UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ පෞරුෂය

සැබෑ පෞරුෂය

" දරුවකුට කුඩා කල පටන් ම හුරු කළ යුත්තේ සරල වන්නට සහ අවශ්‍ය දේ පමණක් කිරීමටය. මුඪ ආදරයක් දක්වමින් නානාප්‍රකාර කාලීන විලාසිතා සහිත ඇඳුම්, පැළඳුම්, උපකරණ කෑම බීම ආදියෙන් පමණට වඩා දරුවන්ට සංග්‍රහ කිරීමෙන් ඔවුන් ඇතිකරගන්නේ පංචේන්ද්‍රියන් පිනවීමේ අදහස් ම පමණි.'"

අප යම් කටයුත්තක් සඳහා උත්සාහවන්ත වෙනවා නම් ඉන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබිය යුතු ය. බලාපොරොත්තු වූ සාර්ථකත්වය උත්සාහයේ තරමට නොලැබුණා නම්, ඒ වෙනුවෙන් යෙදූ ක්‍රියා පිළිවෙත ගැන යළි විමසීමට ලක් කළ යුතු ය. ඒ කුමක් නිසා ද? අද ඇතැම් දරුවන් මෙවැනි ප්‍රකාශ කරනු ඔබටත් ඇසී ඇතැයි සිතමි. මම මොනතරම් මේ විභාගය වෙනුවෙන් පාඩම් කළා ද? කී දෙනෙකුගෙන් ඉගෙන ගත්ත ද? ඒත් මට විභාගයෙන් සමත් වෙන්න බැරි වුණානේ කියලා. ඇතැම් දරුවෝ ප්‍රතිඵල අසා සියදිවි හානිකර ගත් පුවත් ද අසන්නට ලැබිණි. මෙසේ වීමට හේතුව කුමක්දැයි කියා සිතා බැලිය යුතු යි.

මෙහිදී අප වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගැන කතා කළ යුතුම ය. සෑම ළමයෙක් ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී නොයෙකුත් විෂයයන් ඉගෙන ගනියි. එහෙත් එය මුල් ළමා විය සංවර්ධනය සඳහා ප්‍රමාණවත් නොවන බව අපි දනිමු. විෂයය ක්‍රියාකාරකම්වලට පමණක් මුල් තැන දීමෙන් යහපත් ළමයකු බිහි නොවේ. ඒ නිසා ළමයින් විෂයය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ද යොමු කළ යුතු ය. ඒ තුළින් අන්‍යොන්‍ය සුහදත්වය, ආදරය, කරුණාව, දයාව වැනි ගුණාංගයන්ගෙන් සමන්විත දරුවකු ගොඩනැඟේ.

ළමයකු තුළ යහපත් පෞරුෂයක් නිර්මාණය කිරීම සඳහා මවුපියන්ට පැවරෙන වගකීම කෙබඳුදැයි යන්න බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී දේශනා කර ඇත. ඒ අතර සිඟාලෝවාද සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍ර ප්‍රමුඛත්වයක් ගනී. මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දරුවකුගේ ළමා කාලය සකස් කළ යුතු අයුරු මෙසේ දේශනා කර ඇත.

අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං

දරුවන් පාපයෙන් ඈත්කර යහපතෙහි යෙදවිය යුතු සේ ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට හුරු කරවිය යුතු ය. එසේම ගරු කළ යුත්තන්ට ගරු කිරීමටත්, පිදිය යුත්තන්ට පිදීමටත් ඔවුන්ට මඟ පෙන්විය යුතු ය.

වර්තමානයේ ගුරුවරයාට ද සුවිශේෂී වගකීමක් ඇත. ඒ දරුවන්ගේ කායික මානසික වර්ධනය, බුද්ධි විකාශනය චරිත සංවර්ධනය හා පෞරුෂ සංවර්ධනය ද සම්පූර්ණ කිරීමට සමත් අධ්‍යාපනයක් ලබාදීමයි.

සංස්කෘතික සාහිත්‍යයේ දැක්වෙන පරිදි යම් පුද්ගලයෙක් දැනුම ලබා ගන්නේ හතරෙක් එකක් ගුරුවරයාගෙනි. තවත් හතරෙන් එකක් සහජ බුද්ධියෙනි. තවත් හතරෙන් එකක් ඇසුරු කරන අයගෙනි. ඉතිරි හතරෙන් එක කාලයාගේ ඇවෑමෙනි.

මෙහි දී ගුරුවරුන් මව්පියන්, සමාජය, මාධ්‍ය ආදී මේ සියල්ලන්ගේ ම වගකීම මේ යථාර්ථය දරුවාට කියාදීමයි. දරුවා සර්ව සම්පූර්ණ වීමට නම් මේ හතරෙන් ම පෝෂණය ලැබිය යුතු යි. ඒ සඳහා ළමයාට නිදහසක් තිබිය යුතු යි. ළමයා පාසලෙන් හෝ උපකාරක පන්තියෙන් සම්පූර්ණ වේයැයි මව්පියෝ බලාපොරොත්තු වෙති. දරුවා පාසලට, පන්තියට හිරකර තැබීමෙන් ඔහුට ඉහත අවස්ථා අහිමි වේ. ඇතැම්විට මානසික රෝගියෙක් බවට පත්වීමට ද එයම හේතු වේ. මව්පියන් බිහිකිරීමට උත්සාහ කරන මේ යාන්ත්‍රික ස්වරූපය තුළ දරුවා මානසිකව කඩා වැටේ. කඩාවැටෙන මානසිකත්වයක් තුළ ඉදිරියට කළ යුත්තේ කුමක්ද කියා සිතා ගැනීමට දරුවාට ශක්තියක් නැත. මෙවැනි දරුවන් යම් විභාගයක් අසමත් වුවහොත් අතිශය කම්පාවට පත් වේ. ඇතැම්විට ජීවිතය නැතිකර ගැනීමට පවා පෙළඹේ. මෙවැනි ගැටලුවකදී මුහුණ දීමට අවශ්‍ය ශක්තිය දරුවා තුළ ගොඩනැඟීමට මව්පියන් හෝ පාසල අසමත් වී තිබීම එයට හේතුවයි.

