ඔබේ සෙවණැල්ල ඔබ අමතක කැර ගියත් අම්මා ඔබ අතැර කිසිවිටකත්
නොයන්නීය....
අපේ පවුලේ සියලු වැඩ ඉටුකළේ අම්මා
-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන
අනු නා හිමි
උපාලි සමරසිංහ
මෙලොව අති සුන්දරම වස්තුව අම්මාය. ඇයගේ කඳුළ දහදිය සුසුම හැමදාමත් ලොව
එළිය කරයි. තොටිල්ල නළවන අත ලොවක් පාලනය කරයි. යනුවෙන් වරක් රණශූර
නැපෝලියන් ද කීවේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන
අනු නාහිමියෝ කාටවත් නොකී රහස් රැසක් අව්‍යාජව මෙහිදී අනාවරණය කරති.
“මගේ මව පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා. පියාගේ නම ඕමන්තගේ පෝල්
පෙරේරාය. පියාගේ ගම වුණෙත් මේ බෙල්ලන්විලමයි. විදුලිබල දෙපාර්තමේන්තුවේ
ලිපිකරුවෙක් විදියටයි එතුමා රැකියාව කළේ. මගේ මවගේ පවුලේ ගැහැනු
ළමයින්ම තුන්දෙනෙක්. අම්මා තමයි බඩපිස්සී. ඒ නිසා ලොකු දරුවන් දෙන්නා
විවාහ වෙලා වෙනත් ප්‍රදේශවලට පදිංචියට ගියාම මව්පියො එකහඬින්ම කියා
තිබෙන්නෙ අම්මගෙ ගමේ බණ්ඩාරගම වීදාගම බින්න බහින්න කැමති කෙනෙකුට පමණක්
දුව කසාද බන්දන බවයි. මේ නිසා පියාට බෙල්ලන්විල අතහැර වීදාගම බින්න
බහින්න සිදුවුණා. අපේ පවුලෙ හිටියෙ පිරිමි දරුවන්ම හයදෙනෙක්. ගැහැනු
දරුවන් දෙදෙනෙක් පුංචිම කාලේ මිය ගිහින්. අම්මා පිළිබඳ මුල්ම මතකය මට
එන්නෙ මට කොට කලිසමක් අන්දවලා ඇය මා පාසල් රැගෙන ගිය කාලයයි.අම්මගෙ
මහගෙදර වීදාගම. ගෙවල් ළඟම වෑවිට ස්කෝලෙ නමින් තිබුණු පුංචි පාසලට මාස
කීපයක් මේ විදියට ගියා. අම්මගෙ තාත්තා ගමේ ආරච්චි. වැඩට උදවුවට
මිනිසුන් ඉන්නවා. ඒ වත්තේ පොල් ,රබර් හා වෙනත් වැවිලි භෝග තිබුණා. පියා
උදේ අරුණට පෙර නැඟිටලා රස්සාවට කොළඹ යන්ඩ ඕනෑ. ඊළඟට එතුමා ආයෙත් ගෙදර
එන්නෙ රෑවෙලා. ඒ නිසා අප වැඩි වේලාවක් ඉන්නෙ අම්මා එක්කයි. ඇය අපේ
වැඩපළ අකුරට ඉටුකරනවා වගේම වත්තේ පිටියේ වැඩ සේවකයන් ලවා කරවනවා.
මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් මේ කොයිකටත් ඇය හරි දක්ෂයි. අලුත්
අවුරුද්දට විතරක් නොවෙයි. සති අන්තයට රසකැවිල්ලක් හදලා අපට කවලා ඇය
ලබන්නෙ පුදුම සතුටක්. කොච්චර උදවුවට කට්ටිය හිටියත් අපේ වැඩ තාත්තගෙ
වැඩ අම්මා අතින් ඉටුකරන්නට ඇය හරි කැමතියි.
1950 විතර වෙනකොට ආච්චියි. සීයයි දෙන්නම නැතිවෙලා. පියා බෙල්ලන්විල
තමන්ගෙ ගමට මවත් පවුලේ සියලු දෙනා සමඟ එන්න තීරණය කරනවා. දැන් තාත්තටත්
කොළඹ ගිහින් ඉක්මනට ගෙදර එන්නත් පුළුවන්. බෙල්ලන්විල පියාගෙ මහගෙදර
ඉදිරිපිට කුලී ගෙදරකට තමයි අප ආවෙ. බෙල්ලන්විල පන්සලේ නායක හාමුදුරුවො
සෝමරතන නායක හාමුදුරුවෝ අපේ බාප්පා, පියාගෙ සහෝදරයෙක්.
