UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුමටද කුසලට කම්මැළි වන්නේ

කුමටද කුසලට කම්මැළි වන්නේ

පිරිහීමට හෙවත් පරිහානියට පත් වන පුද්ගලයාගේ ලක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් අප පසුගිය කලාප කිහිපයකින් කතා කළා. වර්තමානයේ අප අතර බහුලව දක්නට ලැබෙන ඊට අදාළ කරුණු කිහිපයක් ගෙන හැර දැක්වීමයි අද අදහස වී ඇත්තේ. අධික ලෙසින් තොරතෝංචියක් නොමැතිව කතාවෙහි යෙදීම සහ උට්ඨාන වීර්යයෙන් තොරවීමද මේ සියල්ල හා බැඳී පවතින අලසකමත් මෙහිලා අප සාකච්ඡාවට බඳුන් කරනවා.

කෙතරම් වැඩ අධික සමාජයක අප ජීවත් වුවත්,ඇතැම් පිරිස්හි ක්‍රියා කලාප දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් කිසිදු කටයුත්තක් හෝ වෙනත් කාර්යයක් නොමැතිව සමාජයේ දිවිගෙවන ආකාරයක්. එහෙත් ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ මෙන් ඒ තමන් විසින් තමන් රවටා ගන්නා සතුට රඳා පවතින්නේ කෙටි කාලයක් පමණයි.

බස් රථයක හෝ දුම්රියක ගමන් ගන්නා බොහෝ දෙනාගේ පුරුද්දක් වී ඇත්තේ පදනමකින් තොර කතාබහේ නිරතවීමයි. ගමනාරම්භයේ සිට කිසිදු ආකාරයක වැදගත්කමකින් තොර මේ කතා ඇතැම් විට අසා සිටින ඇතැම් අයට මහත් වූ හිරහැරයක්ද විය හැකිය. මේ පිරිස එම කතාවන් තම රැකියා ආයතනවලටද රැගෙන යනවා. මෙයින් රැකියා ආයතනවල රාජකාරි කටයුතු බොහෝ අතපසු වීමටද ඉඩ තිබෙනවා. එවන් ස්ථානයක දියුණුව පැතිය නොහැකියි. නිරතුරුවම දොඩමලුවීමට කැමැති පුද්ගලයන්ට වේලාව ගැන අවබෝධයක් නැහැ. එම තැනැත්තන් අන්‍යයන්ගේ හාස්‍යයට පවා ලක්වන්නේ සමච්චල් මධ්‍යයේය. "කෝච්චියකට අහුවුණා" වාගේ යන වහර අප සමාජයට එක්ව ඇත්තේ එවන් පුද්ගලයන් නිසයි.මේ පිරිස් බොහෝවිට අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ සම්ඵප්‍රලාපවලින්. ඒවායින් ඔවුන්ට හෝ සමාජයට හෝ වන වැදගත්කමක් නැහැ. දුම්රියෙන් බස්රියෙන් බැස ගියද,රැකියා ස්ථානවලට ගොස් දුරකථනවලින් පවා තවත් හිස් වචනවල නියැළෙනවා. ඒවායින් ඔවුන්ට වැඩක් නොවන්නා සේම කාලයද වැනසී යනවා. එසේ දොඩමලු වන පුද්ගලයන්ගේ දියුණුවක්ද සැලසෙන්නේ නැහැ. එමෙන්ම දිනෙන් දිනම පිරිහීමටද පත්වෙනවා.

සම්ඵප්‍රලාප මෙන්ම හිස් වචනද මේ සංස්කෘතියේම කොටසක්. බුදුරජාණන් වහන්සේ විසින් පිරිහීමේ දොරටුවක් ලෙසින් මේ අනිසි කතා බහ දක්වා ඇත්තේ එහෙයින්.

අනුන්ගේ ඕපා දූප කතාවෙන් දොඩමලු වන පුද්ගලයා කිව යුතු දේ මෙන්ම නොකිව යුතු දේත් පවසනවා. ඔහු කේලාම් බස් මෙන්ම බොරු කියන පුද්ගලයකු බවටද පත්වෙනවා. එතැනින් හිරි ඔතප් දෙකද නොමැතිව යයි. ඔහු අවසානයේ නපුරු වචන කියන්නෙක් බවටද පත් වනවා.

ව්‍යගසපජ්ජ සූත්‍රයේ “උට්ඨාන සම්පදා” යනුවෙන් මෙලොව දියුණුව පිණිස හේතුවන කරුණු අතුරින් මුල් තැනක් දී ඇති මේ ධර්මතාවයද සමාජයේ මෙන්ම තමන්ගේ දියුණුවට බෙහෙවින් ඉවහල් වනවා. උත්සාහයෙන් තොර සැපතක් නැත යන්න බුදු දහමේ ඉගැන්වෙන බව අප අමුතුවෙන් සිහි කළ යුතු නැහැ. විභාගයට සූදානම් වන දරුවා උට්ඨාන වීර්යයෙන් යුක්ත විය යුතුයි.

නැත්නම් විභාග පරීක්ෂණවලින් සමත්වීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රැකියා ස්ථානයේදී තම කටයුතු උට්ඨාන වීර්යයකින් සිදු නොකරන්නේ නම් ඔහුට තම කාර්යයන් නිසි පරිදි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ සියල්ලෙන්ම සිදුවන්නේ පිරිහීම ළඟා වීමයි. යහපත් කටයුතු සඳහා මේ උත්සාහය අඩුවීමට පිරිහීම ලංකිරීමට අලසකමත් එක් ප්‍රධාන හේතු සාධකයක් වන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා. “අලසකම” කුසීතකම සහිත පුද්ගලයා කුමන හෝ හේතු සාධකයක් සොයා ගෙන තමන්ගේ වැඩ කටයුතු පසෙක දැමීමට කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව පැහැදිලිවම දේශනා කර තිබෙනවා.

“අතිසීතං අති උණ්හං
අතිසාය මිදං අහූ
ඉති විස්සට්ඨ කම්මන්තා
අත්ථා අච්චෙන්ති මාණවා

අලසකමින් පෙළෙන්නා සැම විටකම තම කාර්යයන් පසෙක ලන්නේ දැන් ඉතා ශීතලය, දැන් ඉතා උෂ්ණය, දැන් ඉතා සවස් වී ඇත. දැන් ඉතා උදෑසන වැඩියි, දැන් බඩගිනියි. දැන් බඩ පිරුනේ යැයි කියමින්. එම නිසා ඔහුගේ සියලු කාර්යයන් පසෙකට විසිවී යයි. ඔහුට තම සියලු කාර්යයන් මඟ හැරී බව දැනෙන්නේ බොහෝ කල් ගිය පසුයි. එවන් පුද්ගලයන්ට කර්මාන්ත කළ නොහැකි වන බව බුදු දහමේ දක්වා තිබෙනවා. අලසකම අවසානයේ කුසල් කෙරෙහිද බලපැවැත්වෙනවා.

විහාරස්ථානයක් කරා යාමට පවා එවන් පුද්ගලයන් මැලිවනවා. මවට පියාට තම දූ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට පවා ඔහු මැලිවනවා. කුමටද කුසලට කම්මැළි වන්නේ. යනුවෙන් දක්වා තිබුණද අලසකමින් හෙබි පුද්ගලයන් දිගින් දිගටම කාලය කා දමමින් නිෂ්ඵල ක්‍රියාවන්හි නිරතවනවා. ඔවුන් ගේ පිරහීම කිසිවකුට හෝ වැළැක්විය නොහැකියි.

පමාවීම පසුතැවිල්ලට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ මේ කරුණු නිසයි. ජීවිතයේ යහපත් කටයුතු සඳහා කුමන බාධා පැමිණියත් අව් වැසි පැමිණියද අදට කළ යුතු දේ හෙටට කල් දැමීම හෝ අනවශ්‍ය ලෙසින් කාලය කා දමමින් නොසිට තම කාර්යයන්ගේ නිරත වන්නා දියුණු වන නමුත්, එසේ නොකරන්නා ගේ පිරිහීම සිදු වන නමුත් එය සිදුවන්නේ ක්‍රමානුකූලව වන නිසා විනාශයට පත් වන තුරුම ඔහුට බොහෝ විට ඒ බව තේරුම් යන්නේ නැහැ.

 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 04

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]