ඉල් අමාවක 2015.12.10
කාරුණික සිත
ශාන්ති නායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මහා
ආශ්චර්යය, උන්වහන්සේගේ ඒ මහා කරුණාව මෙලොව වෙනත් කිසිවකුට සමකළ
හෝ නොහැකිය. වෙනත් කිසිවකුගේ කරුණාවකට උපමා කළ හැකිද නොවේ.
බුදුරජාණන් වහන්සේ පාරමී දම් පිරූ බෝසත් අවධියේ සිටම ඒ කරුණා
ගුණයට යොමු වූ සේක. උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය
ධර්මය දෙවි මිනිසුන්ගේ සැපත පිණිසම දේශනා කර වදාළේ මහා
කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. දෙසැටක් මිසදිටුු පැවැති සමයෙක
වුවද භාරතය පුරා ඉතා ශීඝ්‍රයෙන් සම්බුදුදහම පැතිරගියේ
බුදුපියාණන් වහන්සේ තුළ පැවැති අපමණ වූ මහා කරුණාව නිසාමය.
උගත්,නූගත් ,දුප්පත් ,පොහොසත් ආදී කිසිදු භේදයකින් තොරව
බුදුපියාණන් වහන්සේ සොයා ආ හැමට නිවන් මඟ හෙළි පෙහෙළි කළ සේක.
හිමිදිරි උදෑසන බුදු නුවණින් ලොව බලා වදාරන බුදුපියාණන් වහන්සේ
තමන් වහන්සේගෙන් අද පිහිටක්, පිළිසරණක් ලැබිය යුත්තේ
කවුරුන්දැයි විමසා බැලීම සිරිතක්ව පැවතිණි. ඒ කරුණාව නිසාම
අසරණ අහිංසකයනට පවා උන්වහන්සේ නිරන්තරයෙන් පිහිට වූ සේක. ඒ
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් දින චර්යාව පිළිබඳ
විමසා බැලීමේදී ජීවමානව වැඩ සිටි පන්සාලිස් වර්ෂය පුරාම
උන්වහන්සේ දුකට පත් වූවන් සැපවත් කරන්නට මහා කරුණාවෙන්ම පිහිට
වූ බව සිහියට නඟා ගැනීම අපහසු නොවේ. එය හැම හිතකටම මහා
සැනසිල්ලක් උදා කරවයි.
ඒ සම්බුදු දහම් මග අනුව යන බෞද්ධයාද බුදුරජාණන් වහන්සේගේ මහා
කරුණා ගුණය ආදර්ශයට ගනිමින් කාරුණිකව පිහිටවීම ජීවිතයේ
පුරුදුතාවයක් බවට පත් කර ගෙන ඇත. දුකට පත්වූ අයෙක් වෙත, විපතකට
මුහුණපෑමට යන අයෙක් වෙත පිහිටවීමට උපකාර කිරීමට අපට මඟ පෙන්වන
ලද්දේ තථාගත බුදුපියාණන් වහන්සේ විසිනි. දුගී මගී යාචකාදීන් මහ
මඟ ගමන් කරන විට ඔවුන්ට ශක්ති පමණින් උපකාර කරනුයේ කාරුණිකත්වය
නිසාය.බස් රියේදි හෝ දුම්රියේදී හෝ මඟ තොටකදී වුවද තමා වෙත
පැමිණෙන අසරණයා වෙනුවෙන් පිහිට වනුයේ කරුණාව පෙරදැරි කර ගෙනමය.
ඇතැම් විට දුකට පත්වූවෙකුට පිහිට වී හැකිතාක් උපකාර කර ඒ ගැන
නිරතුරුව සතුටට පත්වේ. මිල මුදල් කොතරම් තමා ළඟ පැවැතියද මිල
මුදල් තිබු පමණින් සතුටු විය හැකි නොවේ. ඒ මිල මුදල් ප්‍රයෝජනය
සඳහා යෙදවීමෙන් අපමණ මානසික සතුටක් ලබා ගත හැකිවේ.
කාරුණික බව හැම දෙනාටම ළඟා කරගත නොහැකිය. එමෙන්ම පුරුදු කර ගත
ද නොහැකිය. ඒ සඳහා මහත් කැපවීමක් අවශ්‍යය. එවිට එය සංසාර ගත
පුරුද්දක් වනු ඇත. ඇතැම් විට කවරෙක් හෝ නොසිතූ මොහොතක ස්වභාවික
විපත් අනතුරු පැමිණීමෙන් උන්හිටි තැන් පමණක් නොව ඇඳිවත පවා
අහිමි වන අවස්ථා පැමිණේ. එබඳු මොහොතක ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී
දුකට පත් වූවන්ට පිහිටවීමට පුරුද්දක් කරගෙන තිබීමද මහත්
සතුටකි.අසරණ රෝගියකු සුවපත්කිරීමේ අරමුණින් තම ශරීරයේ ලේ
දන්දීමට පවා බොහෝ දෙනා ඉදිරිපත් වනුයේ පරිත්‍යාගශීලි චේතනාවත්
හදවතේ පහළ වන කරුණාවත් හේතුවෙනි. එපමණක් නොව රෝගාබාධ ඇතිවීම
නිසාම ඇතැම් රෝගියකු නිරෝගීමත් කිරීමට වකුගඩු ආදි ශරීර අවයව
අවශ්‍ය වූ විට පවා තමා දන්නා නොහඳුන අය වෙත වුවද එසේ ශරීරාවයව
පිරිනැමීමට ඉදිරිපත් වනුයේ පරිත්‍යාගයෙන් හා කරුණාවෙනි. එහෙත්
ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින එබඳු රෝගීන් කිසිවිටකවත්
අපහසුවට පත් නොකිරීමටද එබදු පරිත්‍යාගශීලින් කටයුතු කළ යුතු
වේ.
තමා සතු යමක් අන්‍යයන්ටදීම නොව එසේ පිරිනැමීමට සිතිවිල්ලක් පහළ
වීම පවා අගය කළ යුත්තේ ඒ තුළ පවතින කරුණාභරිත චේතනාව නිසාය.
මනුෂ්‍යයකු ලෙස උපත ලබා ජීවිතය ගත කරන කෙටිකාලය තුළ ජීවත්වීම
මෙන්ම මිනිසත්බව සාර්ථක කර ගැනීමට උනන්දු විය යුත්තේ ජීවිතය
අස්ථිර හෙයිනි. එහෙත් එමඟින් ස්ථිර යමක් කර ගැනීමට නම් කරුණාව
නොපමාව වර්ධනය කර ගත යුතුය. තමන්ට නිරන්තරයෙන් සතුටුවිය හැකි
අයුරින් ජීවිතය ගොඩ නඟා ගැනීමට පියවර ගත යුත්තේ තමා විසින්ම බව
අමතක නොකළ යුතු වේ. |