දුරුතු අව අටවක 2018.01.08
සුචරිත වර්ධනය ම ඕනෑ
රටක ජීවනාලිය දරුවන් ය. හෙට දවස තීරණය වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් හා
ක්‍රියාකාරකම් අනුව ය. වැඩිහිටියන් අනුකරණය කිරීම දරුවන්ගේ සිරිත ය. ඔවුන් සිය
චර්යාවන් මෙහෙය වන්නේ, ජීවන ඇවතුම් පැවතුම් උකහා ගන්නේ වැඩිහිටියන් දෙස බැලීමෙනි.
මේ නිසා යම් ජීවිතාවබෝධයක් ඇති වැඩිහිටියන් සිය හැසිරීම් හසුරුවා ගනිමින් දරුවන්ට
නිසි මඟ පෙන්වීම අත්‍යවශ්‍ය ය.
එසේ වුව බොහෝ විට සිදුවන්නේ අනෙකකි. කකුළුවා ඇදට යමින් තම දරුවන්ට කෙළින් යන්නට
කියනවා මෙනි. ඇදට යන කකුළුවා ගේ මග යන කකුළු දරුවන් ද ඇදටම යනු මිස කෙලින් ගමන්
නැත. අම්මා, තාත්තා වැරැදි කරනවා නම්, අධාර්මික ගමනක් යනවා නම්, දරුවන් ද ඒ මග හැර
විකල්ප තෝරා ගන්නේ නැත. වෙනස් මගක් ගන්නවා නම් ඒ ඉතාම අල්ප පිරිසකි. ලෝක ස්වභාවය
වන්නේ එය ය.
දරුවන් පවින් මුදවා ගැනීම, යහපතෙහි යෙදවීම මවුපිය යුතුකම වන බව බුදුරජාණන් වහන්සේ
අවධාරණය කළේ මේ නිසා ය. බීජයකින් මතුවන කුඩා පැළයක් අතු ඉති ලා මල් ඵල දරන්නට, මහා
වනස්පතියක විරාජමාන වන්නට නම් පැළ කාලයේ සිටම ජලය ද පොහොර ද සමව ලැබිය යුතු ය.
නැතිනම්, කො තැනක හෝ වන්නේ අඩුවකි. ඇතැම්විට ඵලදාව අඩු ය. නැතිනම් ශක්තිමත් බවින්
අඩු ය. නැතිනම් ආයු කාලය අඩු ය. කණාටු ස්වභාවයක් ගන්නේ ය. අපේ දරුවන්ට ද අකාලයේ
වියැකී යන්නට ඉඩ නො දීමේ වගකීම ඇත්තේ අප අතේ ම ය. ඔවුන්ට හැදෙන්නට, වැඩෙන්නට දිය
යුතු හොඳම දේ තෝරා දීම වැඩිහිටියන්ගේ වගකීම ය.
පසුගිය දා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර දී දැරියක් සිය දිවි හානි කරගත්
පුවතක් වර්තා වුණි. “ඒ” සාමාර්ථ බලාපොරොත්තු වූ එක් ප්‍රශ්න පත්‍රයක් අසීරු වූ නිසා
ඊට පෙළඹුණේ යැයි ද කියවුණි. විභාගය අභියෝගයක් බව ඇත්ත ය. ජයගත නොහැකි යැයි හැඟුණ
තැන ජීවිතයට සමුදීම හොඳම පිළිතුරු යැයි තෝරා ගන්නට තරම් දරුවන් පෙළඹෙනවා නම්,
පරාජයට මුහුණ දීමට ශක්තිමත් නො වන්නේ නම්, ඉවසීමක්, දුර දක්නා නුවණක් නො වන්නේ නම්
කොතැන හෝ වරදක් තිබේ.
ජීවිතය පුරාම අප මුහුණ දෙන්නේ විවිධ අභියෝගයන්ට ය. විභාගය එක් කඩ ඉමක් පමණි. එය පැන
ගත නොහැකි වූයේ නම් තවත් විකල්ප ඕනෑතරම් ඇත. වරද දරුවන්තුළ ඒ ආකල්ප ගොඩ නො නැඟීම ය.
දරුවන්ට ජීවිතයක අගය වටහා දිය යුතුම ය. බෞද්ධ මවුපියන්ට නම්, ලද ධර්මය ඥානය තුළ ඒ
අවබෝධය නිසැකවම පිහිටා තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිනිසත් බව
ලැබීම ඉතා දුර්ලභව ලද හැකි භාග්‍යයක් වන බව ය. ඒ මිනිසත් බව මනුෂ්‍ය ධර්මයන්ගෙන්
පෝෂණය කර නො ගත්තේ, ආරක්ෂාකර නො ගත්තේ, නම් මේ ජීවිතය ද අනර්ථය. පරලොව ද සුගතිගාමී
නොවන්නේ ය.
ජීවිතයට, ජය පරාජය දෙකම උරුම ය. ලාභයේ දී උදම් නොවන්න, අලාභයේ ද පසු නො තැවෙන්නට,
යසසේ දී ආඩම්බර නො වන්නට, අයසේ දී කළනොකිරෙන්නට ආදි ලෙස අටලෝ දහමටම සමව මුහුණ
දෙන්නට අපගේ දරුවන් හුරු නො කළේ නම් හෙට දවසේ තවත් අවාසනාවන්ත දේ සිදුවීම නො
වැළැක්විය හැකි වනු ඇත. ආදර්ශය වැදගත් මේ නිසා ය.
අද, බොහෝ මවුපියවරු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට මහත් වෙහෙසක් දරති. රටක දියුණුවට,
පැවැත්මට උගත් තරුණ පරපුරක් අත්‍යවශ්‍ය බව සැබෑවකි. නූගතුන් පිරි සමාජයක ගැටලු වැඩි
ය. එහෙත් උගත්කමින්, පතපොත වන පොත් කිරීමෙන් පමණක් සමාජය සුරැකෙන්නේ නැත. තමන් සමඟ
ජීවත්වන සහෝදර සහෝදරියගේ සිට සියලු දෙනාට ගරු කරන්නට, සහයෝගයෙන් ජීවත් වන්නට,
අනුන්ගේ දුක වේදනාව හඳුනා ගන්නට , උදවු උපකාර ඇවැසි තැනට නිර්ලෝභී වන්නට, අනුන් ගැන
හිතන්නට ළතෙත් හදවත් ඇවැසි ය. යම් තරමකට හෝ ජීවිතාවබෝධය, ධර්මාවබෝධය තිබුණා නම් පෙර
කී දැරිය කවර හේතුවක් නිසා හෝ දිවි නසා නො ගනු ඇත. එවැනි ඥානයක් ලබා දෙන්නට, තමන්ට
ආදරය කරන, ජීවිතයට ගරුකරන හදවතක් හදන්නට, යහපත් ගුණ ධර්ම ප්‍රගුණ කරවන්නට දරුවන්
ආගමට දහමට ළං කළ යුතුම ය. ඒත් අද සමහර මවුපියන් දහම්පාසල දෙවැනි තැන ලා සලකන්නේ
අමතර පන්තිය හෝ පොත පත කටපාඩම් කරවීම ම මුල් තැනට දමමිනි. ඒ ආකල්පයන් අනතුරේ
හෙළන්නේ දරුවන්ගේ ජීවිතය ය. |