හැඟීම් බුද්ධියෙන් පාලනය කර ගැනීමේ ශක්තිය
විශ්‍රාමලත් අධ්‍යාපන අධ්යක්ෂ
රත්නායක හේවාවසම්
බුදුදහමට අනුව අකුසල මූල තුනක් ලෝභය, ද්වේෂය සහ මෝහය යනුවෙන් පවතී.
මෙයින් ලෝභය සහ ද්වේෂය පිළිබඳව බොහෝ සෙයින් ධර්මානුශාසනාවලදී සාකච්ඡා
කෙරෙන නමුත් මෝහය පිළිබඳව බෞද්ධ ශ්‍රාවකයන් තුළ ඇති අවබෝධය අල්පයයි
සිතේ. මෝහය සරල බසින් විග්‍රහ කිරීමේ දී ‘මෝඩකම’ යනුවෙන් දක්වනු ලබයි.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ දැක්වෙන මෝහය ගැඹුරු අර්ථයක් ජනිත
කරවන්නකි. අප කවුරුන් තුළ වුවද අර්හත්ඵලයට පත් වනතුරු අඩු වැඩි වශයෙන්
මෝහය පවතී. අන්ධ පෘථග්ජන පුද්ගලයා තුළ මෝහය ඉතා අධිකය. කල්‍යාණ
පෘථග්ජනයා තුළ මෝහය ඊට වඩා අඩුය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, ඵලස්ථ
පුද්ගලයන් තුළ ඒ ඒ මාර්ගඵල අවබෝධයට අනුව මෝහය පවතින අතර අර්හත්ඵලයට
පත්වීමත් සමඟ මෝහ අකුසල මූලය සම්පූර්ණයෙන්ම සිඳීයයි.
අපගේ සාමාන්‍ය ජීවිතයේදී මිනිස්සු සුරාපානය කර මුදල් ද වැය කර විවිධ
රෝග සිරුරට කැන්දාගෙන අකාලයේ මියයති. තමා සතු ධනය වැය කළ යුත්තේ
අර්ථවත් කාරණයකට මිස අනර්ථය උදාකරන දෙයකට නොවේ. එමනිසා එය මෝහ මූලික
හැසිරීමකි. මනුෂ්‍යයා වනාහි බුද්ධිමත් සත්ත්වයෙකි. කෙනෙකු බුද්ධිමත්
යයි නිගමනය කළ හැක්කේ හැඟීම් බුද්ධියෙන් පාලනය කර ගැනීමේ ශක්තිය අනුවය.
බුද්ධිය පාගාගෙන හැඟීම ප්‍රබලව ඉස්මතු වූ විට ඕනෑම කෙනෙක් හැසිරෙන්නේ
මෝඩ අයුරිනි. බහින්බස්වීමකදී එය පිහියා ඇනුමක් තරමට දුර ගොස් එකකුට මිය
යාමටත් අනිකාට කරගත් මෝඩකමට පසුතැවිලිවෙමින් ජීවිතය සිරකඳවුරක ගත
කිරීමටත් සිදුවන්නේ හැඟීම බුද්ධියෙන් පාලනය කර නොගත් බැවිනි. එවැනි
ඕනෑම මෝහ භරිත හැසිරීමක නියත ප්‍රතිඵලය පශ්චාත්තාපයයි.
බුදුදහමට අනුව ගැඹුරින් සලකා බලන විට මෝහය යනුවෙන් හඳුන්වනු ලබන්නේ
අවිජ්ජා නීවරණය බව පෙනීයයි. අවිජ්ජා යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ චතුරාර්ය
සත්‍යය නොදැනීමයි. වෙනත් වචනවලින් කියතොත් නියත මිථ්‍යාදෘෂ්ටියයි.
අවිද්‍යාව හෙවත් අවිජ්ජා අන්ධකාරයක් ලෙසද හඳුන්වනු ලැබේ. විද්‍යාවේ
ආලෝකය ලබාගත් බව බුදුරදුන්ගේ ‘විජ්ජා උදපාදි’ – ‘ආලෝකෝ උදපාදි’ යන
දේශනාවෙන් පැහැදිලි වේ. මේ අවිද්‍යා අන්ධකාරය නම් මෝහයයි.
