UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා කරුණා කරන සමය යි මේ: වඳිමි සිරිපා

මුනි සිරිපා කරුණා කරන සමය යි මේ:

වඳිමි සිරිපා

යං නම්මදාය නදියා - පුලිනේ ච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ – සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ – මුනිනෝච පාදං
තං පාද ලාංඡනමහං සිරසා නමාමි

සම්බුදු හිමියන් විසින් නර්මදා නදී තීරයේ සම්බුදු සිරිපා සටහන පිහිටුවන ලද්දේ බුදු බව ලැබ වසර අටකින් පසුව ය.

සැවැත්නුවර සුනාපරන්ත දේශයේ විසූ 'පුණ්ණ' නම් රහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුපියාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට ආපසු සැවැත් නුවරට වඩින අවස්ථාවේ දී ‘නර්මදා’ නම් නා රජුගේ ආරාධනාව වූයේ තමන්ගේ ජනපදයට වඩින ලෙසට ය.

නර්මදා නදී තීරයේ විසූ නා රජුගේ ආරාධනාව පිළිගෙන වැඩි අප තථාගත බුදුරජාණන් වහන්සේ නා රජුගේ දානය පිළිගෙන, ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව, නා රජුටත්, ඔහුගේ පිරිවරටත් වන්දනා කිරීම සඳහා නර්මදා නදී තීරයේ සිරිපා සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. වත්මනේ එය මිනිස් ඇසට අදෘශ්‍යමානව පවතී.

සච්චබද්ධ පව්වේ සිරිපා - සච්චක නම් සෘෂිවරු පිරිසක් හිමාල වනයේ මුදුන් සතක් සහිතව එකින් එකට බැඳුණු පර්වතයක් මත ඈත අතීතයේ තපස් රැක ඇත. ඒ නිසා ම ඒ පර්වතය සච්චබද්ධ පර්වතය ලෙසින් අරුත් ගැන්වී තිබේ.

මෙම පර්වතය සැවැත් නුවරත්, සුනාපරන්ත දේශයත් අතර පිහිටා ඇති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. අප බුදුහිමියන් සුනාපරන්තයට වැඩම කරන අවස්ථාවේ දී සච්චබද්ද පර්වතය වෙතට වැඩම කර දේශනා කළ ධර්මය අසා සච්චබද්ධ තාපසයාණන් රහත් භාවයට පත්විය.

බුදුරදුන් සුනාපරන්තයට වැඩම කොට ආපසු සැවැත් නුවරට වඩිනා අවස්ථාවේ දී නැවතත් සච්චබද්ධ පර්වතයට වැඩමවා ශ්‍රී පාද සලකුණ පිහිටුවා වදාළ බව සඳහන් වේ.

මෙම සිරිපා සටහන ද මිනිස් පියවි ඇසින් ඈත් වී ඇත. මෙම පර්වතයේ පිහිටියා වූ ශ්‍රී පාද සලකුණ කිසියම් වූ ප්‍රාතිහාර්යයකින් ලැබුණු බැව් ද විශ්වාසක් පවතියි.

සමනළ පව්වේ සිරිපා - තුන්ලොවට ම සුවසේ වන්දනා කළ හැකි භාග්‍යවත් වූ අප මුනිරදුන්ගේ වම් සිරිපා කමල පිහිටියේ සමනල පර්වත මුදුනෙහි ය. එදා පන්සියයක් මහරහතුන් වහන්සේ පිරිවරා කැලණියට වැඩි අපගේ තථාගත බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් විසින් කළ ආරාධනාවෙන් සමනල පව්වේ සිරිපතුල පිහිටුවීම ආශ්චර්යකි. එදා මෙන් අද ද බෞද්ධ ජනතාවගේ අති පූජනීය අති වන්දනීය මෙන් ම භක්ත්‍යාදරයට ද පත්ව ඇත්තකි.

යෝනක යන වචනය අයෝනියාව හැඳින්වීමට භාවිත කළ වචනයක් බැව් පෙන්වා දෙයි. අයෝනියාව යනු පුරාණ ග්‍රීක පාලනයට යටත් ව තිබූ රටකි. එම සොයා ගැනීම් අනුව අයෝනියාව යනු වර්තමාන ඇෆ්ගනිස්ථානය අසල රටක් බවත් පිළිගැනේ. කල් යෑමෙන් පසු යෝනක පුරේ යන පදය මක්කමට යොදා ඇත. මක්කම ඉස්ලාම් බැතිමතුන්ගේ පූජා භූමියකි. පැරැන්නෝ මක්කම පිහිටියේ බුදුරදුන්ගේ දකුණු සිරි පතුල යැයි ද විශ්වාස කරයි.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]