UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මික මෙහෙයවන ධර්ම සාකච්ජා

ප්‍රශ්නය
බුදු දහම සාර්ව භෞමිකද? එසේ නම් මේ පෘථිවි තලයේ සෑම මනුෂ්‍යයකුට ම එය ක්‍රියාත්මක කළ හැකි විය යුතුයි. ගී‍්‍රන්ලන්තය වැනි තුරුලතා නොමැති ප්‍රදේශවල මිනිසුන්ගේ පැවැත්ම සඳහා ප්‍රාණඝාතය අත්‍යවශ්‍යව පවතී. ඒ අනුව එම ප්‍රදේශවල මිනිස්සු ප්‍රාණඝාතය කරති. එසේ නම් බුදු දහම සාර්ව භෞමිකව ප්‍රායෝගික නොවේ. මෙහි සත්‍යාසත්‍යාව පැහැදිලි කර දෙන්න.

පිළිතුර
බුදු දහම යනු සීල, සමාධි, ප්‍රඥා අනුපූර්ව ශික්ෂාවෙන් යුත් මාර්ගයයි. කෙනකු බෞද්ධයකු හෙවත් උපාසකයකු වන්නේ තිසරණය සරණ යෑමෙනි. සරණ යෑම යනු දැන හැඳින අචල විශ්වාසයට පත් වීමයි. ඒ අනුව ගී‍්‍රන්ලන්තය වැනි මාංශ භක්ෂණය පමණක් ඇති රටවල එසේ වන මිනිසුන්ට බෞද්ධයන් වන්නට බාධාවක් නැත. බෞද්ධයකු වීමට උපදින පළාතට බාධාවක් නොවෙයි. ඍජුව, සතුන් නොමරා, නොමරවා ජීවත් විය හැකි ප්‍රදේශ පතිරූපදේශයි.

ජීවත් වීම සඳහා රක්ෂා කරන විට පොළව කොටන්නට සිදුවෙයි. එයින්ද වක්‍රව සත්තු මැරෙති. එය බුදු දහම සාර්ව භෞමික වීමට බාධාවක් ලෙස අන්තවාදීව නොසිතිය යුතුයි. කුමන තරාතිරමේ ගිහි පුද්ගලයකුට වුව සියට සියයක් ආජීවය පිරිසුදුව ජීවත්වීම ගැටලු සහිත වෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සියයට සියයක්ම අජීවය පිරිසුදු ජීවිතයක් ලෙස භික්ෂු ජීවිතය නිර්දේශ කරනු ලැබුයේ’. අන්‍යාගමිකයන් ලංකාවේ මුහුදුබඩ බෞද්ධයන් බියට පත් කළ කරුණකි. බුදුදහමට අනුව මාළු මැරීමෙන් අපායේ උපදින බව ප්‍රකාශ කිරීම. ඔවුන්ගේ ඉගැන්වීම්වල පව් සමා කර ගත හැකි යැයි පෙන්වා දීම.එහෙත් වර්තමානයේ මුහුදුබඩ ජනතාව යථාතත්වය තේරුම්ගෙන ඇත. ධම්මපදයේ ලෝක වග්ගයේ” යස්ස පාපං කතං කම්මං කුසලේන පිථියති” යන ගාථාවෙන් යමකු කරන පාපය කුසලයෙන් වසාලිය හැකි ආකාරය දේශිතයි.

ප්‍රශ්නය
භික්ෂු විනයට අනුව හිසකෙස් වැවීම භික්ෂුවට තහනම්ය. එසේ නම් විලාසිතාවක් මෙන් වැඩුණු හිස කෙස් සහිතව බුදුරුව දක්වා ඇත්තේ ඇයි? එය ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට යන නිගමනයට පටහැනි නොවේද? පහදාදෙන්න.

පිළිතුර
පළමුව තේරුම් ගත යුත්තේ විලාසිතා ලෙස හිස කෙස් සකසා වැඩ සිටින රූපය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ම හිස් කෙස් විලාසිතාවක් සකසා ඡායාරූප ශිල්පියෙකු ඉදිරියට ගොස් ලබා ගත් ඡායාරූපයක් නොවන බවයි. එබැවින් ඔවාදෙනු පරහට යන ප්‍රකාශය නොගැළපෙයි.

බුද්ධ රූපය චිත්‍රපට හෝ මූර්තියට හෝ කැටයමට හෝ නැඟීමට මුල් යුගයේ කලාකරුවෝ කැමැත්තක් නොදැක්වූහ. ක්‍රි.පූ. 2 සියවසට හෝ ඊට පෙර කාලයට අයත් වන සාංචි කලා සම්ප්‍රදායේ කලාකරුවා බුද්ධ ප්‍රතිමාව නිර්මාණ නොකළේය. කැටයම් නොකළේය. චිත්‍රයට වූව නොනැඟීය. බුද්ධ ප්‍රතිමාව දැක්විය යුතු තැන බෝ රුක, සිරිපතුල, පද්මය හෝ දාගැබ මූර්තිමත් කළේය. අප කුඩා කාලයේද බුද්ධ රූපයක් අප අඳිනවට අපේ දෙමාපියෝ අකැමැත්ත ප්‍රකාශ කළහ.