බුදුදහම ගැඹුරින් විග්‍රහ කෙරෙන ‘යථා භූත ඥාන දර්ශනය අවබෝධකොට නොගෙන
අඳුරේ අත පත ගාන්නාක් මෙන් ඒ ඒ වෙලාවට සිතෙන සිතෙන අයුරින් කටයුතු
කරන්නේ මෝහයෙනි. විටෙක අපට ලෝභ චේතනා පහළ වේ. විටෙක අපට ද්වේෂ චේතනා
පහළ වේ. ලෝභයට හා ද්වේෂයට පදනම වැටෙන්නේ මෝහය නිසාය. මෙලොව ජීවත්වන
ඕනෑම කෙනෙක් මෙය වටහාගන්නේ නම් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් සිත නොසන්සුන් වූ
විට ඉවසීමෙන් යුක්තව තම සිත කැළඹී ඇත්තේ මන්දැයි තැන්පත් නුවණින් විමසා
බැලුවොත් මෝහ මූලික සිතිවිල්ලක් පදනම් වී ඇතැයි අවබෝධ වනු නියතය. එසේ
තැන්පත් නුවණින් කල්පනා කර කටයුතු කිරීමට නොහැකිවීම අප දුකට වැටෙන
අපගේම දුර්වලකමයි. ප්‍රඥාවන්ත පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් (නුවණින්
මෙනෙහි කොට) ක්‍රියා කරයි. මෝහ භරිත පුද්ගලයන් නිරන්තරයෙන් ක්‍රියා
කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙනි. දුරදිග බලා බුද්ධිමත්ව ක්‍රියා කිරීමට
තරම් ආත්මශක්තියක් ඔවුනට නැත. එය ඔවුනගේ වරදක්ම නොව සසරේදී කරගත්
පුණ්‍යකර්මවල බෙලහීනතාවයේ ප්‍රතිඵලයයි. ප්‍රඥාවන්තව උපදින්නේ සසර ගමන
යද්දී කරගන්නා ලද පුණ්‍යකර්මවල මහත්ඵල මහානිසංස අනුවය. එසේ ඉහළම ප්‍රඥා
ශක්තියක් ඇත්තෝ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වෙති. විපටිතඤ්ඤ, නෙය්‍ය පදපරම
යනුවෙන් අනුක්‍රමයෙන් බුද්ධිඵල අඩුවන්නන් හඳුන්වනු ලැබේ. ඒ ඒ පුද්ගලයන්
එදිනෙදා ජීවිතයේ හැසිරෙන්නේ තම බුද්ධිය අනුවය. පදපරම පුද්ගලයාට යමක්
සිය වතාවක් කියා දුන්නත් තේරුම් ගත නොහැකිය. ආත්මභාවයෙන් ආත්මභාවයට
බුද්ධිය දියුණු කර ගැනීමට නම් හැකිතරම් වැඩි වැඩියෙන් පින්කම් කරමින් ද
කුසල් වඩා ගනිමින්ද ජීවත්විය යුතුවේ. එසේ බුද්ධිය ඤාණය ක්‍රම ක්‍රමයෙන්
වර්ධනය කරගත් විට සසරේ යම් දිනකදී සත්‍යය ගවේෂණය කර ලෝකය පිළිබඳ යථා
භූත ඤාණ දර්ශනය මැනවින් අවබෝධ කර සසර දුකින් මිදීමට හැකිවන්නේ ය.
බුදුදහමෙහි එන සත්‍ය යථාර්ථය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධි ඵලයක් පූර්ව
ජන්මවලදී කරන ලද පුණ්‍යකර්ම (පුබ්බේථ කත පුඤ්ඤතා) නිසා ලබා ඇති කුසල බල
ඇති ප්‍රඥාවන්තයන්ට සතර සතිපට්ඨාන භාවනාව තුළින් අප වෙළාගත් මෝහය දුරලා
යථාභූත ඤාණ දර්ශනය අවබෝධ කරගෙන බොහෝ ඉක්මණින් නිවන් මඟට පා තබා ගත හැකි
වේ.
