොහෝ දින වෙහෙර විහාරයන් හි වෙනදාට වඩා උනන්දුවකින්
උවසු උවැසියෝ පෙහෙවස් සමාදන් වෙති. විවිධ පින්කම් සංවිධානය කරති. ආගමට දහමට වඩ
වඩාත් නැඹුරුවීමතුළ වැඩෙන අධ්‍යාත්මික සංවර්ධනය රටක දියුණුවට අත්‍යවශ්‍ය සාධකයකි.
ජීවත්වීමට වඩාත් යෝග්‍ය වන්නේ එවන් මිනිසුන් වෙසෙන පරිසරයක් ය. බුදුහිමියන් දේශනා
කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි මූලික අරමුණු වන්නේ ද අධ්‍යාත්මික සංවර්ධනය
තුළින් නිවන් මඟ සාක්ෂාත් කරවීම ය.
උන්වහන්සේ දේශනා කළ ඒ දහම් මඟ අනුගමනය කරන පුද්ගලයාට ජීවිතය පිළිබඳ මනා අවබෝධයක්
තිබේ. ඔහු ලෝකය දකින්නේ ද, ලෝකය සමඟ ගනුදෙනු කරන්නේ ද ඒ අවබෝධයෙනි. ධර්මයට තව තවත්
නැඹුරු වන්නෝ ද එවැන්නෝ ම ය.
අවාසනාවකට මෙවැනි පිරිස් අතර ම සුළු ප්‍රමාණයක් ධර්මාවබෝධයක් නොමැතිව ජීවිතාවබෝධයක්
ද නොමැතිව මං මුළා වී කටයුතු කරනු ඇසේ. පෙනෙන්නට ද තිබේ. පසුගිය දා එවන් කනගාටුදායක
පුවතක් වාර්තාවුණි. වඩාත් දුක්ඛදායක වන්නේ ඊට සම්බන්ධ වූවා යැයි කියන්නේ පාසල් යන
වයසේ තරුණ දරුවෙකු වීම ය. මිතුරෙකු කී අවකැපෙන වචනයකට කෝපව ගත් තීරණයේ ප්‍රතිඵලය
වූයේ ඔහු මරණයට පත් කිරීම බව එහි කියැවුණි. ළමා විය ඉක්මවන්නටත් පෙර මේ සා දරුණු
තීරණ ගන්නට තරම් මේ දරුවාගේ සිත ව්‍යාකූල වූවා නම්, නො ඉවසිලිමත් වූවා නම් පැහැදිලි
වන්නේ එතැන බරපතළ වරදක් වී ඇති බව ය. එහි වග කිව යුතු ඒ දරුවා පමණක් නොවේ. ඔහුට
නිසි මඟ නොපෙන්වු වැඩිහිටියන් ද වේ.
ජීවිතය පිළිබඳ යහපත් මාර්ගෝපදේශ ලැබී තිබුණා නම්, අධ්‍යාත්මික සිතිවිලි ගුණ නැණින්
පෝෂණය වී තිබුණා නම්, ඒ දරුවා මෙවැනි තීරණයක් ගන්නේ නැත. මෙ නිසා මෙවැනි සමාජ
පරිහානීය තත්ත්වයන් පිළිබඳව මවුපිය ගුරු භවතුන්ගේ ද, ආගමික නායකයින්ගේ ද වෙසෙස්
අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙලෙස නො මඟ යන සුළු පිරිස ද යහමගට ගන්නට වහ
වහා ප්‍රායෝගික වැඩ පිළිවෙළ සංවිධානය කිරීම යෝග්‍ය ය. එහිදී වෙසෙසින් ම මේ සමාජයට
ඉවසීම පුරුදු කළ යුතු ය.
ප්‍රශ්න නැති, ගැටලු නැති, දුකක් නැති, සතුට ඇති ජීවිතයකට කවුරුත් කැමැති ය. ඒත්
ඇතැම් මිනිසුන්ට හැමදාමත් ප්‍රශ්න ය. එක්තරා දේව පුත්‍රයෙක් බුදුහිමියන්ගෙන් විමසූ
ලෙස මිනිසුන්ට ඇතුළත් ප්‍රශ්න ය. පිටතත් ප්‍රශ්නය. මේ ප්‍රශ්න අතර බොහොමයකට මුල
වන්නේ ද නො ඉවසීමය. ඇතැම් පවුල්වල සුළු දේටත් අඹු සැමියන් විරසක ය. ඔවුන්ගේ අරගලවලට
මැදිව දැවෙන්නේ, තැවෙන්නේ දරුවන් ය. සහෝදර සහෝදරියන් අතර, අසල්වැසියන් අතර, රැකියා
ස්ථානයේ ආදි ලෙස හට ගන්නා සිත් අමනාප සේ ම ජාතින් අතර වන ගැටුම්වලට ද බොහෝ මුල නො
ඉවසීම ය. ප්‍රධාන වශයෙන් අනුන් ගේ අදහස් නො ඉවසීම ය.
සිතිවිලි උපන් පමණින් එය වචනයෙන් පිට නොකර, ක්‍රියාවට නො නඟා, පාලනය කර ගන්නට, හොඳ
නරක විමසන්නට ඉවසීමක් අපට තිබිය යුතුම ය. සමාජයේ අපි එකිනෙකාට බැඳී සිටින්නේ
දම්වැල් පුරුක් වගේ ය. කිසිවෙකුට තනිව ජීවත් විය නො හැකි ය. තමන්ගේ ජීවිතයට ඇති
අයිතිය රැක ගන්නා සේ ම අනුන්ගේ ජීවිත අයිතිය රැක දෙන්නට පරාර්ථකාමි විය යුතු ය.
මිනිසාට බලපාන ඇතුළත ප්‍රශ්නත්, පිටත ප්‍රශ්නත් විසඳන්නට අපේ බුදුහාමුදුරුවෝ ලබා
දුන් පිළිතුර මිනිසා හික්මීමෙන්, පාලනය කරගත් සිතින්, වීර්යවන්ත බවින් පොහොසත් විය
යුතු බව ය. ප්‍රඥාව දියුණු කරන අයෙක් විය යුතු බව ය. ඒ සඳහා අපේ දරුවන්ට සේ ම
වැඩිහිටියන්ට ද ආදර්ශය මුසු මඟ පෙන්වීම් අවශ්‍ය ය. එසේ නොවන කල පෙරකී අභාග්‍ය දේ
සිදුවීම නොවැළැක්විය හැකි ය. |