ඇසළ පුර පසළොස්වක 2015.07.31
සම්‍යක් දර්ශනය පහළ වූ දිනය
දුකත්, දුකට හේතුවත්, නිවනත් එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලොවට දේශනා කළ වදාළේ අද වැනි ඇසළ
පුර පසළොස්වක පොහොය දිනයකදීය. එනම් සම්‍යක් දර්ශනය ලොවට පහළ වූ
දිනයයි. දෙසැටක් මිසදිටු මත ඇලී ගැලී සිටි සමාජයක පහළ වූ
ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ එම සත්‍ය දර්ශනයෙන්
ලොව ඒකාලෝක වන්නට විය.
ක්‍රි.පූ. සයවන සියවස ලොව ආගමික ඉතිහාසය තුළ මහත් ප්‍රබෝධයක්
උදාකළ යුගයක් විය. සත්‍යය කුමක්දැයි සොයමින් භාරතීය සමාජය තුළ
නොයෙක් දෘෂ්ටීන්ගෙන් මෙන්ම නොයෙක් ලබිධීන්ගෙන් එකලපිරී
පැවැතිණි. ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමෙන් සදා සැනසීම ළඟා කර
ගැනීමට ඉතා දිගු කලක් පුරා විශාල පරිශ්‍රමයක් ඔවුහු දැරූහ.
එහෙත් ඒ චින්තාවන් මගින් ඔවුනට මෙලොව ජීවිතයවත් සුවපත් කර
ගැනීමට හැකි නොවීය.
බුදුරජාණන් වහන්සේ මහණෙනි, ළාමක වූ ග්‍රාම්‍ය වූ පොදු ජනයා
විසින් සෙවුනා වූ අනාර්ය වූ අනර්ථයෙන් යුක්ත වූ කාමසුඛල්ලිකානු
යෝගයෙහි සුඛ වශයෙන් ඇලීමක් වේද? දුක් වූ අනාර්ය වූ අනර්ථයෙන්
යුක්ත වූ අත්තකිලමථානු යෝගයෙහි යෙදීමක් වේද? යන මේ අන්ත දෙකම
පැවිද්දා විසින් නොසෙවිය යුතු ය. අන්ත දෙකටම නොපැමිණ
බුදුපියාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද නුවණැස පිරිසුදු
කර ගන්නා ඤාණය පහළ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මධ්‍යම
ප්‍රතිපදාව කෙලෙසුන් දුරු කරනු පිණිස, සිව් සස් දහම් මනාකොට
අවබෝධ කරගනු පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස පවතී යැයි
වදාළහ. එදා බරණැස ඉසිපතනයේ දී බුදුපියාණන් වහන්සේ පස්වග මහණුන්
උදෙසා දේශනා කළ එම මංගල දම් දෙසුම ලොව යථාර්ථය පැහැදිලි
කරන්නක්ම වූහ.
එතෙක් මෝහන්ධකාරයෙන් වෙලී සිටි ජනතාව සත්‍යය වූ දර්ශනයේ
ආලෝකයෙන් ඒකාලෝක වන්නට වූයේ බුදුපියාණන් වහන්සේ ලොවට දේශනා කළ
උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙනි. ලොව පවතින දුකෙහි ඇලී ගැලී
සිටි සත්ත්වයා සම්බුදු දහමේ පිහිටෙන් සසර කතරෙන් එතෙර වීමේ
භාග්‍ය උදාකර ගත්හ.
සත්වයා සසර පුරා ගමන් කරනුයේ දිගු ගමනකි. ලෞකික ලෝකය තුළ භෞතික
දියුණුව පමණක් උදාකර ගැනීමෙන් නිසි යහපතක් සිදු නොවේ.
ආධ්‍යාත්මික සුවයටද යොමු විය යුතුමය.
“නිධානය” යනු වටිනා යමක් ආරක්ෂා සහිතව තැන්පත් කර තැබීමකි.
ඇතැම්විට එය ගෞරවනීය මෙන්ම පූජනීය වශයෙන් ද විය හැකිය. එමෙන්ම
තමන් වෙත විපතක්, කරදරයක්, උවදුරක් පැමිණි විට එය ප්‍රයෝජනයට
ගැනීමේ අරමුණෙන් තැන්පත් කර ගැනීමක්ද විය හැකිය. කෙසේ වුවද
නිධාන අතුරෙන් වටිනාම නිධානය නම් අනුගාමික නිධානය වේ. තමන්ට
අනුව ගමන් කරනුයේ සෙවණැල්ලය. තමා පසු පස එන සෙවණැල්ල නොවෙනස්
වන්නාක් මෙන් අනුගාමික නිධානය ද තමා පසු පස එයි. ලෞකික ලොව
භෞතික දෑ අවශ්‍යය. එහෙත් භෞතික දෑ පිළිබඳ පමණක් සිතා මතා
ක්‍රියා කිරීමෙන් ආධ්‍යාත්මික වශයෙන් සැනසීමක් උදාකර ගත හැකි
නොවේ. එසේ නම් අනුගාමික නිධානය කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු
කළ යුතු වේ.
තමා උපයන ධනය දැහැමි විය යුතු ය. අධර්මයෙන් කෙතරම් ධනය ඉපයුවා
ද, ඉන් මානසික සහනයක් ලද නොහැකිය. සියලු සතුටට වඩා ආධ්‍යාත්මික
සතුට ළඟා කර ගැනීම අපහසුය.ඒ සඳහා දුර දක්නා නුවණින් හා
අවබෝධයෙන්ම කටයුතු කළ යුතු ය. භෞතික සම්පත් කෙතෙක් තිබුණද?
පැවතියද මානසික වශයෙන් ධනය තිබූ පමණින් සතුටු විය නොහැකිය.
ඇතැම් විට එය සන්තාපයට දුකට, වේදනාවට හේතුවන්නක් ද විය හැකිය.
දිගු සසර ගමනක ඇවිදින සත්වයා සසරෙහි බියකරු බව මෙනෙහි කිරීමෙන්
පමණක් වුවද ජීවිතයක පවතින බොහෝ අඩුපාඩු මඟහරවා ගත හැකිවේ.
මනුෂ්‍යයාට ආගමක් අවශ්‍ය වන්නේ ද ඔහුගේ ම යහපත සඳහාමය. දහමට
නැඹුරු වූ තරමට ජීවිතයෙන් බොහෝ ප්‍රතිඵල මෙලොවදීම උදාකර ගත
හැකි බව කල්පනා කළ යුතු ය. අද වැනි ඓතිහාසික දවසක ජීවිතය ජීවත්
කළ යුත්තේ කුමක් සඳහා දැයි කල්පනා කිරීමට ජීවිතයට යහපත්
අඩිතාලමක් යොදා ගැනීමට එය හේතු විය හැකිය. එබැවින් ලද මිනිස්
ජීවිතයෙන් මෙලොවදී පස් පවින් වැළකී දුසිරිතෙන් වෙන්ව සුසිරිතට
යොමුවීමට උත්සාහ කළ යුතු ය. |