ළමයකු කුඩා කල දමා ගන්නා කණ්ණාඩිය අනුව ලෝකය දකී. නිවැරැදිව ලෝකය දැකීමට නම් වඩාත් පැහැදිලිව නිවැරැදිව දැකිය හැකි කණ්ණාඩියක් පැළඳිය යුතු ය. නිවැරැදිව දකින, නිවැරැදි දේ කරන, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි දරුවන් තුළ මනා පෞරුෂත්වයක් ගොඩනැඟේ.

අද සමාජයේ පෞරුෂත්වය ලෙස බොහෝ දෙනා පිළිගන්නේ ශරීරයට ගැළපෙන උස මහත තිබීමය; ජැන්ඩියට ඇඳ පැළඳගෙන සිටීමය; යහමින් මුදල් තිබීමය. නමුත් සැබෑ පෞරුෂත්වය තිබෙන්නේ ඒ කිසිවක් තුළ නොවේ. එය තිබෙන්නේ සදාචාර සම්පන්න නිවැරැදි විනයගරුක සහ අගතිමානී ගුණාංග ඇති පුද්ගලයා තුළයි.

දරුවන් කුඩා කල සිටම ඇසෙන දකින දේ අනුව ක්‍රියාත්මක වේ. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස වර්තමානයේ ඇතැම් දෘෂ්‍ය මාධ්‍ය මඟින් ක්‍රියාත්මක කරන ඇතැම් වැඩසටහන් පෙන්වා දිය හැකිය. මේවාට ඉදිරිපත් කිරීමෙන් මව්පියන් දරුවන්ගේ ලෝකය අහිමි කරමින් සිටී. දරුවා දරුවකු ලෙස නොව මහා මිනිසකු බවට පත් කරවන සරුව පිත්තල ලෝකයට ඒ තුළින් කැඳවාගෙන එනු ලබයි. එයින් නිර්මාණය වන්නේ ලජ්ජා බය නැති, පාපයට බය නැති දරුවෙකි. දරුවා කෝප ගන්වන ක්‍රියා බහුල වන විට ඔහු අනාගතයේ දී ආක්‍රමණිකයකු වීමට බොහෝ ඉඩකඩ ඇත.

දරුවකුට කුඩා කල පටන්ම හුරු කළ යුත්තේ සරල වන්නට සහ අවශ්‍ය දේ පමණක් කිරීමටය. මුඪ ආදරයක් දක්වමින් නානාප්‍රකාර කාලීන විලාසිතා සහිත ඇඳුම්, පැළඳුම්, උපකරණ කෑම බීම ආදියෙන් පමණට වඩා දරුවන්ට සංග්‍රහ කිරීමෙන් ඔවුන් ඇතිකරගන්නේ පංචේන්ද්‍රියන් පිනවීමේ අදහස්ම පමණි.

දැහැමි සමාචාරයේ යෙදෙන ගිහියකු විසින් විමසිය යුතු කරුණු අටක් බුදුදහමේ දක්නට ලැබේ. කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? වැරදි ක්‍රියා මොනවාද? නිවැරැදි ක්‍රියා මොනවාද? සේවනය කළ යුත්තේ කවුරුන්ද? සේවනය නොකළ යුත්තේ කවුරුන්ද? කරන ක්‍රියාවන් තුළින් දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ මොනවාද? දීර්ඝ කාලයක් අහිතකර පිණිස පවතින්නේ මොනවාද? යන කරුණු ය.

ඉහත කරුණුවලින් කියැවෙන්නේ සැබෑ තතු දැනගැනීමේ වැදගත්කමයි. ඒ සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය, මුද්‍රිත මාධ්‍යයට ද හිමිවන්නේ සුවිශේෂී වගකීමකි. මිනිස් මනස පෝෂණය කළ හැකි වැඩසටහන් නිර්මාණය කිරීම, ඒවා ප්‍රචාරය කිරීම මාධ්‍යයක වගකීම වේ. රටක අනාගත යහපැවැත්ම උදෙසා පින්, පව්, කර්ම, විපාක ආදිය ගැන ප්‍රවෘත්ති වශයෙන් නොව ප්‍රායෝගික වශයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍ය ය.

යම්දෙයක් ගැන සිතාමතා තීරණ ගැනීම සඳහා ක්‍රියාත්මක වන හෝමෝන වැඩිපුරම ඇත්තේ මිනිසාටයි. ඒ නිසා යම් කාරණයක් පිළිබඳ නිවැරැදි තීරණ ගැනීමට අවශ්‍යකරන අධ්‍යාත්මික ශක්තිය පවුල තුළින්, පරිසරය තුළින් දරුවකු තුළ ඇති කරවීම අප සැමගේ යුතුකමයි. නැතිනම් හෙට දවසේ වැඩිහිටියන් වන දරුවන් කම්මැලිකමින් කුහකකමින් අනුනට කරදර කරමින් අනුන් මත යැපෙන පුද්ගලයකු බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]