ඇසළ අමාවක 2016.08.02
සහනශීලී දහම
වස් කාලය යනු උපසම්පදා භික්ෂූන් වහන්සේ පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන විශේෂ කාල
සීමාවකි. සසුනේ ආරක්ෂාවට මෙන්ම වර්ධනයටත්, ගුණ දහම් වගාවටත් එම වස්කාලය බෙහෙවින්
ඉවහල් වනු ඇත. ගිහි පැවිදි උභය සමාජයේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කැරෙන කාලයක්
ලෙසද වස් කාලය සැලකිය හැකිය. පන්සල ගුණ දහම් කියා දෙන කේන්ද්‍රස්ථානය වේ. ගමට,
පළාතට යහපත් මඟ හෙළිකර දෙනුයේ පන්සල මුල්වීමෙනි. දිනපතා තෙරුවන් නැමදීම බෞද්ධ සමාජය
තුළ දක්නට ලැබෙන විශේෂ සිද්ධියකි.
වස්කාලය තුළ තෙරුවන් වන්දනාව මුල් කර ගනිමින් ඉතා සංවිධානාත්මකව ආගමික කටයුතුවල
ගිහි, පැවිදි දෙපිරිස විසින්ම දිනපතා යෙදෙනු දක්නට හැකිය. දිනපතා නියමිත වේලාවකට
සැදැහැති දායක පිරිසද ඒකරාශි කර ගනිමින් ආගමික වතාවත්වල නිරතවීම මෙන්ම ගිහි සමාජයේ
මෙලොව ජීවිතය සාර්ථකව ගත කළ යුතු ආකාරය පිළිබඳව දහම් දෙසුමෙන් මග පෙන්වනු ලැබේ.
ගිහි සමාජයේ දැහැමි දිවි ගෙවන බෞද්ධයා අන්‍යයන්ට කරදර හිරිහැර නොවන අයුරෙන්ම
ජීවත්වීමට උත්සාහ කරනු ලැබේ. වේයා තුඹසක් ඉදිකරනු ලබන්නේ ඉතා ආයාසයෙනි. එමෙන්ම
සාමුහිකත්වයෙනි. දැහැමින් වෙසෙන්නා ධනය අයථා ලෙස ඉපයීමට නොපෙළඹේ. සමාජයේ වෙසෙන බොහෝ
ආදර්ශවත් ධනවතුන් දවසින් දෙකෙන් දියුණුව උදාකර ගත්තෝ නොවන බව පෙනේ. කූට අයුරෙන් ධනය
ඉපයුව හොත් මෙලොව වශයෙන් හෝ කිසිඳු සහනයක් හිමි නොවේ. අධර්මයෙන් ධනය උපයා ගත් විට
මොහොතක් පාසා මහත් බියෙන් පසුතැවීමෙන් කාලය ගෙවීමට සිදුවේ. කිසිදු ධනයක් නැතත්
මෙලොව වශයෙන් සැනසීමෙන් හෝ ජීවත්වීමට ලැබීම අධාර්මිකව උපයන ධනයට වඩා මහත් සැනසීමක්
උදාකර දෙනු ඇත.
තමා දන්නා හඳුනන අයෙක් ධනවතෙක් වූ නිසාම තමාද ධනවතෙකුවීමට අයථා මාර්ගයෙන් ධනය
ඉපයීමට උත්සාහ නොකළ යුතුය. අධාර්මිකව සපයා ගන්නා ධනයෙන්, සතුටු වුවද එසේ සතුටුවිය
හැකිවන්නේ ඉතා කෙටි කලකි. ඒ සතුටු වු කාලයට වඩා වැඩි කාලයක් ධනය ඉපැයූ ආකාරය ගැන
දුකට කනගාටුවට පත් වන්නට සිදුවන්නේ නම් එබඳු උපයා ගත් ධනයෙන් ඇති ඵලක් වේද?
සමාජයේ තවත් කෙනෙකුට අයහපතක් කරමින් තමා පමණක් ධනවත් අයෙකු සේ පෙනී සිටියද ඒ අයහපතට
පත් තැනැත්තා හෙළන සුසුමක් පාසා අධර්මයෙන් දිවිගෙවන තැනැත්තාට ශාප කරනු ලැබේ. තමන්
හඳුනන හෝ නොහඳුනන කවර අයෙකුට වුවද අයහපතක් කරමින් අධාර්මිකව ජීවත්වීමට උත්සාහ නොකළ
යුතුය. දැහැමින් උපයන ධනයෙන්ම සුවය සලසයි. උට්ඨාන වීර්යයත්, යහපත් සිහියත් ,
නිවැරැදි කර්මාන්තාදියෙහි යෙදීමත් දියුණුවන්නා තුළ දැකිය හැකි ලක්ෂණ අතර වේ. එසේ
දැහැමින් දියුණුවන තැනැත්තා ආගමානුකූල ජීවිතයක් ගත කිරීමද ආදර්ශවත්ය.
ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මය සමාජයට සහනශීලි වූවකි. තමන්
වහන්සේ දේශනා කර වදාළ ඒ උතුම් දහම සමාජයට මහත් ආශිර්වාදයක්ම වූහ. ඔවුනොවුන් අතර
සුහදතාවය වර්ධනය කරන්නක් ම වූහ. සම්බුදු දහම මගින් මානුෂික මෙන්ම මානසික නිදහසද
තහවුරු කළේය. දෙසැටක් දෘෂ්ඨි පැවැති සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේ නිවැරැදි දහම්
මඟ ලොවට මහා කරුණාවෙන්ම පහදා දුන් සේක.
සෑම යහපත් අයහපත් ක්‍රියාවකටම මුල් වන්නේ සිතය. ඒ සිත යහපතෙහි පිහිටුවා ගැනීමෙන්
කයත්, වචනයත් යහපතෙහි යොදවා ගත හැකි අයුරු පැහැදිළි කළ වදාළහ. සිත යහපතෙහි යොදවන
විට බාහිර සහ අභ්‍යන්තර වශයෙන් සිතට ගලා එන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් යටපත්
කරගත හැකි ආකාරය පෙන්වා දී ඇත. ලොවටම ආදර්ශවත් වු අපේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත්
බුදුසිරිත ගැන ගැඹුරින් මෙනෙහි කර ජාතික , ආගමික සහජීවනයෙන් සංහිඳියාව ගොඩනඟා
ගැනීමට උනන්දු වෙමු. එය වටිනා චරිතා දර්ශයක් වනු ඇත.
|