සියලු සත්වයන්ට අනුකම්පා කළ
තථාගතයන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගම්භීර බ්‍රහ්මස්වරයෙන් මේ දහම් අර්ථ අසද්දී ඒ දෙවිවරු තැතිගත්තා. මහා
ගුණවන්තයෙකුට අප අපහාස කළා නේද? කියලා බියට පත්වුණා. ඉතින් එතකොට ඒ
දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා
භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම කියන්නේ ලෝකයේ ඉතාමත් ම
දුර්ලභව සිදුවෙන සිදුවීමක්. ඒ දුර්ලභ වූ සම්බුදුවරයෙකුගේ උතුම් බුද්ධ
විෂයය අචින්තනීය යි සිතා ගැනීමට නොහැකි තරම් අනන්ත අප්‍රමාණ ගුණකඳක්
දරාගෙනයි බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින්නේ. ඒ පමණ කළ නොහැකි
සම්බුදු ගුණකඳ ගැන අපට මේ ගාථාවෙන් තේරුම් ගන්නට පුළුවනි.
බුද්ධෝ පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ
බියේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛියේථ තථාගතස්ස
බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ගුණස්කන්ධය තවත් බුදුරජාණන් වහන්සේ නමක්
විසින් කල්පයක් පුරා පැවසුවද, ඒ සම්බුදුගුණ පවසා අවසන් කළ නොහැකි බවයි
ඒ උතුම් ගාථා රත්නයෙන් කියවෙන්නේ. නුවණැතියන්ට නම් ඒ උතුම් සම්බුදු
ගුණයන් ගැන සිත පහදා ගැනීමේ හැකියාව තිබුණා.
එනමුත් මෙපමණ ගුණ තිබිලත් උන්වහන්සේ හඳුනා ගන්නට බැරිවුණ පිරිසක්
මිනිසුන් අතරත් හිටියා. දෙවියන් අතරත් හිටියා. අපගේ ශාස්තෘ වූ ගෞතම
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි හටගත් පහන් සිතින් උන්වහන්සේ
ඇසුරු කළ බොහෝ දෙවිවරු ගැන අප මේ ලිපි මාලාවෙන් දැනටමත් ඉගෙන ගත්තා. අද
අප ඉගෙන ගන්නේ දෙවිවරු පිරිසක් නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ
දේශනාවක්. හැබැයි මේ දෙව් පිරිස බුදුරජුන් කෙරෙහි පැහැදීමක් තිබුණ
පිරිසක් නොවෙයි.
ඒ අපැහැදීමට හේතුව ඔවුන් තුළ ඇති වූ වැරදි වැටහිමක් තථාගතයන් වහන්සේගේ
ප්‍රත්‍ය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ඒ දෙවිවරු සිතා සිටියේ මේ විදියටයි.
මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂුන් හට මේ විදියට නීති දානවාලු. පාංශකූල
චීවර පරිහරණ කළ යුතුයි. පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. රුක්මුල්හි වාසය කළ
යුතුයි. පූතිමුත්ත භේසජ්ජයෙන් සතුටු විය යුතුයි කියලා. ඒත් මේ ශ්‍රමණ
ගෞතමයන් වහන්සේ ඔය අගේට ගෘහපති චීවර පොරවනව නෙව. රජ සිටුවරුන්ගේ දානවලට
වඩිනව නෙව. කුටි සෙනසුන් පාවිච්චි කරනව නෙව. බෙහෙත්හේත් ඉවසනව නෙව. මේක
ගැළපෙන දෙයක් නම් නොවේ කියලා.
එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට මේ
දිව්‍ය පිරිස පැමිණියේ චෝදනා කරන අදහසින්. එනිසාම ධර්ම සංඝායනා කළ
රහතන් වහන්සේලා ඒ දෙවියන් උජ්ඣාන සඤ්ඤී යන නමින් හඳුන්වා තිබෙනවා. එදා
ඒ උජ්ඣාන සඤ්ඤීක දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ මුළුමහත් ජේතවන ආරාමයම
ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිත් අහසෙහි සිටියා.
අහසෙහි සිටිය එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ චෝදනා කරන
අදහසින් මේ ගාථාව පැවසුවා.
යම් පැවිද්දෙක් තමන් වෙන අයුුරකින් ජීවත් වෙමින් ඊට හාත්පසින්ම වෙනස්
විදිහට කතාබස් කරනවා නම්, ඒක ලිහිණි වැද්දාගේ ලිහිණි මස් කෑම වගේ
දෙයක්. එයා සිව්පසය පාවිච්චි කරද්දී හොරකමට අහුවෙනවා.
මේ ප්‍රකාශය කළේ නින්දා කිරීමටයි. අතීතයේ ලිහිණි දඩයම් කරන වැද්දෝ කොළ
අතුවලින් ඇඟ වසාගෙන ඒ ලිහිණි කුරුල්ලන් රවටා ගොදුරු කරගෙන තම අඹුදරුවන්
පෝෂණය කළා. ඒ අයුරින්ම භාග්‍යතුන් වහන්සේත් මිනිසුන් රවටා ප්‍රත්‍යලාභ
ලබන්නෙක් කියලයි මේ දෙවිවරු උන්වහන්සේට චෝදනා කළේ. සම්බුදුරජාණන්
වහන්සේ ඉවසීමෙන් යුතුව ධර්මයම ඉස්මතු කරදෙමින් මේ උතුම් ගාථාවන් දේශනා
කොට වදාළා.
යං හි කයිරා තං හි වදේ
යං න කයිරා න තංවදේ
අකරොන්තං භාසමානානං
පටිජානන්ති පණ්ඩිතා
යමක් කරනවානම්, ඒ දේ තමයි කිවයුත්තේ. යමක් කරන්නේ නැත්නම් ඒ නොකරන දේ
කියන්න ඕන නැහැ. කියන අය අතරින් නොකරන අය ගැන නුවණැත්තෝ දන්නවා.
නයිදං භාසිතමත්තේන
ඒරන්ත සවණේන වා
අනුක්කමිතවේ සක්කා
යායං පටිපදා දළ්හා
යාය ධීරා පමුච්චන්ති
ඣායිනෝ මාරබන්ධනා
යම් ප්‍රතිපදාවකින් ප්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින් මාර බන්ධනයෙන්
නිදහස් වෙනවාද, ක්‍රමානුකූලව දැඩි වූ ප්‍රතිපදාවකිනුයි ඒක කළ යුත්තෙ.
එහෙම නැතුව මේ ප්‍රතිපදාව හුදෙක් කතාබස් කළ පමණකින් හෝ ශ්‍රවණය කළ
පමණින් හෝ පිළිපදින්න බැහැ.
න වේ ධීරා පකුබ්බන්ති
විදිත්වා ලෝක පරියායං
අඤ්ඤාය නිබ්බුතා ධීරා
තිණ්ණං ලෝකේ විසත්තිකන්ති
ලෝක ස්වභාවය දන්න, ආර්ය සත්‍ය අවබෝධ කළ ලෝකයේ ඇති තණ්හාවෙන් එතෙර වුන
නිවනට පත් වූ නුවණැත්තෝ කවදාවත් ඔය ආකාරයට නම් කරන්නේ නැහැ.
ගම්භීර බ්‍රහ්මස්වරයෙන් මේ දහම් අර්ථ අසද්දී ඒ දෙවිවරු තැතිගත්තා. මහා
ගුණවන්තයෙකුට අප අපහාස කළා නේද කියලා බියට පත්වුණා. ඉතින් එතකොට ඒ
දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා
භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
ස්වාමිනි, අපටයි වරදක් සිදු වුණේ. අඥානයෙක් වගේ, මෝඩයෙක් වගේ,
පව්කාරයෙක් වගේ අපත් භාග්‍යවතුන් වහන්සේ සමඟ හැප්පෙන්න කල්පනා කළා.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපට ආයෙමත් සංවරවීම පිණිස මේ සිදු වූ වරද
වරදක් ලෙස පිළිගන්නා සේක්වා!