ඉන්දියාවට පැමිණි කුෂාණ වංශිකයන් ගී‍්‍රක සම්භවයක් ඇති පිරිසකි. බුදු දහම වැළඳ ගත් ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨ අධිරාජයා කණිෂ්ක රජුයි. ඔහුගේ රාජ්‍ය සමයේ ප්‍රථම බුද්ධ රූපය නිර්මාණ වීය. එය ගන්ධාර ප්‍රතිමාවයි. මේ යුගයේම දේශීය මථුරා ප්‍රතිමාවද නිමවිණි. ඒ ඒ කලාකරුවෝ ප්‍රසාදය දනවන පරිදි ප්‍රතිමා නිර්මාණ කළහ. සමහර විට මුල්ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ නිර්මාණය වන්නටද ඇත.

බුද්ධ ප්‍රතිමාව සැදැහැවතාගේ ප්‍රසාදය වර්ධනය කරන අතිශය උසස් නිර්මාණයකි. ලංකාවේ සමාධි ප්‍රතිමාව ලොව නිවන් මුහුණුවර දක්වන ශ්‍රේෂ්ඨතම නිර්මාණය බව මාර්ටින් වික්‍රමසිංහ ශුරීහු පැවසූහ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය, සමාධිය, උපේක්ෂාව , ශාන්ත බව, දැක්වෙන මෙම විශිෂ්ට නිර්මාණය ලාංකික කලාකරුවාගේ අපූර්ව ප්‍රතිභාව හා කලා කෞශල්‍යය විදහාපාන්නකි.

ඒ නිසා බෞද්ධ රටවල බුද්ධ ප්‍රතිමාකරණය බෞද්ධ ශිෂ්ටාචාරයට රුකුලක් වූ සංස්කෘතික අංගයක් විය. අසූවයස්ගත වූ ජීර්ණ ශරීරයෙන් යුත් ප්‍රතිමා ලංකාවේ නැත. අක් බඹරු කොණ්ඩය බුද්ධ ප්‍රතිමාවට අනිවාර්ය වෙයි. උෂ්ණිෂයද එසේය. එසේ නොවන ප්‍රතිමාවලින් නිරූපණය වන්නේ ජෛන මහා වීරතුමායි.

ප්‍රශ්නය
සාංඝික කළ ආහාර ගිහි අය අනුභව කිරීම පාපයක් ලෙස අපේ පන්සලේ ලොකු ස්වාමින් වහන්සේ වදාරති. ඒත් සමහරු එම පරිභෝජනය වරදක් නොවන බව පවසති. ධර්මානුකූලව පහදා දෙන්න.

පිළිතුර
භික්ෂූන් වහන්සේ පිළිගෙන වළඳන ආහාරපාන ආදිය පිළිබඳ කාල විභාගයක් වෙයි. ඒ අනුව යාවකාලික , යාමකාලික සත්තාහාකාලික සහ යාවජීවක යැයි ප්‍රභේද වෙයි. යාවකාලික යනු පිළිගෙන පෙරවරු කාලයේ පමණක් වැළඳීමට සුදුසු ආහාරයි. පසු දින තෙක් තබාගත නොහැකි ආහාර මේ ගණයට අයත් වේ. පිළුණුවන හා ආහාරයට නොසුදුසු වන ආහාරයි .

සාංඝික දානයේදී භික්ෂූන් වහන්සේට පිරිනමන ආහාරපාන නැවත පසුදින වැළඳීමට නොහැකිවෙයි. එම ආහාරපාන විකාලයේදී යමකුට කෑමට දීම කිසි වරදක් නොවේ.ආහාර අපතේ දැමීම මහා වරදකි. ඉර හැරුණු විට යාවකාලික ආහාරවල අයිතිය එය පිළිගත් සංඝයාට නැත.

ඔබ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉතා දුර බලා මේ පිළිතුර දී ඇත. සංඝයා සතු දෑ සාංඝිකයි. සාංඝික දේ පරිභෝජනය හෝ හොරකම් කිරීම හෝ බරපතළ වරදකි. අපේ පැරැණි සෙල් ලිපිවල එම දෑ ගන්නෝ බලු කපුටු වන බවට අදහස් ද සංකේතද දක්වා ඇත. සාංඝික දෙයින් 75% යාවකාලික නොවන දෑයි. විහාර භූමි කෙත්වතු වෙනත් ගරු ලඝු භාණ්ඩ සාංඝික පූජා කළ දේයි. යාවකාලික ගිහි පරිභෝජනය පටන් ගත්තොත් කලක දී නිවැරදි ස්ථාවරය අමතක වෙයි. සියලු සාංඝික දෑ පරිභෝජනය පටන් ගනී. ගිහි පින්වත්තු අපායේ යති. බලු කපුටුව උපදිති. ඔබ කාරුණික ලොකු හාමුදුරුවෝ මේ නිසා මෙවැනි අවවාදයක් දී ඇත.

04 ප්‍රශ්නය
බෞද්ධයන්ගේ යානවාහනවල “බුදුසරණයි, දෙවි පිහිටයි” යන පාඨය සඳහන් කර ඇත. මේ ප්‍රකාශය හරිද?

පිළිතුර
බෞද්ධයන්ගේ වාහනවල හා නිවෙස්වල ආශිර්වාදය පතා “බුදුසරණයි’ යන පාඨය ප්‍රදර්ශනය කර ඇත. එය නිතර දකින, කියැවෙන නිසා සැනසීමක් ද ඇතිවෙයි. මීට සම්බන්ධ කර දෙවි පිහිටයි යන්න සමහර තැන දැක්වේ. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව කලක සිට හින්දු ආගම හා මිශ්‍ර ආගමික වතාවත්වලට හුරුව ඇත. එබැවින් කතරගම, විෂ්ණු, ලක්ෂ්මී, ගණදෙවි වැනි දෙවි දේවතාවියන් කෙරෙහිද ගරු සැලකිලි දක්වති. මානුෂික ප්‍රජාව ආරක්ෂා කර දෙන්නැයි දිවා රෑ දෙකේහි ඔවුන්ගෙන් පුද ලබන මෙම විවිධ භූත කොටස්වලට බුදුරජාණන් වහන්සේද අනුශාසනා කළ බව රතන සූත්‍රගතයි. මෙයින් අදහස් කරන්නේ නිත්‍ය සදාකාලික මැවුම්කාර දෙවියකු නොවන බැවින් මේ ප්‍රකාශයේ වරදක් නොපෙනේ.

05 ප්‍රශ්නය
වරදකරුවකුට මරණ දඬුවම පමුණුවයි. එයින් විනිසුරුවරයාට අකුසලයක් සිදුවේද?

පිළිතුර
සමාජ පරිණාමයේ මුල්ම නායකයා මහා සම්මත නම් විනිශ්චකාරවරයායි. පසුව ඔහු රජු බවට පත්කෙරිණි. සමාජයේම පරිණාම වන හොරුන්ට, පහත් හැසිරීම් ඇති අසංස්කෘතික මිනිසුන්ට, රෞද්‍ර හැසිරීම් ඇති මැරයන්ට දඬුවම් කිරීමට සමාජ සම්මතයෙන් පත්වුණු මහා සම්මතට දඬුවම් දුන්නා කියා අකුසලයක් ඇති නොවිණි. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ මේ කරුණ පැහැදිලි කර ඇත.

රටේ පිළිගත් රාජ්‍ය ව්‍යවස්ථාව කඩන්නකුට දඬුවමක් දෙනුයේ ඉතා විශාල නීති සංග්‍රහයකින් සංවර්ධනය වූ අධිකරණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි. වරදට නියමිත දඬුවම විනිශ්චයකාරතුමා නොදෙන්නේ නම් හෙතෙම වරදකරුවෙක් වෙයි. ඉතා ආදර්ශවත් වූ ලිච්ඡවී අධිකරණ ක්‍රමයේ පුරාණ පොත් බලා අදාළ නිසි දඬුවම වරදකරුට දුන් බව පැහැදිලි කර ඇත. වත්මන් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවල මෙම ක්‍රමය ක්‍රියාත්මකයි.

වරදකරු සමඟ පුද්ගලික තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, පටිඝයක්, විනිශ්චකාරතුමා තුළ නැත. රජයේ පිළිගත් නීතියට රටවැසි සියල්ලෝම යටත් වෙති. ඉතා නිවැරදිවම සත්‍යයම පදනම් ව මිස කිසි විනිසුරුවරයකු මරණ දඬුවම නොපනවති. එය ශෝකාන්තයක් බව පිළිගන්නා නිසා අධිකරණයේ විදුලි පහන් නිවා, විදුලි පංකා නවතා, මේ කනගාටුදායක තීරණය විනිසුරුවරු ලබා දෙති. නීතියට අනුව මේ තීරණය නොදී තමන් වරදකරුවකු වීමට කිසිඳු විනිසුරුවරයෙකු කැමති නොවේ. ඒ නිසා ප්‍රාණඝාත අකුසලයක් මරණ දඬුවම නියම කිරීමෙන් සිද්ධ නොවේ. සමාජ සංස්ථාවේ සංරක්ෂණයට නීති හා දඬුවම් සකසා ඇත.

“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]