UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැහැල්ලු ජීවන ගමනක්

සැහැල්ලු ජීවන ගමනක්

" ජීවිතයෙහි පැමිණි දුරත්, යන වේගය ත්, වේගයේ රිද්මයත් සැහැල්ලු කරගනිමින් ඒපිළිබඳ විමසන දිනය අෂ්ටාංග ශීීලය සමාදන් වන පුර පොහොය දවස ය. එය මනසට අවශ්‍ය දෙයකි. වෙනත් දිනවලට පවතින මානය, ක්‍රෝධය, එදිනට යම් ප්‍රමාණයක හෝ අඩුවක් පවතින නිසා එදිනටත් එය පුහුණු කළ යුතු ය."

බෞද්ධ අනුගාමිකයාට මූලික අරමුණු දෙකක් ඇත. පුද්ගලයෙකු මෙලොව උප්පත්තිය ලැබුවාට පසුව මරණය දක්වා කාලය තුළ සාර්ථක, යහපත් ,අර්ථවත් ජීවිතයක් ගතකිරීම හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම එම අරමුණු ෙවි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත කාලය තුළ තමා බලාපොරොත්තු වූ සියල්ල ලැබෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම තමා අපේක්ෂා කරන සියල්ල ලැබුවද, තමන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා කිසියම් අඩුවක් තුළ එය ලබාගනී. තමන් ලැබූ සියලු බලාපොරොත්තුවල අඩුවක් පවතී. එය සෑම පුද්ගලයෙකුටම පොදු කාරණාවක් බව අවබෝධ කරගත යුතු වේ.

පුද්ගලයෙකු වශයෙන් තනි තනිව සිතීම නිසා තමනට පමණක් එය නොලැබුණ බවත්, අනෙක් පුද්ගලයාට එය ලැබෙන බවටත් සිතයි.තමන්ට යම් දෙයක් නොලැබීමත් ,අනෙකාට එය ලැබීමත් සත්‍ය බවක් පැවැතිය හැකි ය. නමුත් අනෙක් පුද්ගලයාටත් නොලැබුණ බොහෝ දේ පවතී.එය අවබෝධ කරගත යුතු සත්‍යයකි. මෙලොව ජීවත් වන සැම පුද්ගලයෙකුම තමන්ගේ ජීවිත කාලය තුළ නොලැබුණ දෙයට වඩා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ලැබුණ ප්‍රමාණය බොහෝ වැඩි වේ. ලැබුණ දෙයට වඩා උට්ඨාන වීර්යෙන් ,සම්මා සතියෙන්, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ පුද්ගලයෙකු ලබාගත යුතු දේ ප්‍රමාණයෙන් වැඩි ය. තමන් මේ තරම් දුරක් පැමිණ ඇති බවත් , තමන් මේ තරම් දෙයක් ලබා ඇති බවත් සිතා සිතෙහි සතුටක් හා සැහැල්ලුවක් යම් පුද්ගලයෙකු විසින් ලබනවා නම්,එය උතුම් ජීවිතයක් ලෙස බුදු දහම විග්‍රහ කර ඇත. තමාට ලබා ගත යුතු දේ කොපමණ තිබුණද,තමන් ලබාගත් දේ පිළිබඳ යමෙකුට සතුටු වීමට හැකියාවක් තිබිය යුතු ය. ඒ පිළිබඳ අසතුටෙන්, අතෘප්තිකරව, කලකිරීමෙන් ජීවත් වන පුද්ගලයන් මේ සමාජය තුළ බහුල වේ. තමන් උත්සාහයෙන්, වීර්යයෙන් ලබාගත් දේ හම්බවුණ දේ ලෙසට සිතා නොසලකා හරිමින් නොලැබුණ දේ පිළිබඳව උත්සාහයක යෙදීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වේ.

තමන්ට ලැබුණ දේ නොසලකා හැර නොලැබුණ දේම ලබාගැනීමට උත්සාහ කිරීම සහ ඒ දේ පිළිබඳ පශ්චාත්තාප වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් වුවද, තමන් ලබාගත් දේ පිළිබඳ තෘප්තිමත්වීම අත්ථි සුඛ නමින් බණ පොතේ සඳහන් වේ.

