UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කථාවෙන් – 26 සුළු සැපත හළ විට මහ සැපක් ලද හැටි

ධම්මපදට්ඨ කථාවෙන් – 26

සුළු සැපත හළ විට මහ සැපක් ලද හැටි

පෙර තක්සිලාවෙහි සංඛ නම් බමුණු පුතෙකු විය. ඔහුට සුසීම නමින් පුතෙක් ද විය. සොළොස් හැවිරිදි සුසීම පුතු පියා අමතා තමා හට ශිල්ප ලබන්නට ඇවැසි බැවින් බරණැසට යාමට අවසර පැතුවේ ය. සංඛ පියා බරණැස වේද මන්ත්‍රයෙහි පාරප්‍රාප්ත තම මිත්‍ර බමුණෙකු වෙත තම පුතු පිටත් කර හැරියේ ය. පුතු ද පියාදුන් පුදපඬුරු ද ගෙන බරණැසට පැමිණ ඇදුරු බමුණු හමුව තම පියාගේ මිතුදම ද පවසා තමාට ශිල්ප දෙන්නැයි ඉල්ලා සිටියේ ය. එම බමුණු ඇදුරා ද සුසීම පුතු අදරින් පිළිගෙන ශුභ දිනෙක සුබ හෝරාවෙකින් වේද මන්ත්‍ර ඉගැන්වීම ඇරැඹීය. කල් නොතබාම මේ සිසු පුතු ගුරුන් දත් සියලු වේද මන්ත්‍ර පාරප්‍රාප්ත විය. අනතුරුව සිසු පුතු විමසන්නේ ඇදුරුතුමනි ශිල්පයේ කෙළවර කුමක්ද? කියායි. ඇදුරු බමුණු ශිල්පාවසානයක නොදත් හෙයින් ඉසිපතනයේ වසන සෘෂින් වහන්සේලා ශිල්පයේ අවසානය දනිති. එහි පිටත් කර හැරීය.

සෘෂීන් වහන්සේලා සොයා ඉසිපතනයට පැමිණි සුසීම බමුණු පුතුට පසේ බුදුවරුන් හමුවිය. ඔවුන් වෙත එළඹ තෙපි ශිල්පයේ අවසානය දන්නෙහුදැයි විමසා සිටියේ ය. උන්වහන්සේලා කියා සිටියේ අවසානය තරමක් දන්නා බවත් එහෙත් එය ප්‍රකාශ කරන්නේ පැවිදි වූවන්ට පමණක් බවයි. ඒ අනුව අවසානයක් දැකීමට අවශ්‍ය නම් පැවිදි වන්නැයි ඉල්ලූහ. බමුණු පුතු යහපතැයි පිළිගෙන පසේබුදුන් වෙත පැවිදි විය. පැවිදි වූ සුසීම හිමියන් ආභිසමාචාරික ශීලයෙහි හික්මවා පිළිවෙතින් සරු කළේ ය. පෙර පින් මහිමයෙන් සුසීම තෙරුන් වහන්සේ පච්චේක සම්බෝධිය ලදහ. බරණැස පුරා කීර්තිධර පසේබුදුවරයෙකු වූ උන්වහන්සේ ලාභයෙන් අගතැන් පැමිණියේ ය. එහෙත් අල්පායුෂ්කව නොබෝ දිනෙකින් ම පිරිනිවන් පෑහ.

අනතුරුව අවශේෂ පසේබුදුවරු ද ජනයා ද එක්ව ආදාහනය නිමවා ධාතූන් ගෙන නගර දොරටුවේ ස්ථූපයක් කළහ. මේ අතරෙහි පිය බමුණු සංඛ බොහෝ කලකින් පුතු නොදැක පුතු සොයනට බරණැසට එළැඹීය. බොහෝ ජනයා රැස් වූ තන්හි සුසීම පුතු ගැන දන්නේදැයි විමසීය. ජනයා වෙතින් සියලු තොරතුරු දත් පියා පුතුගේ ස්ථූපය වෙතට ගොස් බිම පෙරළී හඬා වැළපී එතැනින් ඉවත්ව නොගොස් එම ථූප මළුව විසිතුරු කොට සැරසීය. ධජ පතාක ථූපයෙහි නංවා තමන්ගේ කුඩය ථූපයෙහි මුදුනෙහි ඡත්‍රයක් කොට එල්ලීය. තම පුතු වෙනුවෙන් කළයුතු සියලු දේ ඉටු කොට ආපසු පිටත්ව ගියේ ය.

