UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රමාදය දෙලොව සැපයට හේතු වේ

අප්‍රමාදය දෙලොව සැපයට හේතු වේ

නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උට්ඨානවතෝ සතිමතෝ
සූචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති තී

සුපින්වතුනි.

මුලු තුන් ලොවක් මහා කරුණාවෙන් සනසා වදාළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ධර්මානුකූලව සැපවත් කර ගන්නේ කෙසේද? යන වග මෙම ගාථා ධර්මය තුළින් අපහට පැහැදිලි කර දුන් සේක. මෙම ගාථා ධර්මය ඇතුළත් වන්නේ බෞද්ධයාගේ අත්පොත (ධම්මපදය) නම් ග්‍රන්ථයේ අප්පමාද වග්ගයේ හතර වෙනි ගාථාව කුම්භ ඝෝෂක සිටාණන් අරභයා රජගහනුවර දීය. රජගහ නුවර අභිවාතක නම් ඉතා බිහිසුණු රෝගයක් ඇතිවිය. මේ රෝගය සිටු මැදුරටද බෝවිය. සිටුබිරිඳ හා සිටාණෝ මේ රෝගයෙන් පෙළෙන අතර තම එකම පුතු ළඟට කැඳවා අසවල් අසවල් තැන නිදන් කළ සතළිස් කෙළක් පමණ ධනය ඇත. ඈත පෙදෙසකට ගොස් බොහෝ කල්ගොස් පසු කොට ඇවිත් සුවසේ ජීවත් වන්න. මව හෝ පියාගේ අවවාදය ඇසු පුතු දැඩි ශෝකයෙන්ද දැවුණු පුතා රෝ බියෙන් බේරීම සඳහා දුර ඈත පළාතක දුකසේ ජීවත් වුණා. දෙමාපියන් එම රෝගයෙන් මිය පරලොව ගියා. යළි පුතු රජගහනුවරට පැමිණියේ දොළොස් වසරකට පසුවයි. කල් වයස් ගිය වැඩුණු දැළි රැවුල ඇති සිටු පුතු කිසිවෙකුට හඳුනාගත නොහැකි විය. පියා කී ධනය නිදන් කර ඇති තැන් පරීක්ෂා කර බලා ධනය නොනැසී ඇති බව දැන මා හඳුනන මා තතු දන්න කිසිවෙක් දැන් මෙහි නැත. මා වැනි බෙලහීනයෙකු මේ ධනය ගෙන සැනසීමට නොව වැනසීමට කරුණයි. නුවණින් විමසා උපායෙන් විසීම සඳහා දිළිඳු වෙස් ගත්තා. දිවි රැකුම් සඳහා නුවරම රස්සාවක යෙදුණා . ඒ නම් නුවර වීදියක වැඩෙහි යෙදෙන කම්කරුවන් අලුයම නින්දෙන් අවදි කිරීමේ රස්සාවයි.

 හිරු උදාවීමට පෙර වීදිය දිගේ ඇවිද මුරගා මෙයින් කම්කරුවන් අවදි කෙරේ. එහෙයින් ඔහු ගෝසක නමින් හැඳුන්වූයේය. බිම්බිසාර මහරජුට යම් කෙනෙකුගේ කටහඬ අසා මොහු කිනම් පුද්ගලයෙක්ද යන වග කීමේ හැකියාවක් තිබුණා. රජ මාළිගාවේ අළුයම අවදි වී සිටි මේ රජතුමාට කීප දවසක්ම මේ ගෝසක ගේ කටහඬ ඇසී මහා ධනවතකුගේ කටහඩක් බව දැන ගෙන මොහු කැඳවා වගතුග දැනගත් රජතුමා උපාය මාර්ගයෙන් මොහුගේ ඇත්ත දැනගත් රජතුමා සිටු තනතුරක් දී තම දියණියක් සරණපාවා දී බෑණා කරගත් මොහු "කුම්භගෝසක" නමින් ප්‍රසිද්ධියට පත් වූවේය.මේ කුම්භගෝසක සමඟ බිම්බිසාර මහ රජතුමා දවසක් අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට ගිය මොහොතේ මෙන්න මේ කුම්භගෝසක අරමුණු කරගෙන ඉහතින් සඳහන් ගාථා ධර්මයෙන් ධර්ම දේශනා කළ සේක.සමාජයක යහපත් පැවැත්මක් ඇති කර ගැනීම සඳහා තනි තනි පුද්ගලයන්ගේ යහපත් ක්‍රියාකලාපය ඉතාමත් වැදගත්ය. එබඳු පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මුළු සමාජයම සුගන්ධවත් විලක් මෙන් සෑම දෙසම ප්‍රබෝධමත් කරයි. දහම් ඇසීමෙන් අප සිතෙහි ඇති වැරැදි සිතිවිලි නිවැරැදි කරගැනීමටත් වඩාත් හොඳින් චරිතය සකස් කර ගැනීමටත් මනා පිටිවහලක් ලැබෙයි. එම නිසා පූර්වකෘත කුසලය නිසාම ලැබු මේ මිනිසත් දිවියත් සද්ධර්මයෙන් නිසි පල ලබන්නට ස්වර්ණමය අවස්ථාවක් සේ සැලකිය යුතුය. පුද්ගලයකුගේ යශෝරාවය හෙවත් කීර්තිය වැඩි දියුණු වන කරුණු හතක් තථාගතයන් වහන්සේගේ දේශනාවන්හි අඩංගුවේ. උත්සාහවත් බව යම් කාර්යකදී එළඹෙන බාධක මගහැර සාර්ථකත්වය දක්වා ගමන් කිරීමට මෙවලමකි. කාර්යයක සඵලත්වය ඇති කර ගැනීම තම පවුලේත්, රටේත් අභිවෘද්ධිය පිණිස උපකාර වේ. එයින් කීර්තිය වැඩීමට උපකාර වේ.

පින්වතුනි, බුදු කෙනෙක් ලොවට පහළ වන්නේ වීර්යය නිසාය. බුදුරජාණන් වහන්සේ මේ වීර්යය නිතර නිතර වර්ණනා කළ “අප්පමාදෙන සම්පාදෙථ” අප්‍රමාදිව ක්‍රියා කරන්න. ‘අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතංගතො’ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨයා වූ ශක්‍රයා එතැනට ගියේ වීර්යය නිසයි. ‘අප්පමාදං පසංසන්ති පමොදා ගරහිතො සදා’ අප්‍රමාදය හැමදාම ප්‍රශංසා කරනවා. ප්‍රමාදයට හැමදාම නින්දා කරනවා. බුදුරජාණන් වහන්සේ වීර්යය කරන්නට කියලා නිතර නිතර අප ධෛර්යවත් කළා. උත්සාහය අවශ්‍යයි. මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට, ඒ වගේම පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට, සතිමත් බව කීර්තිය වැඩීමට උපකාර වේ. තමන් සිදු කරන සියලු කටයුතුවලදී එළඹ සිටි සිහියෙන් යුක්ත බව කාර්ය සඵලත්වයට උදව්වකි. විවිධ ගැටලු හමුවේ කාර්ය බහුල දිවි ගෙවන විට හැමවිටම සිහිය” ඒ මොහොතේ රඳවාගැනීම අවශ්‍ය වේ. අසිහියෙන් සිදුකරන කටයුතු වලදී අසාර්ථකත්වයට මග පාදනු ලබයි. කායානුපස්සනා, චිත්තානුපස්සනා,වේදනානුපස්සනා , ධම්මානුපස්සනා නම් වූ සතර සතිපට්ඨානයේ සිත දියුණු කිරීම සතිමත් බව වැඩිදියුණු වීම පිණිස හේතු වේ. තිදොරින්ම යහපත් වූ නිවැරැදි කථනයන්හි නිරතවීම පුද්ගලයාගේ කීර්තිය පැතිරීමට උපකාර වන්නකි.

සුචිකම්ම, සිත, කය, වචනය තිදොරින් ප්‍රාණඝාතාදී අකුශලයන්ගෙන් දුරුව කුශල කර්මයන්හි නිරතවීම දෙලොවටම වැඩදායකයි. එබඳු පුද්ගලයාට සමාජයෙන් කීර්ති, ප්‍රශංසා නිරතුරුවම ලැබේ. එමෙන්ම තමන් නිවැරැදි පුද්ගලයෙකු යැයි ඇතිවන අනවජ්ජ සුවයද ඒ පුද්ගලයාට හිමිවේ. විමසා බලා කටයුතු කරන්නා නිරායාශයෙන් ඇගයීමට පාත්‍රවේ. කළ යුතු නොකළ යුතු දේ විමසීමෙන් යුතුව කටයුතු කරන්නා බුද්ධිමතෙකි. නොවිමසා කරන කටයුතුවල අනිටු විපාක හොඳින් දනී. ඒවායින් වැළකී නිවැරැදි චර්යාවෙහිම නිරත වීමට උත්සාහ කරයි. හැම දෙනාටම පි‍්‍රය උපදවන අයෙක් බවට පත් වේ. සිත,කය, වචනය යන තිදොරින් සංවර බව ඇති කර ගැනීම යමෙකුගේ මෙලොවත්, පරලොවත් ජය ගැනීමට උපකාර වෙයි. සියලු අකුශලයන් සිදුවන්නේ ත්‍රිවිධ ද්වාරයන් ක්‍රියාත්මක වීමෙනි. ඒ අතරිනුත් සිත සංවර කරගත් පුද්ගලයා සැනසීමෙන් යුක්තව ජීවත් වෙයි. එයින්ම කය, වචනය දෙකේද සංවර බව ඇති කරගත හැකිවේ. මේ හේතුවෙන් බහු කීර්ති ප්‍රශංසාවට බඳුන් වෙයි. ධාර්මික ජීවිතයක් ගත කිරීම උපන් මිනිසුන් විසින් සිදුකළ යුත්තකි. තථාගතයන් වහන්සේ නොකළ යුතු වෙළෙදාම් පහක් අපහට පෙන්නුම් කර වදාළා. අවි ආයුධ වස විස, වහල් වෙළෙදාම, මස් වෙළෙදාම, රහමෙර වෙළෙදාම ආධාර්මික අයුරින් ජීවන වෘත්තින් ඇත්තන් සමාජයේ අපකීර්තියට යොමුවීම වැළැක්විය නොහැකිය. අරිඅටඟිමගෙහි සම්මා කම්මන්ත යන්නෙන් හඳුන්වා ඇත්තේ මෙම කාරණයයි. නිවැරැදි ලෙස උපයා ගනු ලබන ධනය බුදු හිමියන් අගය කොට ඇත. එවැනි රැකියාවක් ඇත්තවුන් සමාජයේ කීර්තිය ලබන්නෙකි. මේ සියලු කරුණුු කාරණා සමඟ නොපමාව අනලස්ව තමාට අයත් කටයුතුවල නිරත වන්නා දියුණුවට පත් වේ. ධම්මපදයේ අප්පමාද වග්ගයේම නොපමා වූවන්ම නිවන් මගේ දොරටු විවර කරගන්නා බව දේශනා කොට තිබේ. ප්‍රමාදව කටයුතු කරන්නා පරිහානියට පැමිණේ. එවිට දියුණුවක් ලැබීම දුෂ්කරය. එබැවින් තම කාර්යන්හි අප්‍රමාදීව නියැළී සිටින්නා මෙලොව සාර්ථකත්වය ලබා පරලොව සුගතිගාමී වීමට හැකිවේ. එයින් උතුම් නිර්වාණාවබෝධය පිණිසද නොපමාව කටයුතු කිරීම හේතුවකි. හැම අයෙක්ම බලාපොරොත්තු වන්නේ ජීවිතයේ සාර්ථකත්වය දියුණුව ඇතිකර ගැනීමයි. ඒ සඳහා මේ බුද්ධ දේශනාවන්, උපකාර කොට ගෙන දෙලොව දියුණුව ලබා කෙළවර උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතුවේවායි අදිටන් කරගන්න.

තෙරුවන් සරණයි

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]