UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

රේරුකානේ චන්දවිමල මහා නා හිමි

1897 වර්ෂයේ ඇසළ මස විසිහය වැනි දින උන්වහන්සේ උප්පත්තිය ලැබූයේ රයිගම් කෝරළයේ අදිකාරම්පත්තුවේ රේරුකාන නම් වූ ගමෙහිය. නව හැවිරිදි වියේදී පැවිදි භූමියට ඇතුළත් වූ උන්වහන්සේ එක්දහස් නවසිය දාහතේ ඔක්තෝබර් මස විසිවැනි දින වර්තමානයේ මියැන්මාරය නමින් හඳුන්වන බුරුම දේශයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලද්දේය. මාහිමියන් අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගත්තේ බුරුම දේශයේ වැඩ වසන කාලය තුළදීය. උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රචනා කර ඇත්තේ පොදු ජනතාවට මෙම උතුම් ධර්මය දැන ගැනීමට සලස්වනවාක් මෙන්ම, තමන් වහන්සේගේ සිත තුළ පවත්නා සම්මෝහය දුරුකර ගැනීමට බව ගෞරවනීය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමියන් විසින් රචිත මහානාහිමි චරිතාපදානයේ සඳහන් වේ.

මහා නා හිමියන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින් උන්වහන්සේ ගේ ජීවමාන කාලයේදී සිදුකරන ලද පින්කම් විවිධ විචිත්‍ර ඒවා බවත් තවත් බොහෝ දෙනෙක් නොසිතන පින්කම් උන්වහන්සේ විසින් සිදු කර ඇති බවත් මහා නාහිමි චරිතාපදානයෙන් හෙළි වේ.

බුදුදහම ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට සහ ඒ තුළින් පුද්ගල ජීවිතයේ යථාර්ථය දැක්මට වෙර දරන සෑම දෙනා හටම තථාගත ධර්මය පිළිබඳව අතිපූජ්‍ය රේරුකානේ මහානාහිමියන් විසින් ලියන ලද පොත පත පරිශීලනයෙන් ලැබෙනුයේ මහත්වූ සෙතකි. ධර්ම ග්‍රන්ථ රචනා කිරීමේදී උන්වහන්සේ විසින් අනුගමනය කර ඇති සුවිශේෂී සවිස්තරාත්මක බව ඒ ඒ කරුණු කාරණා කියවා හොඳින් අවබෝධ කර ගැනීම වඩාත් පහසු කරවයි. එමෙන්ම යහපත් මනසිකාරයක් ගොඩනැගීමට සමත් වෙයි. ජීවිතයේ අප හමුවට එන නා නා දුක් කම්කටොළු අකම්පිතව යම්තාක් දුරට හෝ දරා ගැනීමට සිතට ශක්තියක් ලැබෙයි. උන්වහන්සේ විසින් රචිත “කෙලෙස් එක්දහස් පන්සියය” නමැති ග්‍රන්ථය අකුසලයෙන් දුරු වී වහ වහා කුසල් කරන්නත්, ඒ කුසලයන් නිර්වාණය අරමුණු කොටම සිදු කිරීමටත් සිත වෙහෙසවනු ලබයි.

තථාගතයන් වහන්සේගේ නිමක් නොමැති උදාර ගුණාංගයන් පිළිබඳව ලියැවී ඇති “සූවිසි මහ ගුණය” ග්‍රන්ථය මූලිකවම පුද්ගල සන්තානය තුළ ඇති විය යුතු ශ්‍රද්ධාව නමැති කුසල චෛතසිකය සිත්හි ජනිත කරවයි. මේ සසරෙහි ඇති ඝෝර බව හා සිත්හි පහළ වන වංක හා අවංක චේතනා හඳුන්වා දෙන්නේ උන්වහන්සේ විසින් රචිත “වංචනික ධර්ම” නමැති ග්‍රන්ථයයි.

බුදුවරයන් ලොවට පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය වන අභිධර්මය ගැන ලියා ඇති ග්‍රන්ථ තුළින් උන්වහන්සේ සතු අභිධර්මය පිළිබඳව වූ විශිෂ්ඨ දැනුම මනාව පිළිබිඹු කරයි. මේ ආදි වශයෙන් බුද්ධ භාෂිතයේ විවිධ දේශනා අළලා උන්වහන්සේ විසින් ලියන ලද මහඟු ධර්ම ග්‍රන්ථ රැසකි.

අවසන උන්වහන්සේගේ උත්තම ශාසනික මෙහෙවර ගැන සඳහන් කළ යුත්තක්ම ඇත. එනම් මෙම හැම ධර්ම ග්‍රන්ථයකම අවසන් පිටුවේ චන්දවිමල ධර්ම ප්‍රචාරක සංරක්ෂණ මණ්ඩලය වෙතින් සඳහන් කර ඇති මාහැඟි වැකි පෙළයි.

සත්‍ය ඔබ ළඟයි. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි. එය සොයා ගත යුත්තේ ඔබමය.

ඒ නිවැරදි මග වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ සරල පොත් පෙළ ඔබට මහෝපකාරි වේ.

උන්වහන්සේ පිළිබඳ වූ මේ සටහන උතුම් මහා නා හිමියන්ට කෘතගුණ පූජාවක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ මාහැඟි ශාසනික මෙහෙවරට දිරි දෙන ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂක මණ්ඩලය වෙතද ගෞරව ස්තුතිය පුද කරන්නෙමු.


හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්ති රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 35 ක් ගතවේ.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාලහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභය ලැබූ සමරවීර සකලසූරිය ලාබාළ වියේදීම මුඪගමුමේ මාහිමියන්හට භාර කෙරුණි. අනතුරුව සාමනේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

එවකට හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා 1919 ජනවාරි 16 වන දින හේන්පිටගෙදර ඥාණසීහ නමින් පැවිදිව බලගල්ලේ සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූහ.උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම පරීක්ෂණවලදී විශිෂ්ඨතා පළ කරමින් 1939 අවසාන විභාගයේදී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනා ගැනීමට සමත් විය.අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිටිය දී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන් හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි භික්ෂූන් වහන්සේලාගේ දෙනෙත්වලට ලක්විය. උන්වහන්සේගේ සේවය තම ප්‍රදේශවලට ලබාගැනීමට භික්ෂූන් වහන්සේලා අතර මහත් තරඟයක් පැවතින. මේ අතරතුර සරස්වතී පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානකැටියේ මූල මහා විහාරාධිපති එළමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබු ප්‍රතිචාරය නිසා 1934 දී හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.

එදා මූද්දුවේ තිබු අම්බලම හා කුඩා බිම් තිරුව 1934 අගෝස්තු 26 දී රත්නපුර ශී‍්‍ර සුමන පිරිවෙන බවට පත්විය. ශ්‍රී සුමන මහා විද්‍යාලය, ශී‍්‍ර සුමනාබාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ බුළුගහපිටියේ ශ්‍රී සුමන විද්‍යාලය, තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය, සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු පුහුණු ආයතනය ආදී ගිහිපැවිදි අධ්‍යාපන ආයතන සහ තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ.

ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේ ගේ පළමු කෘතිය වූයේ 1946 දි එළිදැක්වූ “දෙවියෝ” නම් කෘතියයි. පිළිවෙලින් සිංහල මේඝ දූතය,අභිධර්ම පරීක්ෂණය, සද්ධර්ම ශතකම්, සිංහල රඝූ වංශය, මහ රහතන් වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රයා සිද්ධිවාදය, බෞද්ධ දර්ශනය, සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශනයට පත් කරන ලදී. බන්ධනාගාරගතව සිටි කාලය තුළ දී ගාමිනී ගීතානාම, ජෙට්ඨගාමිණී චරිත, “මහා පැරකුම්බා සිරිත” මිනිසා සහ ජීවිත පරමාර්ථය, හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධ ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය, දර්ශනය විද්‍යාව සහ බුදුදහම (ඥානප්‍රස්ථානය) උපාධියෙන් පසු, බුද්ධ ධර්මය, සත්ත්වයා,අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු, බෞද්ධ සමාජවාදය, සිරකූඩුවක් තුළ දී ඇතුළු විශාල පොත් සංඛ්‍යාවක් ලියා රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළ සේක.

ජාතික ප්‍රශ්නවලදී අභීත ව අදහස් ප්‍රකාශ කිරීම නිසා රටේ අවධානය නාහිමියන් වෙත යොමු වූ අතර පසු කාලයේදි සිරගතවී සිටින්නට පවා සිදුවිය. එම කාලය තුළදී ද උපරිම ප්‍රයෝජනය ගත් නාහිමියන් විසින් රචිත ග්‍රන්ථ රාශියකට රාජ්‍ය සම්මාන පවා හිමිවිය. එම කාලය තුළ රචිත මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වටිනා ග්‍රන්ථ කිහිපයක අත්පිටපත් රාශියක් ඇත. නාහිමියන්ගේ සේවය අගය කිරීමක් වශයෙන් අගෝස්තු 01 වන දින සිට ගුණ සමරු පින්කම් මාලාවක් රත්නපුර ශී‍්‍ර සුමන මහා පිරිවෙන් විහාරස්ථානයේදි පැවැත්වීමට සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංගමය විසින් පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]