සතුටු වෙමින් තමනට යා යුතු, යා හැකි දුර උත්සාහයෙන් ගමන් කරමින් තමන් ලැබූ දේ පිළිබඳ සතුටුවීමේ හැකියාව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් කරගෙන ජීවත්වෙන පුද්ගලයෙකුට පමණ ය. තමාට ලැබුණ දේ ලැබුණාට පසු එය තමා ළඟ තිබෙන බැවින්, එහි වටිනාකමක් නැති බවට සිතන්නට බොහෝ දෙනා පුරුදු වී සිටී. නොලැබුණ දේ පිළිබඳව කම්පා වේ. ගඟක් සමීපයෙහි ගහක් උඩ සිට ගඟ දෙස බලාගෙන කල්පනා කරමින් සිටි වඳුරෙකුට ඈතින් ඔරුවක් පදිමින් පැමිණෙන පුද්ගලයෙකු දක්නට ලැබිණි. වඳුරාද,එම පුද්ගලයා දෙස බලාගෙන සිටී. එම ඔරුකාරයා ද, වඳුරා සිටි ගහ සමීපයෙහි ඔරුව නවතා අහඹු සිදුවීමක් ලෙස කැලය තුළට යන අතර වාරයේදී ගසෙන් බැසගත් වඳුරා ඔරුව තුළ තිබෙන දේ පිළිබඳ විමසිලිමත් විය. එහි තිබුණ කඩල ඇටවලින් අහුරක් රැගත් වඳුරා නැවත ගසට නගී. වඳුරාගේ අතින් ගිලිහුණ කඩල ඇටයක් බිමට වැටිණි. අත තිබුණු කඩල ඇට සියල්ලම ඉවතට වීසි කළ වඳුරා ගහෙන් බැස බිමට වැටුණ කඩල ඇටය සෙවිමට උත්සාහ කරයි.

එවැනි අවස්ථාවන්ගෙන් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය පෙන්නුම් කෙරේ. සාමාන්‍ය පුද්ගලයෙකු එම ස්ථානයේ සිදුවූයේ කුමක්ද? යනුවෙන් විමසා සිටිනුයේ ඔහුගේ දැනුම සඳහා නොවේ. එය අසා තවත් පුද්ගලයෙකුට ප්‍රකාශ කිරීම ඔහුගේ අරමුණ වේ. කතා කළ යුතු හා කතා නොකළ යුතු දේ පිළිබඳ සිතීමක් නැත. තමාගේ ජීවිතයට අදාළ ද, නැද්ද යන විමසීමකින් තොරව සියල්ල සෙවීමට උත්සාහ ගනී. තමන් ප්‍රකාශ කළ නොකළ යුතු දෙය කුමක්ද? නොසිතා දුරකතනය ලැබුණ විගස එක හුස්මට කතාව කීමට පටන් ගනී.

තවදුරටත් කෑමට කඩල තමා ළඟ තිබෙන බව සිතීමට තරම් ඇතැමුන්ගේ මනස දියුණු නැත. ඇතැම් පුද්ගලයන් තමාගේ වටිනාකම කුමක්ද? තමන් කරන කාර්යයෙහි වටිනාකම කුමක්ද? යනුවෙන් සිතාගැනීමට තරම් මනස දියුණු නැත. එය තමාගේ වරදක්ද? තමා සිතන ආකාරයේ වරදක්ද ? තමාගේ කරුමයද ? යනුවෙන් නැවත සිතිය යුතුය. එම ජාතක කතාව ප්‍රකාශ වන්නේ වඳුරෙකු පිළිබඳ ප්‍රකාශ කිරීම සඳහාම ද?

අතීත මිනිසුන් කළ ක්‍රියාවන්වල ගැඹුරු අර්ථයක් තිබුණි. මනුෂ්‍යයෙක් වචනයක් කතා කළ විට එම වචනය පිළිබඳ නොසිතා පුද්ගලයා පිළිබඳව අධ්‍යයනය කර ඇත. එම පුද්ගලයා ඒ දක්වා පැමිණි ගමනෙහි ජීවිත කැප කිරීමක් තිබිණි. අධ්‍යාපනයක් ලැබුවා නම්, එම ලැබූ අධ්‍යාපනය තුළ කිසියම් ශික්ෂණයක් ද තිබිණි. වෙළෙඳ සමාජයෙහි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වූ වා නම්, ඔහු කළ කැපකිරීමේ විශාල බරක් ගැබ්ව ඇත. එම බර විසින් ඔහු ශික්ෂණය කර ඇත.