ධර්ම ශ්‍රවණය හා දහම් පොත පත කියවීමෙන් ලබන සුත ඤාණය පාදකකොටගෙන එය තම
ජීවිතයට අදාළ කර ගනිමින් චින්තාමය ඤාණය උපදවාගෙන ප්‍රත්‍යක්ෂ ඤාණයෙන්
ශ්‍රී සද්ධර්මය ඊට ගළපාගෙන බලනවිට තථාගතයන් වහන්සේගේ උත්තම දේශනාවක් වන
ත්‍රිලක්ෂණය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) ලෝකය පුරා පැතිරී පවතින ආකාරය
විදර්ශනා ඤාණය තුළින් දැකිය හැකි ය. එසේ බලද්දී අප අනිත්‍ය වූ දේවල්
නිත්‍ය ලෙසත්, දුකටම හේතුවන නිස්සාර වූ දේවල් සැප ලබාදෙන දේවල් ලෙසත්,
අපට කිසිසේත් හැසිරවීමට නොහැකි දේවල් ආත්මීය ලෙසත් අප පිළිගන්නා බව
පෙනී යනවා ඇත. හොඳින් කල්පනා කර බලන්න.
පවුල් සංස්ථාව තුළ සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු වන්නේ වයසින් වැඩි
දෙමාපියන් අන් පවුලේ සාමාජිකයන්ට පෙර මිය යන බවයි. එහෙත් දෙමාපියන්
වයෝවෘද්ධව සිටියදී ළාබාල දරුවන් මිය ගිය විට දෙමාපියන් මහත් සේ දුකට
පත්වන්නේ අනිත්‍ය සංකල්පය පිළිබඳ ඇති අවබෝධයේ අඩුව නිසාය. ඕනෑම කෙනෙකු
ඕනෑම මොහොතක මිය යා හැකිය. දෙමාපියන් ජීවත්ව සිටියදී දරුවකු මිය ගිය බව
හඟවන්නේ පසුවී අවසන් ගමන යාමට සිටි කෙනෙකු බලාපොරොත්තු වූවාට පෙර සිය
අවසන් ගමන ගිය බවයි. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පමණක් නොව කිසිදු සංඛත
වස්තුවක නැති නිත්‍ය ස්වභාවය අපට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ නොවීම නිසා
අපේක්ෂා භංගත්වයේ පීඩාව දුකක් ලෙස අප වෙත පැමිණෙයි. කෙනෙකුගේ මරණය ඒ
පුද්ගලයාගේ පි‍්‍රය මනාප භාවය අනුවත් ඊට අමතරව ලැබෙන ලාභ ප්‍රයෝජන
අනුවත් වෙනස් වෙයි.
ඒ අනුව අතිශය පි‍්‍රය මනාප වුවද පුද්ගලයකුගේ මරණයකදී විලාප නඟමින්
වැළපීම මෝහ මූලික ක්‍රියාවකි. කෙනෙක් කෙතරම් වැළපුණද මියගිය තැනැත්තාට
ප්‍රාණය නැවත නොලැබේ. මළකඳ දර කොටයක් වැනිය. මියගිය තැනැත්තා හෝ වැළපෙන
තැනැත්තා ඒ වැළපීම හේතුකොටගෙන සුගතියකට යන්නේද නැත. මරණය වනාහි
ස්වාභාවික සිද්ධියක් බවත් එය අප කාටත් උරුමවූ බවත් අප කවුරුත් දන්නා
නමුත් එය ගැඹුරු ලෙස අවබෝධ ඤාණයෙහි තබාගත හැක්කේ මෝහය දුරු කළ පමණටය.