එදා ඒ සංඛ නම් බ්‍රාහ්මණයා මෙදා අප ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ය. ඒ බුදුරදුන් රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ සිටි සමයෙක විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් උපන් වැසි නොවැස ගොවිතැන් සියල්ල පාළු විය. සාගත හේතුවෙන් දුගියන් පළමුව කළුරිය කළ අතර තැන තැන දැමූ ඔවුන්ගේ මළසිරුරු හේතුවෙන් අමනුෂ්‍යයන්ගෙන් මේ නගරය පිරී යන්නට විය. බොහෝ දෙනෙක් අමනුෂ්‍ය උපද්‍රවයට හසුවූහ. මළකුණු ගඳින් අහිවාතක රෝගය පැතිරී ගොස් දොරක් දොරක් පාසා මරහඬ නැගෙන්නට විය. දොරක් දොරක් පාසා මළකුණු වැතිරෙන්නට විය. දුර්භික්ෂ භය, අමනුෂ්‍ය භය රෝ බිය යන තුන් බියෙන් මුළු නගරය ම දූෂිත විය. රජවරු සන්ථාගාරයට රැස්වූහ. මෙම නගරය පාලනය කළෝ ලිච්ඡවීහුය. ගණනින් 7707 කි. සියල්ලෝ ම කතිකා කළහ. තමන්ගේ අදැහැමි බවින් මෙසේ විය හැකි යැයි කතිකා කළ ඔවුහු කවරෙකුගේ හෝ අදැහැමි ක්‍රියා ඇත්දැයි විමසූහ. රජුන්ගේ කිසි දොසක් නොදත් විට එසේ නම් මෙයින් මිදෙන මං පෙත් විමසූහ. ඇතමෙක් බලිබිලි පූජා පවත්වන්නට යෝජනා කළහ. ඇතමෙක් ෂට් ශාස්තෘන්ගේ ගුණ ගයමින් ඔවුන් මෙහි පැමිණි වහාම මෙම භීෂණය සංසිඳෙනු ඇතැයි කීහ. තවත් කෙනෙක් බුදුගුණයෙහි ආනුභාව කියමින් බුදුරදුන් වැඩමවීමේ ඇවැසි බව පළ කළහ. අවසන සියල්ලෝ එයට එකඟව බුදුරදුන් කවර තැනක වැඩ වසනේදැයි විමසූහ. රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ සිටිනා බව දැනගත් රජවරු බුද්ධශ්‍රාවක වූ සෝවාන් ඵලයට පවා පැමිණ තිබූ මහාලී නමැති ලිච්ඡවී රජුට බුදුරදුන් වැඩම කරවීමේ කාර්යය පැවරූහ.

මහාලි රජු තම පුරෝහිත ද ගෙන රජගහනුවරට පැමිණ බිම්සර රජු හමුවට බුදුහිමියන් තම නගරයට වැඩමවා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. එහෙත් බිම්සර රජු කියා සිටියේ තෙපි ම ඇරැයුම කළ යුතු බවය. මහාලි ක්ෂත්‍රියා බුදුරදුන් හමුවට වැඳ එකත්පස්ව තම නගරයට අත්ව ඇති ඛේදනීය ඉරණම බුදුරදුන් හමුවෙහි පළ කොට තම නගරයට වඩින්නැයි ඉල්ලා සිටියේ ය. බුදුහිමියෝ මේ නගරයේ ස්වභාවය නුවණිනින් දැන තමා එහි වැඩම කොට රතන සූත්‍රය දෙසූ කල්හි මේ දුර්භික්ෂය පලවා හැරිය හැකි බව දුටහ. අනතුරු බ්මිසර රජ බුදුරදුන් විශාලාවට යාමට තීරණය කළ බව දැන රජගහනුවර වේළුවනාරාමයේ සිට විශාලාවට වඩින ගංගාව දක්වා පස් යොදුනක් මඟ පිළිසකර කරවා යොදුනක් යොදුනක් පාසා විහාර කරවා මග පුරා මල් අතුරා ධජ පතාක නංවා සේසත් නංවා එක් එක් දිනයෙහි එක් එක් යොදුන වඩින්නට කටයුතු යොදා ඒ ඒ දිනයෙහි ඒ ඒ විහාරයෙහි මහදන් පවත්වා නුවරවැසි බොහෝ දෙනාට ද පින් සලසා ගන්නට ඉඩ සැලසීය. එපමණකුදු නොව ලිච්ඡවීනට ද බුදුරදුන් හරසරින් පිළිගත යුතු බව දන්වා හසුන්පත් යැවීය. බුදුහිමියෝ පන්සියයක් මහ සඟණ ගෙන ගමනට පිටත්වූහ.

