UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේඛියා ධර්මයෙන් ඉගැන්වෙන සංරක්ෂණ ශීලීත්වය හා පුද්ගල ශික්ෂණය

සේඛියා ධර්මයෙන් ඉගැන්වෙන සංරක්ෂණ ශීලීත්වය හා පුද්ගල ශික්ෂණය

භික්ෂුව විසින් හික්මිය යුතු ශික්ෂාවන් 227 අතර සේඛියා 75 කි. තම ඇවතුම් පැවතුම් කෙසේ සකස් විය යුතුද? තම පැවැත්ම තුළ මිනිසාට මෙන්ම ස්වභාව දහමට හානි නොවන අයුරින් කටයුතු කරන්නේ කෙසේද? යන්න අවධාරණය කෙරෙන ප්‍රඥප්ති සමූහය සේඛියා නම් වේ. භික්ෂුව උදෙසා සිදු කළ පැනවීමක් වුවද මෙය සමස්ත සමාජය අරභයා යොදාගත හැකි සාධනීය ඉගැන්වීමකි. මෙහිදී පැතිකඩ කිහිපයක සංවර්ධනයක් අපේක්ෂා කෙරේ.

1. පුද්ගල සංවරය
2. සමාජීය සංවරය
3. පරිසර දූෂණය
4. පුද්ගල අරමුණු
5. අරපිරිමැස්ම
6. සහයෝගිතාව
7. කළයුතු නොකළයුතු දෑ
8. පරිසර සංරක්ෂණය

ඉහත සඳහන් කාරණයන් සම්බන්ධයෙන් සේඛියාවන් හී අවධානය යොමුවී ඇත. පුද්ගල සංවර්ධනයෙන් තොර සමාජ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක. එහිදී විශේෂයෙන්ම සංකල්පීය වෙනස්කම් අවස්ථාවෝචිත ක්‍රියාකාරකම්, දියුණු චින්තනයක් අත්‍යවශ්‍යය. මෙයින් තොරව කිසිදු ක්ෂේත්‍රයක දියුණුවක් අපේක්ෂා කළ නොහැක. මානසික පොහොසත්කම් දියුණුවීම තුළින් ආර්ථික සමාජීය සංස්කෘතික දියුණුව සලසාගත හැකිය. පුද්ගල සංවර්ධනය යන අරමුණ සාධනයෙහිලා උදාහරණ ලෙස පහත සේඛිය ධර්ම සඳහන් කළ හැකි ය.

1. හාත්පසින් වටකොට අඳනය ඇදීම. (විළි වැසෙන සේ අවශ්‍යතාවයේ සීමාව හඳුනාගෙන ඇඳුම් භාවිතා කිරීම)
2. සුපිළිසන්ව ඇතුල්ගමෙහි හැසිරීම. (විනයෙන් ශික්ෂණයෙන් යුතුව සමාජයෙහි හැසිරීම)
3. මහ හඬින් සිනාසෙමින් ඇතුල් ගමෙහි නොහැසිරීම. (කය වචනය දෙකේ සංවරය සහ විනයවත්ව හැඟීම් පිට කිරීම)
4. උකුළෙහි අත තබා ඇතුල්ගම ඇවිදීමෙන් වැළකීම. (කඩිසරශීලීව කම්මැළි බවින් මිදී ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම)

මෙම සේඛියා ධර්ම තුළ සමාජීය දියුණුව නිරායාසයෙන්ම ඇතිවේ. සෑම පුද්ගල ක්‍රියාවක්ම සමස්ත සමාජය පුරාවටම අඩුවැඩි වශයෙන් හේතු වන බව නොරහසකි. පුද්ගලයා පසුගාමීවීම සමාජීය පසුබෑමකට හේතුවේ.

විවිධ හේතු කාරණාවන්ගේ බලපෑම මත පරිසරය දූෂණය වීම හෙවත් පරිසර අවභාවිතයට ලක්විය හැකි ය. එය සමස්ත ජීව අජීව පරිසරයේ අයහපත සඳහා මිස කිසිසේත් යහපත සඳහා හේතු නොවේ. එක් පුංචි සිදුවීමක් මහාදාමයක් බවට පත්වීම සාමාන්‍යය. එක් ගසකින් ගිනිකූරු මිලියනයක් හෝ ඊට වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි වන්නා සේම එක් ගිනිකූරකින් එවන් ගස් මිලියනයක් හෝ වැඩි ප්‍රමාණයක් විනාශ කළ හැකි ය. පුංචි අතපසුවීමක් නොසැලකිල්ලක් මහාපරිමාණ ව්‍යසනයකට දොරගුළු විවර විය හැක. පුද්ගලයා ස්වභාවදහමට හානි පමුණුවන්නේ අලසකම හා ආත්මාර්ථකාමීත්වය නිසාවෙනි. මෙය දුරුකිරීම විෂයෙහි පනවන ලද සේඛියා ධර්ම අතර පහත උදාහරණ කිහිපය වැදගත් වේ.