ත්‍රිලක්ෂණය මෙනෙහි කර විඤ්ඤාණයෙහි එය පදිංචි කරගත් තරමටය. අශ්‍රැතවත්
පෘථග්ජනයාට තමා මෝහ භරිතව සිටිද්දී තමා මෝහයෙන් හැසිරෙන බව අවබෝධ කරගත
නොහැකිවීම මහත් අවාසනාවකි.
අප සසරෙහි බැඳ තබන රැහැන් පටවල් දහයක් පවතී. ඒවා දස සංයෝජන ලෙස
හැඳින්වේ. මේවායින් මුලටම එන්නේ ‘සක්ඛාය දිට්ඨියයි’. වෙනත් වචනවලින්
කියතොත් අස්මි මානය හෝ ආත්ම දෘෂ්ටියයි. ‘මමය’ ‘මාගේය’, ‘මගේ ආත්මයය’ යන
මමායනයට පදනම වැටෙන්නේ සක්ඛාය දිට්ඨියෙනි. එහෙත් සක්ඛාය දිට්ඨිය යනු
මමය මාගේය යන හැඟීම නොවේ. වචනයේ නිරුක්තිය අනුව බැලුවද සත් + කාය +
දිට්ඨිය නම් කය දෙස බලා එය නිත්‍යය - සුභය - සුවදායකය අපට උවමනා ලෙස
හැසිරවිය හැකිය යන මෝහ මූලික දිට්ඨියක් ඇති කර ගැනීමයි. මගේ කයද ඇතුළුව
ඕනෑම කෙනෙකුගේ කයක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන්
සැදුම්ලත් බවත් කිසිදු කයක නිත්‍යභාවයක්, සුබ ලක්ෂණයක්, සුවදායක බවක්
හෝ අනාත්මබවක් නොමැතියයිද එසේම දුගඳ හමන පිළිකුල්සහගත කුණප තිස්
දෙකකින් යුක්ත බවත් නිසි ලෙස අවබෝධ කර ගැනීමට නම් සතර සතිපට්ඨාන
භාවනාවේ කායානුපස්සනා භාවනාවට යොමුවිය යුතු ය. මෙසේ කායානුපස්සනා
විදර්ශනාව තුළින් ශරීරය පිළිබඳ සත්‍ය යථාර්ථය දැක අවබෝධ ඤාණය ලබාගන්නා
පුද්ගලයා ඒ අවබෝධයෙන් පරිණත වූ විට සක්ඛායදිට්ඨිය බැහැරකොට නිවන් මඟට
ළං වෙයි. සෝවාන් ඵලයට පත්වීම යනු නිර්වාණ මාර්ගයට ප්‍රවිශ්ෂට වීමයි.
සෝවාන් ඵලයට පත්වීමට මහත්ම බාධකය සක්ඛායදිට්ඨියයි. සක්ඛායදිට්ඨිය
ප්‍රබලම මෝහයකි.
අනිත්‍ය වූද දුකට මුල්වන්නාවූද අනාත්මවූද පංච උපාදානස්කන්ධයක් කෙරෙහි
ලොල්වන පුහුදුන් පුද්ගලයා එම පංච උපාදානස්කන්ධය තමාට අයිතිකර ගැනීමට
නොහැකි වූ විට ඒ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කර ඊළඟ භවයේ එය හිමි කර
ගැනීමට ප්‍රාර්ථනා කිරීම කෙතරම් භයානක මෝහ සිතිවිල්ලක් දැයි කල්පනා කර
බලන්න. වස බී එකට මියයාමට ශපථ කරගන්නා ප්‍රේමවන්ත තරුණ තරුණියන් ගැන
අපට අසන්ට ලැබෙන්නේ මෝහයේ උච්ඡතම ස්ථානයට ඔවුන් ගමන් කර ඇති බව
ප්‍රත්‍යක්ෂ කරවමිනි. අපගේ මෝහ භරිත සිතිවිලි එදිනෙදා ජීවිතයට අයහපත්
අයුරින් බලපාන අයුරු වෙනම සාකච්ඡා කරමු.
|