මහනුවර ඇසළ පෙරහර
මංගල්‍යයට කප් සිටුවීම 3වනදා
සමන්තී වීරසේකර
"ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කර දෙන සුබ මුහුර්තියකට අනුව ඒ ඒ
දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. වටතිර ඇද, උඩුවියන් බැඳ දේවාලය
ඉදිරිපිට මනාව සකසන ලද ස්ථානයක කප සිටුවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි."
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සුභ
මුහුර්තියෙන් කප් සිටුවීමයි. මෙවර එම චාරිත්‍රය යෙදී තිබෙන්නේ අගෝස්තු මස
තුන්වනදාටය.
අතීත ශ්‍රී විභූතිය එපරිද්දෙන්ම වත්මන් ශ්‍රී ලාංකික මෙන්ම ලොව නන්දෙස ජනීජනයාට
විද්‍යමාන කෙරෙන සම්ප්‍රදායික චාරිත්‍රයකි මහනුවර ඇසල මහා පෙරහැර මංගල්‍යය. ශ්‍රී
දන්ත ධාතුන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට පූජෝපහාර පිණිස මෙන්ම නිසි කලට වැසි
ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වී රට සෞභාග්‍යත්වයට පත්වේවා!යි ප්‍රාර්ථනය කරමින් ඇසළ
පෙරහර පවත්වන බව ඉතිහාස පුරාවෘත්තයන්හි දැක්වෙයි.
වැඩදායි වැදගත් කාර්යයන් ආරම්භ කිරීමේදී ඒ සඳහා භාරහාර වීම අතීතයේ සිටම පැවත එන
ක්‍රමවේදයකි. ආරම්භ කරන කටයුත්ත සාර්ථකව පවත්වාගෙන යාමත්, ප්‍රතිඵලදායි නිමාවක්
බලාපොරෙත්තු වීමත් අරමුණින් වැදගත් කාර්යයක් ආරම්භයේදී ඒ සඳහාම පේ වීමක්, සහ
කැපකිරීමක් සිදු කිරීමට අතීත මුතුන් මිත්තෝ පුරුදුව සිටියහ. මේ අයුරින් දළදා පෙරහර
වෙනුවෙන් කැපවීම පිණිස “කප් සිටුවීම” සුබ නැකතකට අනුව සිදුකිරීම දළදා පෙරහර
මංගල්‍යයේ ආරම්භ චාරිත්‍ර විධියය.
‘කප’ යනු කණුවය’ කණුවක් සිටුවා කැපවෙමි. යන අර්ථයෙන්’ කප් සිටුවීම් නමැති චාරිත්‍රය
එදා සිට අද දක්වා නොනැසී පවතී. මහනුවර ඇසල පෙරහර මංගල්‍යය උදෙසා කප් සිටුවීමට
සුදුසු නැකැත් ශ්‍රී දළදා මාළිගාව මගින් පිළියෙල කර දෙන නමුත් දළදා මැදුරේ කප්
සිටුවීමක් සිදුකරනු නොලබයි. එය සිදු කරනු ලබන්නේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන
දේවාලයන්හිදීය.
‘කප’ ලබා ගැනීම සඳහා තෝරා ගනු ලබන්නේ ඵල නොදරන පුරුෂ ලිංගික ‘පණස’ හෙවත් වරකා
වෘක්ෂයකි. අලුත්නුවර දේවාල භූමියෙන් කප සඳහා සුදුසු “පණස” වෘක්ෂය තෝරා ගැනීම
පෞරාණික චාරිත්‍රයකි.
එම දේවාලයේ ප්‍රධාන කපුරාළ ගස තෝරා ගැනීමෙන් පසුව ගස වටා පිරිසුදු කොට සුවඳ දුම්
අල්වා පැන් ඉස පහන් නවයක් දල්වනු ලබයි. බුලත් කොළ නවයක් මත මල් වර්ග නවයක් තබා පුද
පූජා කිරීමෙන් පසු දේවාලයේ ගස් කපන්නා සුදුවතින් සැරසී පැමිණ නැගෙනහිර දෙසට වැටෙන
සේ ඇති අත්තක් බිමට බා ගනු ලැබේ.