1. බත්හුළු සහිත පාත්‍රය සේදූ ජලය ගෙයි නොදැමීම ( අපිළිවෙළකට ඉඳුල් සෑම තැනම නොදැමීම එය නිසි පරිදි බැහැර කිරීම)
2. තමා නොගිලන්ව නිල්තණ බිමක මළ මුත්‍රා නොකිරීම (මළ මුත්‍රා බැහැර කිරීමේ දී එය පරිසර දූෂණය නොවෙනසේ සිදු කිරීම)
3. නොගිලන්ව ජලයේ මළ මුත්‍ර බැහැර නොකිරීම (ජලය දූෂණය වන අයුරින් ශරීර කෘත්‍යයන් කිරීමෙන් ඉවත්වීම)

ජලය හා ස්වභාවික පරිසරය යම් විටෙක අපවිත්‍ර වන්නේ නම් ඒ තුළින් සමස්ත ජන ජීවිතයටම සෘජු හෝ වක්‍ර බලපෑම් සිදුවිය හැකි ය. තම ක්‍රියාවන් ස්වභාවික සංසිද්ධි සමඟ නොගැටෙන්නේ නම් පරිසරය මිනිසා සමඟ නොගැටේ. සෘතු විපර්යාස සිදුවන්නේත් නිසිකලට වැසි නොලැබෙන්නේත් ඒ තුළ ආර්ථික සමාජීය දුෂ්කරතා නිර්මාණය වන්නේත් ස්වභාව දහමට හානි පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙසය.

පුද්ගලයකු ලෙස හෝ සංස්ථාවක් ලෙසද පොදුවේ සමාජයක් ලෙස ගතහොත් අරපිරිමැස්ම හා සංරක්ෂණ ශීලීත්වය අත්‍යවශ්‍යය. එසේ නොමැති වූ තැන ඇතිවන්නේ ශක්තිය වස්තුව අපතේ යාමකි. ඒ තුළින් කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව හානි පැමිණේ. සේඛියා ධර්ම තුළ මෙයට විසඳුමක් ලෙස පැනවීම් රාශියක් ඉදිරිපත් කර ඇත. එය සංඝ සමාජයේ දියුණුව පිණිස ඉදිරිපත් කර තිබුණද පොදුවේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව යොදාගත හැකි අකාලික ප්‍රඥප්ති සමූහයකි. ලෝභකම හා අරපිරිමැස්ම අතර ලොකු වෙනසක් දැකිය හැකිය. ලෝභකම යනු යමක් තිබියදී අවශ්‍ය දෙයට වුවද වැය නොකිරීමයි. අරපිරිමැස්ම යනු අවශ්‍ය ප්‍රමාණයට වැයකර අනාගතටද ඉතිරියක් කිරීමයි. මෙයින් ලෝභකම බුදුදහම ප්‍රතික්ෂේප කරන අතර අරපිරිමැස්ම අගය කරන අතරම එය පින්කමක් ලෙස අවධාරණය කරයි. විශේෂයෙන්ම පොදු දේපළ මෙහිදී වඩා රැකිය යුතු කොටසකි. ඒ තුළින් ගම්‍ය වන්නේ පරාර්ථකාමී බව ඉතා අගනා බවයි. තමන් ගන්නා ආහාරයේ සිට එදිනෙදා ජීවිතයේ දී පාරිභෝජනය කරන පාරිභෝගිකයන් සියල්ලටම මෙය අනුකූල වේ. බීමට ගන්නා ජලය ටිකක් අපතේ හරින්නේ ද එය බරපතළ පවකි. අප ගන්නා බත් ඇටයක් හෝ නිකරුණේ විසි කිරීම අපරාධයකි. ඒ මන්දයත් එම බත් ඇටය පිඟානට එනතුරු බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් ශ්‍රමය ධනය වැයකොට ඇති බැවිනි.

කිසිවෙකුට තමන්ට අවශ්‍ය පරිදි ජීවත්විය නොහැක. එනම් සෑම ඵලයක්ම අන්‍යෝන්‍ය සම්බන්ධය සහයෝගීතාවෙන් තොර ප්‍රතිඵල නැත. හෑම ක්‍රියාවක්ම තවත් ක්‍රියාවක් සමඟ අනිවාර්යෙන්ම බද්ධ වී ඇත. අරපිරිමැස්ම හා සහයෝගී ජීවිත පැවැත්මක් නිර්මාණය කර ගැනීම සඳහා පහත දැක්වෙන සේඛිය පැනවීම් ඉතා යෝග්‍ය වේ.

1. බතේ මුදුනෙන් අනා පිඬු නොවළඳමි යී හික්මීම (ආහාර අනුභවයේ දී පිළිවෙළකට කොනින් කොන අනුභව කිරීම)
2. බතට සුදුසු ව්‍යඤ්ජන ගැනීම ( ආහාර රටාවේ දී ගැළපෙන ලෙස ව්‍යඤ්ජන යොදා ගැනීම)
3. ගරහනු කැමතිව අනෙකාගේ පාත්‍රය දෙස නොබැලීම. (ආහාර ගැනීමේ දී හෝ යමක් පරිභෝග කිරීමේ දී උපහාසයෙන් ඒ දෙස නොබැලීම)
4. බත් පිඬු මුවට විසිකරමින් නොවැළඳීම (අපතේ යන ලෙස ආහාර අනුභවය)

ඉහත සියලු පැනවීම් තුළින් කියවෙන ප්‍රධානතම හරය වනුයේ අරපිරිමැස්ම හා සුරක්ෂිතතාවයි. අවශ්‍යතාවයේ සීමාව හා පාරිභෝජනය පිළිබඳ සිහිය පිහිටුවීම අපතේයාම වළකාලිය හැකි සාධනීයම විසඳුමයි. අවශ්‍යතාවය මත මිස තරඟකාරීත්වය තුළ මිනිසා ගේ පරිභෝග රටාව හැඩනොගැසිය යුතු බව මෙම පැනවීම තුළින් පැහැදිලිවේ. අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ලැබීම සෑම දියුණු සමාජයකම අභිලාෂය වේ. කෙතරම් කාර්යක්ෂම වුවද එය ඵලදායි නොවේ නම් එම ක්‍රියාව සාර්ථක යැයි අනුමත කළ නොහැකිය. කාර්යක්ෂමතාවය වටිනුයේ ඵලදායි නම් පමණි. මෙහිදී බුදුරදුන් අවධාරණය කරනුයේ එම තත්ත්වයයි.

අන්‍යය සත්වයන්ට වඩා මිනිසා ශ්‍රේෂ්ඨ වන්නේ සරු නිසරු කළයුතු නොකළයුතු දෑ සම්බන්ධයෙන් පවතින අවධිකම මතයි. එය එසේ නොවන්නේ නම් මිනිසාට වටිනාකමක් නැත.

ස්වභාවයෙන් පාරම්පරිකව පවතින ඇතැම් පුරුදු නුසුදුසුකම් වෙනුවට යහපත් දේ එකතු කර ගැනීමට දෙවරක් නොසිතිය යුතු ය. සේඛියා තුළ එවැනි පැනවීම් රාශියක් හඳුනාගත හැකිය. එය භික්ෂුවට පමණක් නොව සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට ඕනෑම සංස්ථාවකට ආරෝපණය කරගත හැක. විශේෂයෙන් ශබ්ද නගා ආහාර අනුභවය, පිඟාන අත ලෙවකෑම, ඉඳුල්සහිත අතින් පැන් භාජන ඇල්ලීම කෑම ගැනීමෙන් පසු අතගසාදැමීම වැනි ක්‍රියා සේඛියා තුළින් තහනම් කොට ඇත්තේ එය යහපත් පුරවැසියන් ඇතිකිරීමට බාධා බැවිනි.

විශේෂයෙන්ම මෙම සේඛියා ධර්ම සියල්ල තුළින්ම පැහැදිළිවන මූලිකම කාරණය වන්නේ පුද්ගලයා හා සමස්ත පරිසරයම සංරක්ෂණ කොට යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමයි. ඒ තුළ සමස්ත ක්‍රියාවලියම වඩා සාධනීය ලෙස පවත්වාගත හැක. ලෝක ස්වභාවය නිවන පිළිබඳ අවබෝධය යනු මේ පඤ්චස්කන්දය පිළිබඳ අවබෝධයයි. එසේ අවබෝධය ලබන තැනැත්තා සමස්තයම පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගනු ලබයි.

ඒ තුළ ආත්මාර්ථකාමී නොවී අසාහිකව කටයුතු කරයි. එය ජීව පරිසරයට පමණක් නොව අජීව පරිසරයටද පොදුවෙයි. එය පිනක් මෙන්ම කුසලයකි. කුසලය යනු හැකියාවයි. එය නිවන සඳහා අත්‍යවශ්‍යය. හැකියාව හෙවත් කුසලයක් නැත්තෙකුගෙන් ශික්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි අතර සංරක්ෂණශීලීත්වයක් අපේක්ෂා කළ නොහැක. එබැවින් සේඛියා ධර්ම ඒ සඳහා මහඟු පිටිවහලක් සපයනු ඇත.

"බුදුදහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම" ලිපි මාලාවේ පස්වන ලිපිය මෙසේ පළවේ.

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]