උන්වහන්සේගෙත් උදව් උපකාර ඇතිව අම්මා ලොකු අයියව සාන්ත තෝමස්
විද්‍යාලයට ඇතුළු කළා. පොඩි අයියා, දෙහිවල ක්‍රිස්තුදේව විද්‍යාලයට
ගියා. මා ඇතුළු අනෙක් සියලු දෙනාම ගියේ ගමේ ස්කෝලෙට. ශී‍්‍ර විජයරාජ
විද්‍යාලයට දැන් ඒ පාසල නෑ. පොල්අතුසෙවිලි කළ ශාලාවක් විතරයි අපට
තිබුණේ. බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවො නමින් මට වැඩිමල් අයියා පැවිදි
වුණා. ලොකු හාමුදුුරුවන්ට අපේ තිබුණෙ විශාල ගෞරවයක්. හරියටම ඒ අයියා
පැවිදි බිමට ඇතුළු කරන කොටම අම්මට තවත් දරුවෙක් ලැබෙන්න ඇවිත්. ඒ අපේ
බාලම මල්ලි. බුද්ධාගමේ තිබෙන මාපියෝ “පුබ්බාචරිය’ නමින් හඳුන්වන ගුණය
අපේ අම්මාට නම් හොඳටම තිබුණා. තාත්තා ටිකක් දැඩි ගති තිබෙන කෙනෙක්.
තාත්තාට වඩා අප අම්මාට සමීපයි.අම්මට ලොකු අධ්‍යාපනයක් නොතිබුණාට ඇය
ප්‍රායෝගික දැනුමෙන් ඉහළම කාන්තාවක්. ජීවත්වීමේ ප්‍රායෝගික දැනුම මං
හුඟක් ලබාගත්තෙ ඇයගෙන්.
තේ වතුර උණුවෙන් බොන්න එපා කියලා ඇය අපට ඉගැන්නුවා. අම්මා කියන හැමදේටම
කතාවකුත් ඇය කියනවා.
සමහර විට මේවා ඇත්ත වෙන්න පුළුවන්. නැත්නම්’ කල්පිත වෙන්නත් පුළුවන්.
උණු උණුවෙ තේ එකක් බීලා ගිහින් මනුස්සයෙක් මගදි උගුරේ අමාරුවක් හැදිලා
මැරිලා වැටුණ කියලා ඇය අපට කීවා. හුඟාක් උණුවෙන් තේ බීම දත්වලට
විදුරුමසට හානිදායකයි කියලා ඇය පිළිගන්නවා. අදත් තේ එකක් බොන්න ගියාම
තරමක් නිවෙන්න තියලයි මා බොන්නෙ. පිරිසුදුකම, අවංකකම, සත්‍යවාදී වෙන්න
බොරු නොකියන්න උගන්වන්න ඇය අපට කතා කියනවා. අපත් මේවා ඉහළින්ම
පිළිගන්නවා. අවසාන විග්‍රහයේදී මේවා අපේ ජීවිතයට ඉතා යහපත් පුරුදු බවට
පත්වෙනවා. සමහර ඒවා මිථ්‍යාවන් වගේ පෙනුණාට එහි සමාජමය වැදගත්කමක්
නැතිවා නොවේ.ලුණු කවරදාවත් විසිකරන්න එපා කියලා ඈය කීවා. එහෙම කළහොත්
දුප්පත් වෙනවාලු. අපිත් ඒවා ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. අම්මගෙ පියාගෙ
ගෙදරදි වගේ අපේ වැඩට උදවුවට මෙහෙ වැඩිය අය නෑ. සිසිලින් නෝනා කියලා
කෙනෙක් නම් හිටියා. ඇය මෑණියන්ට ඉතා ළෙන්ගතුව කටයුතු කළා.
අම්මා ලෝභකමට විරුද්ධයි. ඒත් අරපරෙස්සම ට කැමතියි. තාත්තා රාජකාරියට
යනකොට ඔහුට අවශ්‍ය බත්මුල, වතුර බෝතලය සූට්කේසයට දාලා සියල්ල නිමකරලා
ඇය අපේ වැඩත් කරදෙනවා. හරිම අනලස් කාන්තාවක්. අපට කිරි බොන්නම පියාට
කියලා අම්මා එළදෙනෙක් ගත්තා. ඒ කිරි දොවලා උණුකරලා අපට පොවන්නෙ
පිරිසුදුකම සෞඛ්‍ය ගැන හිතලයි. තේ බොන වෙලාවට දරුවන්ට දෙන්න ඇය දෙල්,
කොස් එකතු කරලා වේලලා බැදලා රසකැවිල්ලක් හදනවා. කිරිටොෆි, තැටිකේක් මේ
වාත් ඇය හදන්නෙ අප කඩචෝරු ඉල්ලන එක වළක්වන්නයි. මැහුමක් ගෙතුමක් උනත්
ඒවා සියල්ලම ඉටුවෙන්නෙ ඇගේ අතින්. ගෙදර අන්තිමට නින්දට යන්නෙ අම්මා.
උදේම අවදිවෙන්නෙත් අම්මා. 1953 දී තාත්තා නැතිවුණා. එතකොට අම්මට
අවුරුදු 43 ක් විතර ඇති.ඇය තවත් දිරිය කාන්තාවක් වුණේ ඉන්පස්සෙ.
තාත්තගෙ විශ්‍රාම වැටුප රුපියල් 65 ක් ඇයට ලැබුණා. වීදාගම අම්මගෙ
ඉඩම්වලින් යම් යම් බෝග විකුණලා සුළු ආදායමක් ගත්තා.
සසුනට පිදු දරුවන් දෙදෙනා |
අම්මා මේවා වියදම් කරමින් අපට නිතර කීවේ “ඉගෙනගනිල්ලා” කියලයි. අපට
යන්න සිද්ධ වුණා කුලී ගෙදරින්. ඒ වතාවෙ අපි හිටියෙ බෝකුන්දර කුලී
ගෙදරක් අරන්. අම්මා මහරගම ගුරු පුහුණු විද්‍යාලය. ළඟ පාසලට මාව ටික
කලක් ඇතුළු කළා.
ඒ අතර ඇය නිතරම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ළඟට ගොස් මාව එහි ඇතුළු
කරන්න විපරම් කළා. කොහොම හරි අපේ නායක හාමුදුරුවන්ගෙත් උදවුවෙන් මාව
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඇය ලැබෙන ආදායම් සකසුරුවම්
කරලා දරුවන්ට උගැන්වූවා. බැරිවන විට ගමේ ඉඩම් කෑලි කෑලි විකුණුවා. මේ
අපේ අධ්‍යාපනයට. මගේ ඊළඟ ලොකු අයියා දෙවැනි අයියා ජ්‍යෙෂ්ඨය සමත් වුණා.
අයියාට ගුවන්විදුලියෙ රස්සාවක් ලැබුණා. දෙවැනි අයියත් විද්‍යා
ගුරුවරයෙකු ලෙස රස්සාවක් ගත්තා. දැන් අම්මගෙ ආසාව මාවත් ඉහළටම
ගෙනියන්නයි. ස්කෝලෙ යනකොට මට ලැබෙන්නෙ සත 10 යි. යන්න ශත 5 යි. එන්න ශත
5 යි. අම්මා අමාරුවෙන් පවුල රකින බව නොදැන අප කරන කරදර නිසා සමහර විට
තවත් ශත 5 ක් ලැබෙනවා. මගේ පොඩි පොඩි දඟකාරකම් තිබුණා. ගස්වල නඟිනවා.
කොල්ලො කුරුට්ටොත් එක්ක ගහගන්නවා. අතපය කඩාගන්නවා. අපේ අම්මගෙ අක්කා
බැඳලා හිටියෙ ගොඩිගමුවේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්. අතපය බිඳගන්න කොට
අම්මා එහෙට මා යවනවා. ඉතින්! ප්‍රතිකාර අරන් ටික දවසක් නැවතිලා එනවා.
අපට උගන්වන්න ඕනෑ කියන දැඩි ආසාව ඇය තුළ පැලපදියම් වුණේ පියාගෙ
ආභාසයෙන්. පියාට මේ වුවමනාව ගොඩාක්ම තිබුණා. මං අටේ පන්තියට පාස් වුණා.
විතරයි ලොකු හාමුදුරුවො මාමා එක්කත් කතා කරලා අම්මාටත් කථා කරලා නෑදෑයො
සියල්ලම එකඟවෙලා මාවත් පැවිදි කරන්න. මට වැඩිමල් අයියා බෙල්ලන්විල
ධම්මරතන නමින් පැවිදි වුණාට උන්වහන්සේ පමණක් මදි මාවත් පැවිදි කරගන්න
ඕනෑ කියලා සෝමරතන නායක හාමුදුරුවො කියලා තියෙනවා. මහණකමේ වටිනාකම
දැනගෙන නොවේ මා පැවිදි වුණේ. ඒත් මහණකම මොනතරම් වටිනවද කියලා අද මා
දන්නවා.
1956 දී මා පැවිදි බිමට පත්වුණේ. මට ඉගෙනගන්නත් මේ මහණකම උදවු වුණා.
ඒත් සිංහල අලුත් අවුරුද්දට ධම්මරතන නායක හාමුදුරුවොයි මමයි දෙන්නම
අම්මව බැහැ දකින්න යනවා. අම්මට ආර්ථික දුෂ්කරතා තිබුණත් පන්සලෙන්
කිසිවක් බලාපොරොත්තු වුණේ නෑ. පන්සලේ දායිකාවක් හැටියට කුලඟන සමිතියේ
සභාපතිනිය වෙලාත් පන්සලට උදවු කළා. බෝකුන්දර කුලී ගෙදර හැමදාම ඉන්න
බැරි නිසා ගුවන්විදුලි සංස්ථාවෙ අයියගෙ උදවුවෙන් තාත්තට අයිතිව තිබූ
බෙල්ලන්විල මයුර මාවතේ පර්චස් 20 ක ඉඩමේ ඇය ගෙයක් හදන්න ගත්තා. අනෙක්
දරුවන් සමඟ පදිංචි වෙන්න. හැමදාම ඇය බෝකුන්දර ඉඳන් මේ ඉඩමට ඇවිත් ගේ
හදනවා සොයනවා බලනවා. අයියලා දෙන්නත් උදවු කරනවා.
මේ විදියට ඇය කොහොම හරි තාත්තගෙ සිහිනය යථාර්ථයක් කළා. තාත්තට තිබුණ
සිහිනය තමන්ගෙ ඉඩමෙ මැටියෙන් හරි ගෙයක් හදන්න. ඒක කරන්න අම්මා
පුදුමාකාර දුක් වින්දා. ඊට පස්සෙ එයාට උදවු කළ සිසිලින් නෝනා කසාද
බන්දන්න ඕනෑ කියලා හිතුවා.
ඒ වන විටත් තවත් ගෙදරක උදවුවට හිටි කෙනෙක් එක්ක සිසිලින් මෝනගෙ ප්‍රේම
සබඳතාවක් තිබිලා.මේක අම්මට අහුවෙලා. පෝරුවෙ තියලා චාරිත්‍ර කරලා
පුළුවන් විදියට කසාද බන්දලත් දුන්නා. කන කර පවා අම්මා අමාරුවෙන් හරි
ගස්සලා දුන්නා. අම්මා පන්සලෙන් උදවුවක් ගන්න එක අවනම්බුවක් ලෙසයි
සැලකුවෙ. ගමේම පන්සලනෙ. එතුමිය ඊට දැඩි ලෙස විරුද්ධයි.අම්මා අන්තිම
කාලෙ හිටියෙ බාලම මල්ලි ළඟ පැපිලියානේ ගෙදර.
මගේ මවට කවදාවත් ලේලිලාගේ ප්‍රශ්නයක් තිබුණෙ නෑ. එයාට දුවලා හිටියෙත්
නැතිනිසා ඒ හැම ලේලියකටම ඇය සැලකුවේ දුවක් විදියටය. ඇයගෙ ආකල්ප නිසා
කවරදාවත් ඇයට කරදර තිබුණෙ නෑ. ලොකු ලේලි විජිතා පෙරේරා ඉඳන් පොඩි ලේලි
දක්වාම ඇයට පුදුමාකාර විදියට ආදරෙයි. අවුරුදු 85 ක් විතර ජීවත්වුණා.
අන්තිම කාලෙ දරුවන්ගෙන් වගේම තමන් කසාද බන්දලා දුන්න සිසිලින් නෝනගේ
දරුවන් හා ඇය ද අම්මා බලාගත්තා. මගේ දරුවන්ට හිසට වහලක් දෙන්න . මට
බැරිවුණා. මගේ පියා මරණාසන්නව කී ඒ වචනය අම්මට මහ රිදුමක් වුණා. ඒ
නිසයි ඇය තාත්තගෙ ඉඩමෙ දුක්විඳලා ගෙයක් හැදුවේ. මගේ ගිහිනම ගිල්බට්
පෙරේරා. ඒත් අම්මා කීවෙ චීටී මහත්තයා කියලයි. ඒ කාලේ ගම්වල හිටියෙ සුදු
මහත්තයලා, උක්කුං මහත්තයලානෙ. මං බෙල්ලන්විල පන්සලේ හිටියත් චීටි
මහත්තයා පිළිබඳ මතකය ඇය කෙරෙන් මරණය දක්වාම අතුරුදන් වුණේ නෑ. |