ගංගාවෙහි නැව් දෙකක තැනූ මණ්ඩපයක බුදුහිමියෝ වැඩම කළහ. බිම්සර රජු ගඟ දියට කරවටක් දියට බැස ඔබ වහන්සේ ආපසු වඩින තුරා තමන් එහි රැඳෙන බව දැන්වීය. යොදුනක් ගඟ දියේ වැඩි බුදුපියාණන් ලිච්ඡවි රජදරුවන් විසින් මහත් හරසරින් පිළිගැනිණි. බුදුරදුන් විශාලාවට පා තබනු හා සමඟම මහා වැසි ඇද වැටී මුළු භූමි භාගය ම පවිත්‍ර විය. ලිච්ඡවි රජවරු බුදුරදුන් මහා ගරු සත්කාරයෙන් පිළිගෙන දන් දී තම නගරයට වැඩමවූහ. මහේශාක්‍ය දෙවි දේවතාවෝ ද බුදුරදුන් පිරිවරා පැමිණියහ. එයින් ම අමනුෂ්‍යයන් පලා ගියහ. බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා රතන සූත්‍රය ඉගෙන රජදරුවන් සමඟ ගොස් නගරය පුරා පිරිත් දෙසන්නට විය. “යංකිඤ්චි විත්තං ඉධවාහුරංවා සග්ගේසු වායං රතනං පණීතං” ආදිය සජ්ඣායන කරනවාත් සමඟම බුදුරදුන්ගේ අපරිමිත ගුණ බලය ඉස්මතුව තුන්බිය කෙමෙන් පහව යන්නට විය. අමනුෂ්‍යයන් පලා ගියහ. පරිසරය යහපත් විය. පවිත්‍ර විය. සියලු රෝගීහු සුවපත් වූහ. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද නාගයෝ ද මහා සැණකෙළියක් සේ බුදුරදුන්ට සත්කාර කළහ. සියල්ල නිමවා බුදුහිමියෝ රජගහනුවරට වැඩියහ.

දෙවෙනි දින දම්සභාවෙහි විශාලා මහනුවර සුවපත් කළ ආනුභාවයත් බුදුරදුන් කෙරෙහි මහ රජුන්ගේ ප්‍රසාදයත් පිළිබඳ කතිකා කරද්දී එතැනට වැඩි බුදුපියාණෝ තමන් වහන්සේගේ කර්ම මහියම උන්වහන්සේලා ඉදිරියේ ගෙන හැර පෑහ.

එනම් පෙර තමන් සංඛ බ්‍රාහ්මණයාව සිය සමයෙහි තම පුතු සුසීම නම් පසේබුදුන්ගේ ථූපාංගණයෙහි කරන ලද සැරසිලි ආදියෙන් ලද පුණ්‍ය මහිමයට මේ තරම් පුද සත්කාර ලැබීම හේතු වූ බව පෙන්වා වදාළහ. ඒ අනුව මෙය පෙර කර්මයේ ඵලවිපාක බව අවධාරණය කළ බුදුපියාණෝ ඥානවන්තයාගේ වගකීම විය යුත්තේ මහ සැපත වෙනුවෙන් සුළු සැපත හළ යුතු බව දෙසූහ. එයම නිවනට මඟ බව වදාළහ.


ධම්මපදට්ඨ කථාවෙන් 25 - නිදොස් පුඟුල් හට නින්දා කළ විට දුගඳින් පිරි කට මුල්වෙයි නැසුමට

 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 04

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]