ඇසළ පුර අටවක 2015.07.24
ඇසළ පොහොය
එළඹෙන ඇසළ පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට අත්‍යුත්තම
දිනයක් වෙයි. එම ඇසළ පොහොයෙහි උදාරත්වය දෙවැනි වනුයේ වෙසක් පුර
පසළොස්වක පොහොයට පමණි.
සිදුහත් ගෞතම බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුන් පොහෝදා සම්මා
සම්මුද්ධත්වයට පත්වී වදාළහ. අනතුරුව එළඹි ඇසළ පුන් පොහෝදා
බරණැස ඉසිපතන මිගදායේ දී දුකත්, දුකට හේතුවත් නිවනත් එය ලබන
පිළිවෙතත් යන චතුරාර්ය සත්‍යය දේශනා කරන ලද දිනය නිවනත්, ඇසළ
පුන් පොහොය දවසයි. තථාගත බුදුපියාණන් වහන්සේ බරණැස
ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් ප්‍රමුඛ දස දහසක් සක්වලින්
පැමිණි දෙවි බඹ පිරිස් මැද ඇසළ පුන් පොහෝ දා ධම්මචක්කප්පවත්වන
සූත්‍රය දේශනා කර වදාළහ.
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝධිසත්වයන්
වහන්සේ දෙවි බඹුන්ගේ ආරාධනයෙන් පස් මහ බැලුම් බලා කපිලවස්තුපුර
සුද්ධෝදන රජතුමාගේ අග මෙහෙසිය වූ මහාමායා දේවිය කුස පිළිසිඳ
ගත්තේ ද ඇසළ පුන් පෝදාය. සතර පෙර නිමිති දැකීමෙන් මහා
අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ද ඇසළ පුන් පෝදාකය. බුදුරජාණන්
වහන්සේ ප්‍රධාන පස්වග භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස් වැසීම
ඉසිපතනාරාමයේ දී සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය. සත්වැනි වස ගත
කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කර වස් එළඹ මාතෘ දිව්‍යරාජ්‍යයා
ප්‍රධාන දෙවියන්ට බුදුරජාණන් වහන්සේ විජම් බණ දේශනා කරන ලද්දේ
ද ඇසළ පුන් පෝදාය.
බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා
කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන්
වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයෙහි දී පළමුවන
ධර්ම සංගායානාව පැවැත්වීම සඳහා මූලික කටයුතු අරඹන ලද්දේද ඇසළ
පුන් පෝදාය.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවන විසින් ප්‍රථම ඛණ්ඩ
සීමාව සම්මත කර අරිට්ඨ කුමරා ප්‍රධාන පිරිසගේ පැවිදි උපසම්පදාව
සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය. මිහින්තලයේ කණ්ටක චෛත්‍යය වටා
කරවූ අට සැටලෙන් පූජාව සහ දෙසැටක් රහතන් වහන්සේලාගේ මෙරට පළමු
වස් එළඹීම සිදුවූයේ ද ඇසළ පුන් පෝදාය. දුටුගැමුණු මහරජතුමා
විසින් රුවන්වැලි මහ සෑය ඉදිකිරීමට මංගල ප්‍රතිෂ්ඨාපනය සිදු
කරන ලද්දේ ද එමෙන්ම විවිධ ප්‍රාතිහාර්ය මධ්‍යයේ එම රුවන්වැලි
මහ සෑ රදුන්ගේ ධාතු නිධානය සිදුකරන ලද්දේත් ඇසළ පුන් පෝදාකය.
එමෙන්ම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන ඇසළ පෙරහරේ ආරම්භය
සිදු වූයේ ද ඇසළ පුන් පෝදාය. මේ ආදී වශයෙන් බලනවිට බෝසත් සිරිත
මෙන්ම අසිරිමත් බුදුසිරිතේ ද සම්බුද්ධ ශාසනයේ ද මෙරට ශාසන වංශ
කථාවේ ද අසිරිමත් සිද්ධීන් රැසක් අනුස්මරණය කෙරෙන ඓතිහාසික
දිනය ඇසළ පුන් පෝදාය.
ඇසළ මහේ අසිරිය පිළිබඳ සිහිපත් කරන කවර අයෙකුට වුවද බුදුපුදට
නෙත් සිත් යොමුවීම නොවැළැක්විය හැකිය. බුදු පුදට පෙර ඒ සඳහා
සැදී පැහැදී පේවී කටයුතු කිරීම බෞද්ධයාගේ සිරිත වෙයි. තවත් දින
කීපයකින් හෙවත් සතර පොහොයෙන් ප්‍රධාන පොහොයක් වන පුර පසළොස්වක
එළඹෙත්ම විහාරාරාමවලට ගොස් ආගමික වතාවත් සිදු කිරීමට බෞද්ධයන්ට
අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.
ඇසළ පුර පසළොස්වක පෝදා විශේෂයෙන් පෙරවස් සමාදන් වන උපසම්පදා
ස්වාමීන් වහන්සේලාට සැදැහැති දායකයන් විසින් වස් ආරාධනාව
සිදුකිරීමේ සිරිත ද පවතී. මේ අනුව බලන විට ඉහත සඳහන් කළ පරිදි
වසරේ පුර පසළොස්වක පොහොය දින දොළහෙන් සුවිශේෂී පොහොය දිනයකි
ඇසළ පුර පසළොස්වක පොහොය.
සැදැහැයෙන් අනුස්මරණය කළ යුතු පොහොය දිනයක් වන ඇසළ පුන් පෝදා
ස්වකීය විහාරස්ථාන වෙත යොමු වෙමින් ආගමික වතාවත්වල නිරතවීමෙන්
තෙරුවන් උදෙසා මහත් ගෞරව උපහාර දක්වමින් තම තමන්ගේ ආගමික
ජීවිතය සාර්ථකව ගත කිරීමට කල්පනා කළ යුතු වේ.
ඇසළ පොහොයෙහි ඇති ඓතිහාසික වැදගත්කම සිහියට නංවා ගනිමින් ඇසළ
පුර පසළොස්වක පෝදා ආගමානුකූල කටයුතු කර මෙලොව ජීවිතය සුවපත්
භාවය උදාකර ගත යුතු වේ. |