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළා. ඒ මෙතරම් ඉක්මට ඔවුන්ගේ
සිත් තුළ හටගත් අප්‍රසාදය දුරුවීම ගැන හටගත් නිරාමිස සතුටට යි. ඒකත් මේ
දිව්‍ය පිරිස කල්පනා කළේ වැරදියටම යි. බුදුරජාණන් වහන්සේ අපේ සමාව ගණන්
ගත්තේ නැහැ කියල මෝඩ විදියට හිතුවා. ඉතින් ඒ දෙවිවරු බොහෝ දොස් කියමින්
අහසට පැන නැග්ගා. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.
තමන්ගේ වදර ගැන කියද්දීත්, යමෙක් ඉතින් ඒක පිළිගන්නේ නැත්නම්, ඔහුගේ
සිත ඇතුළේ කේන්තිය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරන කෙනෙක්. ඔහු වෛර බඳින
කෙනෙක්.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔවුන්ව සංසිඳුවාලීම පිණිස මෙසේ වදාළා. ‘
ඇත්තෙන්ම මෙතන වරදක් සිදුවෙලා නැහැ. වෙන අපරාධයක් සිදුවෙලත් නැහැ. වෛර
ඔක්කෝම සංසිඳිල තියෙන්නේ. ඒ කාරණයෙන් මෙතනදී දක්ෂ වෙන්නයි ඕන’.
එය අසා සිටි එක් දෙවියෙක් අර්ථවත් ප්‍රශ්නයක් විමසා සිටියා.
වැරැදි නැත්තේ කාගෙද? අපරාධ නැත්තේ කාගෙද? මුලාවට පත්වෙන්නේ නැත්තේ
කවුද? හැම වෙලාවේම සිහියෙන් සිටින ඤාණවන්තයා කියන්නේ කවුද?
ඊට පිළිතුරු ලෙස අපගේ ශාස්තෘන් වහන්සේ මිහිරි ගාථාවන් දෙකක් දේශනා කොට
වදාළා.
තථාගතස්ස බුද්ධස්ස
සබ්බභූතානුකම්පියෝ
තස්සච්චයා න දිස්සන්ති
තස්ස තත්ථි අපාගතං
සෝ න සම්මෝහමාපාදි
සෝව ධීරෝ සදා සතෝ
සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන සම්බුදු වූ තථාගතයන් වහන්සේ තුළ
වැරැදි නැහැ. උන්වහන්සේ තුළ අපරාධ නැහැ. උන්වහන්සේ මුළා වෙලා නැහැ. හැම
වෙලාවෙම සිහියෙන්ම ජීවත් වෙන උන්වහන්සේ ඤාණවන්තයි.
අච්චයං දේසයන්තීනං
යෝ චේ න පටිගණ්හති
කෝපන්තරෝ දෝසගරු
ස වේරං පටිමුච්චති
තං වේරං නාභිනන්දාමි
පතිගණ්හාමි චෝ අච්චයන්ති
කෙනෙකුගේ වරද පවසද්දීත් ඒක පිළිගන්නේ නැත්නම්, ඔහුගේ සිතේ කෝපය
තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක්. නමුත් මම වෛර
පිළිගන්න කෙනෙක් නොවෙයි. ඒ නිසා මම ඔබේ වරද පිළිගන්නවා.
අවසානයේ ඒදෙවිවරුන්ටත් තිලෝගුරු බුදුවරුන් ගැන සිත පහදවා ගන්නට අවස්ථාව
උදාවුණා. අනුත්තර පුරිසදම්ම සාරථි වූ සත්ථා දේවමනුස්සානං වූ යථාවාදී
තථාකාරී වූ යථාකාරී තථාවාදී ඒ බුදුරජාණන් වහන්සේට අප වන්දනා කරමු.
නයනා නිල්මිණි |