වර්තමානයෙහි එම ශික්ෂිත බව දක්නට නැත. මවිපිය දෙපළ තමන් ගේ දරුවන් හදා ගැනීමට කැප කිරීමක් කළ අතර එම කැප කිරීම විසින් ඔවුන්ගේ මනස උපශාන්ත බවට පත්කර ඇත. වර්තමානයෙහි එම තත්ත්වය වෙනස් වෙමින් පවතී. එය සමාජමය වරදක්ද ? ධර්මයෙන් පුද්ගලයා ඈත් වීමේ වරදක්ද ? යනුවෙන් විෙවිකීව සිතිය යුතු ය. අතීතයෙහි එලෙස සිතූ දවසක් ද තිබිණි. ජීවිතයෙහි පැමිණි දුරත්, යන වේගය ත්, වේගයේ රිද්මයත් සැහැල්ලු කරගනිමින් ඒපිළිබඳ විමර්ෂණයක යෙදිය යුතු දිනය අෂ්ටාංග ශීීලය සමාදන් වූ පුර පොහොය දවස ය. එය මනසට අවශ්‍ය දෙයකි. වෙනත් දිනවලට පවතින මානය, ක්‍රෝධය, එදිනට යම් ප්‍රමාණයක හෝ අඩුවක් පවතින නිසා එදිනටත් එය පුහුණු කළ යුතු ය. මාසයකට දවසක් සුදු පැහැ වස්ත්‍ර ඇ ඳ බිම වාඩිවෙලා තමන්ට ලැබෙන ආහාරපාන, තේ පැන් සංග්‍රහයන් ලබාගෙන ජීවිතයේ සැහැල්ලුවක් ගත යුතු ය. එය මාසයක්ම දුවපු තරඟයේ වටිනා දිනයක් වේ.

තමන් පැමිණි දුර කොපමණද ? තමන් ලැබූ දේ කොපමණද ? තව කෙතරම් දුරක් යා යුතු ද? යනුවෙන් සමාලෝචනය කළ යුතුය. එවැනි ආකාරයෙන් කටයුතු කිරීම ජීවිතය සාර්ථක කරගැනීමට, අර්ථවත් කරගැනීමට සරුසාර කරගැනීමට අවශ්‍ය වේ.

ජීවිතය සාර්ථක විය යුතු ය. දියුණුවක් ලබාගත යුතු ය. එම දියුණුව භෞතික දියුණුව හා ආධ්‍යාත්මික දියුණුව වශයෙන් කොටස් දෙකකට බෙදේ. තමන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ඇතිවන්නේ කෙසේද? එම ස්වභාවය තමන් ළඟ අඩුවී ඇතිද ? වැඩි වී ඇතිද ? යනුවෙන් විමර්ෂණය කළ යුතු ය. භෞතිකත්වය වර්ධනය වන අතර තුර ආධ්‍යාත්මිකව ඇතිවන මානය ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව එකිනෙකා හඹායාම අඩුවිය යුතුය. භෞතික වර්ධනයත්, අයහපත් ගති ගුණ අඩුවීමත්, තුළ පුද්ගලයෙකුගේ දියුණුවක් ඇති වේ. එම දියුණුව කුමක්ද ? යන වග තමන් දැන ගත යුතු ය. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාර්ථක අර්ථවත් වූ ජීවිතය වේ.

සියල්ල තමන් විසින්ම විමසා බැලිය යුතු ය. අඩුපාඩු පිළිබඳවම නොබලා තමන් තෘප්තිමත්ද, යන වග විමර්ෂණය කළ යුතුය. එය අත්ථි සුඛය වේ.තමන් උත්සාහයෙන් ලබා ගත් දේ සහ කර්මානුරූපව ලැබුණ දේ ආදී වශයෙන් විවිධාකාරයෙන් ජීවිතය තීරණය වේ. ජීවිතය කුමන ආකාරයෙන් තීරණය වුවද, තමන්ට තමන් පිළිබඳ තෘප්තිමත් විය යුතුය. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පළමු කාරණාව ය. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කළ පුද්ගලයා වශයෙන් හැඳින් විය හැකිය. සමාජයට හානි නොකර තමන් සාධාරණව හම්බකළ යුතු ය. අසාහසික ලෙස තමන් හම්බකළ දේ පිළිබඳ සැහැල්ලුවක්, සතුටක්, තෘප්තිමත් බවක් පැවතුණ විට ඔහුගේ ජීවිතය සාර්ථක ජීවිතයක් ලෙස හැඳින් විය හැකිය. තමාගේ ජීවිතය සාර්ථක කරගැනීමට නම්, තමන් හම්බකළ සැහැල්ලුව සමාජයේ පොදු යහපත සඳහා ශ්‍රමදානයක් ලෙස, ධර්මදානයක් ලෙස හා ආමිස දානයක් ලෙස ලබා දිය යුතු ය. තමන් සතුටක් ලබනවා නම්, අනෙක් පුද්ගලයන් එය ප්‍රකාශ නොකළ ද, එය ගැටලුවක් නැත. බෞද්ධයෙකු විසින් සාර්ථක ජීවිතයක ලැබිය හැකි දළ සැකැස්මක් ලෙස හැඳින් විය හැකි ය.

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk