UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝභය සහ සහජීවනය: සිත ව්‍යාකූල කරන තෘෂ්ණාව පිපාසය හා සමානය

ලෝභය සහ සහජීවනය:

සිත ව්‍යාකූල කරන තෘෂ්ණාව පිපාසය හා සමානය

ලෝභය හෙවත් තෘෂ්ණාව මිනිස් සිත ව්‍යාකූල කරන ආත්මාර්ථකාමීත්වය පොළඹවන ක්ලේෂ ධර්මයකි. ලෝභය නිසා ආතුර වු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළ සමගිය, සහජීවනය, එකමුතු බව තුරන් වී යයි.

කුමන වේෂයකින් පැමිණිය ද ලෝභය සමාජය භේදභින්න කරන කෙලෙස් මූලයකි. රටවල් අතර, ජන කණ්ඩායම් තුළ මෙන් ම පවුල තුළ ඇතිවන බොහෝ ගැටුම්වලට හේතුව මෙම ක්ලේෂ ධර්මයේ බලපෑමයි. ලෝකයේ සම්පත් සීමිත ය. මිනිසුන්ගේ ආශාවන් අසීමිත ය. සීමිත සම්පත් අසීමිත ආශාවන් සහිත මිනිසුන් අතර බෙදීමට යාමේ ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවනුයේ සමඟිය සහ සහජීවනය යි.

සමාජය තුළ තමන්ට නැතිදෑ අනෙකා සතුවීම ඉවසීමට නොහැකි වන්නේ ලෝභය නිසාවෙනි. හිමිවිය යුතු සෑම දෙයක් ම තමාට පමණක් හිමිවිය යුතුය. අනෙකාට එසේ නො ලැබිය යුතුය යන්න සිතනුයේ තෘෂ්ණාව පදනම් කරගෙන ය. ඒ තුළ මානසික මෙන්ම කායික අපහසුතාවයන්ට ලක්වීමට සිදුවේ. තනතුර, බලය, ධනය පසුපස ලුහුබඳින සේ ලෝභය ඇති බැවිනි. තමන්ගේ එම තෘෂ්ණාව සන්තර්පණය කර ගැනීමට මිනිසා බොහෝ දෑ සිදුකිරීමට පසුබට නොවේ. එහිදී පව, පින, හොඳ, නරක, සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් ජාතිය, ආගම පවා අනවශ්‍ය ලෙස යොදාගැනීම තුළ සිදුවනුයේ සමාජ සාමය බිඳ වැටීමයි. ජීවත්විය යුත්තේ තමා පමණක් ය. තනතුරු වරප්‍රසාද තමන්ට පමණක් යැයි සිතා මනුෂ්‍ය ඝාතනයන්, චරිත ඝාතනයන් පවා සිදුවනුයේ ලෝභය හේතුවෙනි.

තෘෂ්ණාව පිපාසයක් හා සමාන වේ. පිපාසිතයා අනෙක් සියලු කටයුතු පසෙකලා පිපාසය සන්සිඳවා ගැනීමට වෙහෙසේ. තෘෂ්ණාවෙන් පීඩිතයාගේ ස්වභාවය ද මේ හා සමාන ය.

තෘෂ්ණාව මිනිස් පරිහානිය හා සමාජ පරිහානියට දායක වන අයුරු අත්තදණ්ඩ සූත්‍රයේ දී ඉතා මැනවින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. බොහෝ මිනිසුන්ගේ ස්වභාවය වන්නේ සමාජයේ අනෙකාට වඩා ඉලිප්පී පෙනී සිටීමට යි. ඒ වෙනුවෙන් බොහෝ නරක අයහපත් දෑ ඔවුන් විසින් සිදුකරනු ලබයි. තමන් වහන්සේට මිනිසුන්ගේ මෙම හැසිරීම දැකීම නිසා සසර ජීවිතය පිළිබඳ කලකිරීම් නිර්මාණය වු බව බුදුරදුන් එහිදී දේශනා කළහ. මිනිසුන්ගේ මෙම ස්වභාවය වතුර මද වළක මාළු මෙනි. සීමිත වතුර ටික තුළ තමන්ගේ පණ රැකගැනීමට ඔවුන් වෙහෙසේ. මේ තෘෂ්ණාව මනාව තේරුම්ගත හැකි අවස්ථාවකි.

අනෙකා පරයන්ට උත්සාහ කිරීම තුළ අවි ආයුධ නිර්මාණය වේ. එසේම බොරුව, කේලම්, පරුෂ වචනය, පළිගැනීම ඇතිවීම ස්වභාවික ය. මෙහි දී පව පින පිළිබඳ විශ්වාසය ගිලිහී යා හැකිය. පුද්ගලයන් පමණක් නොව සමාජ කණ්ඩායම් ලෙස ඔවුන් එකිනෙකා හා සමඟ ගැටීමට පෙළඹේ. ඇතැම්විට එකම දර්ශනය පිළිගනු ලබන ආගම තුළ පවා ගැටුම් නිර්මාණය වන්නේ මේ හේතුව නිසාවෙනි. සමාජ, සාමය, සහජීවනය සැකසීමේ උතුම් අරමුණින් දේශනා කරන ලද අවිහිංසාවාදී දර්ශනයන් පවා ප්‍රචණ්ඩත්වයට මග පාදනුයේ පුද්ගල හිත් තුළ මුල් බැසගත් තෘෂ්ණාව හේතුවෙනි.

දේපළ පමණක් නොව නිශ්චිත ව බෙදා ගත නොහැකි දෑ සම්බන්ධයෙන් ද දුර්මත ගොඩනගා ගනුයේ ලෝභයට සීමාවන් නැති බැවිනි. ලෝභයට සීමා මායිම් නැති බව නුවණින් හඳුනා ගනිමින් තම තමන්ට සීමා සකසා ගැනීමට උනන්දු වන්නේ නම් ගැටුම් ඇතිවීම බොහෝ සෙයින් වළකාගත හැකිවේ.

අන්‍යයන් සතු දෑ තමා සතුකර ගැනීමට යාම ලෝභයෙහි තවත් එක් අවස්ථාවකි. මෙහිදී ද නො කළ යුතු බොහෝ අකටයුතුකම්වලට පුද්ගලයා පෙළඹේ. එහි දී අනෙකාගේ නිදහස , ආත්ම ගෞරවය නැතිවී අසතුට, අසහනය, සමඟිය නැතිවී යයි. මේ සියල්ලම නිසා ඇතිවනුයේ ගැටුම් ය. ගැටුම පළිගැනීම තුළ සහජීවනය නැතිවී යයි. එකිනෙකා පිළිබඳ සැකයෙන්, අවිශ්වාසයෙන් බැලීම තුළ සමාජ සාමය බිඳ වැටේ. කලහවීවාද සූත්‍රය තුළ ශාක්‍යයන් ,කෝලියයන් සමඟි කරවීමට බුදුරදුන් කටයුතු කළහ. තෘෂ්ණාව මත රෝහිණී නදියෙහි ජලය බෙදා ගැනීමට ඔවුන් මහත් සේ ගැටුම්වලට එළඹුණ හ. යම් හෙයකින් එදා බුදුරදුන් එතැන දී මැදිහත් නො වූණේ නම් මහත් ව්‍යසනයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි. එවන් ශ්‍රේෂ්ඨ දර්ශනයක උරුමක්කරුවන් ලෙස සමාජය ගැටුමෙන්, පීඩාවෙන්, ගලවා ගැනීම සඳහා වෙහෙසවිය යුතු ය.

තෘෂ්ණාව නිසා ශෝකය භය උපදින බව ධම්මපදයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේ ශෝකය භය උපදිනුයේ තෘෂ්ණාව මත සිදුකරන ක්‍රියාවන් හේතුවෙනි. තෘෂ්ණාව කාම භව, විභව ලෙස මුලිකව හඳුනාගත හැකි ය. පංචකාම වස්තූන් භුක්තිවිඳීමේ ආශාව කාම නම් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමට යාමේදී හොඳ, නරක, පිළිබඳ අවබෝධයෙන් තොරව ඇතමුන් බොහෝ අසාධාරණ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි එසේ කරනුයේ ඉතා ආත්මාර්ථකාමීව තමා සැපවත් වීමේ අභිලාෂය පෙරදැරිකරගෙන ය. අනෙක් ඉන්ද්‍රියන් පිනවීමට යාමේදී ද මේ තත්ත්වය පොදු ය. කෙසේ හෝ කොහොම හෝ තම අරමුණ ඉටුකර ගැනීමට යාම නිසා භේදභින්නවීම් නිර්මාණය වී එසේ තම සැපත ගැන සිතා කටයුතු කළද යම් දවසක ශෝකයට පත්වනවා පමණක් නොව බියෙන්, සැකයෙන් ජීවත්වීමට සිදුවේ. නැවත නැවත සසර ඉපදෙමින් ආශ්වාදනීය දේ තමා සතුකර ගැනීමට ඇති කැමැත්ත භව තෘෂ්ණාවයි. මෙයින් පීඩිත තැනැත්තා බොහෝ අයහපත් දෑ සිදුකිරීමට පෙළඹේ. මෙලොවක් පමණ ය, පරලොවක් නැතය. යන විශ්වාසයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත විභව තණ්හා නම් වේ. පරලොව ගැන විශ්වාසය නැතිකම තුළ ඉතා අයහපත් ලෙස තම ජීවිත පැවැත්ම සකසා ගැනීමට බොහෝ පිරිස් උත්සාහ කරනු ලබයි. මේ තුළ එකමුතුකම ආපදාවන්වලදී පිහිටවීම යන යහයපත් ගුණාංග සමාජයෙන් වියකී යයි.

අශෝක රජු මහත් ජන සංහාරයක් සිදුකරනු ලැබුයේ බලය පිළිබඳ තෘෂ්ණාව පදනම් කොට ගනිමිනි. එහි නියත ප්‍රතිඵලය වූයේ යුද්ධයත්, අවසානයේ ශෝකය ,භය නිර්මාණය වීමයි. මෙම ජනසංහාරය සඳහා මග පාදනු ලැබුයේ ඔහු තුළ පැවති ලෝභය යි. ඔහුගේ එම අයහපත් චේතනාව තුළ බිරින්දෑවරුන්ට සැමියන්, දරුවන්ට දෙමාපියන්ට, දෙමාපියන් දරුවන් අහිමි වූහ. එපමණක් නොව ශරීර අංගෝපාංග අහිමිවු ජනතාව ඉතා විශාල ය. සාමකාමී පරිසරය අතුරුදහන්ව බිය, ත්‍රාසය තැතිගැනීම ඉතා බහුල වූහ. පටු අවශ්‍යතා මත එවැනි අයහපත් ක්‍රියාමාර්ග තෝරා ගැනීමට යාම තුළ හිංසාවට පත්වනුයේ ඒ සඳහා ඍජුවම දායකවන පිරිස් පමණක් නොවේ. එවැනි ක්‍රියාවන්ට කිසිසේත් සම්බන්ධ නොවන ඉතා කුඩා දරුවන් පවා මෙහිදී ව්‍යසනයට පත්වේ. හිරෝෂිමා, නාගසාකි, පරමාණු බෝම්බ මේ සඳහා කදිම නිදර්ශනයකි. වර්තමානයේ පවා බොහෝ ගැටුම් පිළිබඳ සලකා බැලීමේ දී තත්ත්වය මීට වඩා වෙනස් නොවේ.

ලෝභය , තෘෂ්ණාව ඉහවහා යාම නිසා බොහෝ පිරිසකට හිමි විය යුතු දෑ සීමිත පිරිස් භූක්තිවිඳීමට පෙළඹේ. එය සමාජමය වශයෙන් මහත් ව්‍යසනයක මූලය යි. ඇති නැති පරතරය තව තවත් වැඩිවීම සඳහා එය මහත් සේ ඉවහල් වේ. කොසොල් රජු දකින ලද ගින්දර සමව ඇති ලිපේ බතේ ස්වභාවය සේ අනාගත ලෝකයේ ඇතිවන විෂමතාව අනවශ්‍ය කලකෝලාහලයන්ට පවා හේතුවේ.එසේ වීම නිසා සමගිය, සහජීවනය තුරන්වී සමාජමය, සාමය බිඳ වැටේ. සම්පත් බෙදීයාම පිළිබඳ සැලකිලිමත් වීමත් ලාභාංශ බෙදීයාමත් යම් හෝ පමණකට සිදුවන්නේ නම් මෙවන් තත්ත්වයන් නිර්මාණය නොවේ. තම අවශ්‍යතාවය සේම ජාති, ආගම් භේදයකින් තොරව සියල්ලන්ගේම ජීවිත ජීවත් කොට සැලකිය යුතුය.

කිසිවක් කිසිවෙකු දෙන්නේ නැතුවා පමණක් නොව ඒ සඳහා සාකච්ඡාවකට හෝ සූදානම් නොවේ නම් එය ඉතා බරපතලය. සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳාගත නොහැකි යමක් නැත. සියල්ලෝම මැද තැනකට ආ යුතු ය. එසේ නො එළඹෙන්නේ තෘෂ්ණාව හේතුවෙනි. මේ නිසා නැතිවී යනුයේ එක්ව වැඩ කිරීමේ අවස්ථාවයි. ඇඟේ ශක්තියෙන් ප්‍රශ්න විසඳීමට පෙළඹෙන්නේ තිරිසන් සත්ත්වයාම ය. මිනිසා ද එවැනි තැනකට පත්වන්නේ නම් එය මහත් අභාග්‍යයකි.

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk