UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සිරිතේ ආදර්ශය - 03:  බුදුසිරිතේ අසිරිය

සම්බුදු සිරිතේ ආදර්ශය - 03: 

බුදුසිරිතේ අසිරිය

සම්බුදු සිරිතේ අසිරිමත් ආදර්ශ ලිපි මාලාවේ තෙවන ලිපියයි මේ.

සම්බුදු සිරිතේ ඒ අසිරිමත් ගුණ සිහිකර තම තමන්ගේ හදවත් තුළ ඒ ගුණ දහම් හැකිතාක් වර්ධනය කර ගත හැකි වෙතොත් එය බුද්ධ පූජාවක්ද වනු ඇත.

බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වය තුළ දැකිය හැකි ලක්ෂණයන් වන්නේ ප්‍රඥාවන්ත බව හෙවත් මහා ප්‍රඥාව සුවිශේෂීවේ. නායකත්වයේ තීරණ ප්‍රඥාගෝචර විය යුතුය. බොහෝ පිරිසක් සතුටු කිරීම විෂයෙහි හුදු ජනපි‍්‍රය තීරණ නොගත යුතුය. එසේම තම බලය කෙසේ හෝ රඳවාගැනීම උදෙසා අනාගතය දෙස නොබලා තීරණ ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍ය ය.යම් ගත යුතු තීරණයක් කෙටිකාලීනව අමිහිරි වුවද එම තීරණය ගත යුතුමය. ලේ රත්වන හැඟීම්වලට ආමන්ත්‍රණය කිරීම නුසුදුසුය.

බුදුරදුන්ගේ තීරණයන් සෑම විටම ප්‍රඥාව මූලික වූ තීරණයන් වේ. දෙව්දත් තෙර පංචවරය ඉල්ලූවිට එය ජනපි‍්‍රය සිත් ඇදගන්නා තීරණයක් වුවද උන්වහන්සේ එයට අනුමැතිය ලබා දුන්නේ නැත. එය පලිහක් කොට ගනිමින් දෙව්දත්තෙර නූගත් විචාර බුද්ධියකින් තොර ජනයා දෙව්දතුන් සරණ ගියහ. අවසානයේ ඔවුනටද පිහිට පිණිස පැමිණියේ බුදුරදුන් ය. දෙව්දතුන් අවසන් අවස්ථාවේ බුදුරදුන් සොයා වැඩියහ. හැගීම්වලට වහල් වී තීරණගැනීම තරම් නොවේ. එවන් තීරණ ගනු ලබන්නේ ප්‍රඥාව අහිමි වූවන්ය. බෞද්ධයා වෙත නිරන්තරවම උන්වහන්සේ දේශනා කළේ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාවද තිබිය යුතු බවයි. ආදර්ශවත් නායකයන් තීරණ තීන්දු ගනු ලබන්නේ ප්‍රඥාවෙන් යුක්තය. එසේ නොවන විට දීර්ඝ කාලීන ජයග්‍රහණ අත්පත් කරගත නොහැකිය. නායකත්වයක වගකීම වන්නේ ඉල්ලුමට සරිලන සැපයීම නොව අවශ්‍ය දේ ලබාදීමයි. එහිදී ගනු ලබන තීරණ ජනපි‍්‍රය නොහැකි විය හැකිය. වැළඳ ගන්නේ ටික දෙනෙක් වුවද හොඳම දේ ලබාදීමට කැපවිය යුතුය. ලෝකයේ අතිශය බහුතරය බුද්ධියෙන් තීරණ ගන්නා පිරිස නොවේ. බුද්ධකාලීන සමාජය දෙස බැලුවද මේ තත්වය හඳුනාගත හැකිය සංජය හා ,උපතිස්ස, කෝලිත අතර ඇතිවූ සංවාදය මීට කදිම නිදසුනකි.

සංජය :– මේ ලෝකයේ වැඩිපුරම ඇත්තේ බුද්ධිමතුන්ද? අඥානයන්ද?

උපතිස්ස, කෝලිත :– ගුරුතුමනි, මේ ලෝකයේ බහුතරය අඥානයෝය.

සංජය :– එසේ නම් බුද්ධිමතුන් පිරිස ප්‍රඥාවන්ත බුදුරදුන් කරා පැමිණෙත්වා. අඥාන පිරිස අඥාන වු මා කරා පැමිණෙත්වා. ආදි වශයෙනි. ඇතැම් නායකත්වය වටා ගොඩනැගෙන්නේ මෙවන් පිරිස්ය. උරුවෙල් කාශ්‍යපයන්ටද බුදුරදුන්ගේ ප්‍රඥාව තේරුම් ගැනීමට කලක් ගත විය. ඔහු බුදුරදුන් ඍද්ධි ප්‍රාතිහාර්ය පාද්දි ප්‍රකාශ කළේ තමන් තරම් රහත් නොවන බවයි. අඥාන බව වැඩි නිසා ඔහුට අනෙකාගේ ප්‍රඥාව හඳුනාගත නොහැකි විය. ප්‍රඥාව පෙන්විය යුත්තේ නායකත්වය දරන සමයේ මිස එය නැතිවු විට නොවේ. බුද්ධ චරිතය තුළ පමණක් නොව ධර්ම මාර්ගයද හඳුනාගත හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට මිස අඥානයන්ට නොවේ.

බුදුරදුන්ගේ ප්‍රඥාවන්ත භාවය තුළ ලෝකයේ කිසිදු නායකයෙකු සොයා නොගත් මාර්ගයක් සොයා ගත්හ. එනම් හේතුඵල දහමයි. එතෙක් පැවති අන්තගාමී මාර්ගයන්ට උන්වහන්සේ නොවැටුණාහ. එසේම සියල්ල දැනීමේ ඤාණය නිසාම බාහිර අන්‍ය තීර්ථකයන්ට මාරයාට පවා උන්වහන්සේ නතු කරගැනීමට නොහැකි විය. සැබෑ නායකයා නම් අනෙකා ගේ අයහපත් ඇතැම් අවවාද පිළිගැනීමෙන් වැළකේ. එසේ වන්නේ නායකත්වය ප්‍රඥාගෝචර නම් පමණි. ප්‍රඥාවන්ත නායකයා සෑමවිටම ලංකරගන්නේ බුද්ධිමත් පිරිසක් මය. බුද්ධ චරිතය ඊට කදිම නිදසුනයි. සැරියුත් හිමියන් ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

නායකයා ප්‍රඥාවන්ත වනවාසේම අනුගාමිකයන්ද එසේ විය යුතුය. එසේ නොමැතිවීම පිරිහීමට විනාශයට පත්වීමට හේතුවකි. මෝඩ වානරයකු නිසා රජුට ජීවිතය අහිමි වූයේ අඥානයකු තම අනුගාමිකයෙකු ලෙස පත්කර ගත් බැවිනි. බුද්ධ ශ්‍රාවකයන් සෑම විටම ප්‍රඥාවන්ත පිරිසක් වූහ.

අල්පේච්ඡ බව නායකයෙකු තුළ තිබිය යුතුම ගුණයකි. නායකත්වය පවතින්නේ ඔහු කන බොන ආකාරය මත නොවේ. ඔහු තුළ පවතින අල්ප වුවමනාවන් අවශ්‍යතාවයන් මතය. රජෙකු වූ පමණින් ඔහු රජෙක් ලෙස අනුභව කළ යුතු නොවේ. ඔහුද සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වගබලාගත යුතුය. එසේ නැතිව දියුණුවට ලැබෙන දෑ තම සුඛ විහරණයට අනවශ්‍ය ලෙස යොදාගැනීම යුතු නොවේ. බුදු දහමට අනුව ඇතැම් විට එය අපාගත වීමට පවා සමත් පාපකර්මයකි. කෙතරම් ප්‍රත්‍යලාභ ලැබුණද බුදුරදුන් නායකයෙක් ලෙස එය තම සුඛ විහරණය සඳහා කිසිවිටක යොදාගත්තේ නැත. ඉතා වටිනා සළු ලැබුණද එය උන්වහන්සේ සීමාව ඉක්මවා පරිහරණය යොදා නොගත්හ. රජ පරම්පරාවකින් පැවතුණද එම සැප අත්හැර ලැබෙන පිණ්ඩපාතයෙන් යැපුණහ. තම මව්රටට ගිය අවස්ථාවේදී පවා පිණ්ඩපාතයෙහි හැසිරුණහ.

මහිච්ඡතාව අත්හැරීමට නිරන්තරවම කටයුතු කළ යුතු අතර සරල දිවි පෙවෙතක් ගත කිරීම ඉතා අගය කළ යුතුය. රජකම පෙන්විය යුත්තේ බාහිර ආටෝප සාටෝප වලින් නොව ක්‍රියාවෙනි. නායකයෙක් යනු පිරිසක් මෙහෙයවන්නාය. ඔහු තුළ මෙම ගුණය අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. බුදුරදුන්ගේ හතළිස් පස්වසර පුරාවටම මෙන්ම බෝසත් අවධියේ පටන්ම මෙම ගුණය දැකිය හැකිය. ආයතනයක්, රටක් සංවිධානයක් නඩත්තු කිරීමට ඇති සම්පත් තනිවම එක් පුද්ගලයෙකු පරිභෝජනය කළහොත් ඔහු සැබෑ නායකයෙක් ලෙස හැඳින්විය නොහැකිය.

බොහෝ රාජ රාජ මහා මාත්‍යයන්, සිටුවරු බුදුරදුන්ට පැහැදීමේ හේතුව මෙම ගුණය උන්වහන්සේ සතුව පැවැති හෙයිනි.ආහාර පවා ගනු ලැබුයේ පැවැත්ම සඳහා පමණි. භික්ෂූන්ට තුන්සිවුර අනුදැන වදාළේද එහෙයිනි. බහුභාණ්ඩික වීම බුදුරදුන් ගර්හාවට ලක් කළහ. මන්දයත් බොහෝ පිරිසකට ලැබිය යුතු දෑ එක පුද්ගලයෙකු තෘෂ්ණාවෙන් අත්පත් කර ගනිමින් පරිභෝජනය කිරීම ගැරහිය යුත්තකි. සම්පත් බෙදී යායුතු මිස එක් කෙනෙකු වටා ඒකරාශිවිය යුතු නැත. නායකත්වයේ පැවැත්ම රඳාපවතිනුයේ මෙම ධර්මතාව රැකෙන්නේ නම් පමණි. බුදුරදුන් පිරිනිවී 2560 ගත වන මොහොතේදීත් උන්වහන්සේගේ නායකත්වය අභියෝගයට ලක් නොකරන්නේ එහෙයිනි.

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]