අනතුරුව ඉන් දිගින් අඩි දෙකක් පමණ කැබලි හතරක් කපා ගනී. සඳුන් කිරි පැන්වලින් නහවා
මෙම අතු කැබලිවලින් පළමුවැන්න නාථ දේවාලයටත්, දෙවැන්න විෂ්ණු, දේවාලයටත්, තෙවැන්න
කතරගම දේවාලයටත්, සිව්වැන්න පත්තිනි දේවාලයටත් බෙදා දෙයි.
අනතුරුව කවි, ගාථා ගායනා කරමින් පංචතූර්ය නාද මධ්‍යයේ මෙම කප සතර මහා දේවාල වෙත
වැඩම කරවනු ලබයි.
සම්ප්‍රදායානුකූලව මෙලෙස අලුත් නුවර දේවාලයේ දේවාල භූමියෙන් කපා ගන්නා කප මහනුවරට
ගෙන ඒම ඇතෙකු මතින් පෙරහරක අසිරියෙන් සිදුකෙරේ. එහෙත් ගෙවුණු සියවසක ‘කාලය තුළ එම
චාරිත්‍රය ඉටු නොකරනු අතර විෂ්ණු දේවාලයට අභිනවයෙන් තේරි පත්වු බස්නායක නිලමේ මහේන්
රත්වත්තේ මහතා විසින් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය එම සම්ප්‍රදාය යළි ඉස්මතු කිරීමට
කටයුතු කර ඇත.
ඒ අනුව මෙවර මාවනැල්ල ගණේතැන්න අලුත්නුවර දේවාලයේ සිට මහනුවර විෂ්ණු දේවාලය තෙක් කප
වඩම්මවන්නේ ඇතෙකු පිට පෙරහරෙනි. සියවසකට පසුව සිදුකෙරෙන මෙම කප වැඩමවීමේ පෙරහර
මංගල්‍යය සුවිශේෂී වූ අභිමානයක් ගෙන එන අතර ඇසළ පෙරහර පිළිබඳව වන ජනහිතකාමී හැගීම්
වඩවඩාත් උද්දීපනය කරනු ඇත.
ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කර දෙන සුබ මුහුර්තියකට අනුව, ඒ
ඒ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. වටතිර ඇද, උඩුවියන් බැඳ දේවාලය
ඉදිරිපිට මනාව සකසන ලද ස්ථානයක කප සිටුවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි.
සුදු රෙදි කඩකින් ඔතා කුඩා වලක් තුළ ඍජුව සිටින සේ පණස වෘක්ෂ කොටස සිටුවන අතර පෙරහර
මංගල්‍යය නිමවෙන තෙක් එය එලෙසම පවතී. කප උදුරන තෙක් ඒ වටා ලෙලි පොල්ගෙඩි තුනක් තබා
පහන් දැල්වීම අදටද නොනැසී පවත්නා චාරිත්‍රයකි.
වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් මෙම කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකරනු ලබන
බව ජනප්‍රවාදයේ එයි. කප් සිටුවීමෙන් පසුව පුරා දින පහක් මෙම කප වටා දේවාභරණ
පෙරහරින් වඩමවයි. මෙය හඳුන්වන්නේ දේවාල අභ්‍යන්තර පෙරහර නමිනි.
පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසුව කුඹල්පෙරහර දින පහක්ද,
රන්දෝලි පෙරහර දින පහක්ද, වීථි සංචාරය කරයි. අවසන් රන්දෝලි මහ පෙරහරින් පසු ශ්‍රී
දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ විහාරය වෙත ගමන් ගනී. පෙරහර කරඬුව එදින ගෙඩිගේ
විහාරයේ තැන්පත් කරන අතර සතර මහා දේවාල පෙරහර දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොට
බලා ගමන් ගනී. පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් ඒ ඒ දේවාලයන්හි සිට වූ කප උගුල්වා
පෙරහරින් වැඩම කර දියකැපීම් මංගල්‍යය අවස්ථාවේ එය ජලයේ පාකර හරී . එය අල්ලාගැනීමට
ගංගාවේ පහළ විශාල පිරිසක් බලා සිටී. ජලයේ පාවී එන කප අල්ලාගෙන තම කෙත්වතුවල
සිටුවීමෙන් සශ්‍රීකත්වයත් සෞභාග්‍යයත් උදාවේය යන විශ්වාසයෙන් යුක්තව සිටින මෙම
පිරිස් අතරින් කප අල්ලාගැනීමට සමත් වු උදවිය දෙවියන්ට කැපවී සිටින්නන් බවටද මතයක්
පැවතිනි. |