UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධ්‍යාත්මික සංවර්ධනයට නිවැරැදි මඟ හඳුනා ගනිමු

අධ්‍යාත්මික සංවර්ධනයට නිවැරැදි මඟ හඳුනා ගනිමු

බුදු දහම සෑමවිටම ලෞකික හා ලෝකෝත්තර මාර්ග දෙකම සඳහා යොදා ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් අප යොමු කර ඇති ආකාරය අප පසුගිය කලාපයකින් කතා කළා. මෙසේ ලෞකික හා ලෝකෝත්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් ගමන් මඟ දෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනී යන්නේ ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවත් ප්‍රතිපත්ති පූජාවෙන් ආමිස පූජාවත් ඔප් නැංවෙන බවයි.

විශේෂයෙන් චෛත්‍යය, බෝධිය හා බුදුපිළිමය යන ත්‍රිවිධ චෛත්‍යය මඟින් හෙළ කලාවටත් විශේෂ පෝෂණයක් සිදු වූ බව අප වටහා ගත යුතු වනවා.

මේ කලාවත් සමඟ එක්වූ බුදුදහම නිසා හෙළයාට බුදු දහමෙන් පෙන්වූ ලෝකෝත්තර ගමන් මඟ මැනවින් අවබෝධ වුණා.

බුත්සරණ, අමාවතුර, වැනි කෘති එළිදැක්වූණේ බුදු දහමේ ආභාසයෙන් මහා බෝධිවංශ, මහා ථූපවංශ සඳහාත් මුල්වූයේ අපේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් ලත් ආභාසයයි.

ලෝකෝත්තර ගමන් මඟට අපට ප්‍රායෝගික දහම කෙතරම් ඉවහල් වනවාද? චෛත්‍යයක කොත් කැරැල්ල දෙස බලා සිටීමෙන් අපට නිර්වාණ මාවත ගැන මනා අවබෝධයක් ලැබෙනවා. චෛත්‍යයක පාදම අඩිතාලම ඔස්සේ අපගේ පංචශීලය අෂ්ටාංග ශීලය සම්බන්ධව මනා දැනුමක් ලැබෙනවා. චෛත්‍යයක ගර්භය, හතරැස් කොටුව,දේවතා කොටුව මේ සියල්ලම අපට සසරෙන් එතෙර විය හැකි දර්ශනය ලබා දෙනවා.

චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට නම් චෛත්‍යය නිර්මාණය වී ඇති ආකාරය ධාර්මිකව මෙනෙහි කිරීමත් අපට ඉතා වැදගත් වනවා.

සඳකඩ පහණ, වාමන රූප, දොරටුපාල රූප, කොරවක්ගල දෙස බලන්න.මේ සියල්ලෙහිම ඇත්තේ අපේ නිර්වානගාමී මාවතයි.

මේ නිසා ආධ්‍යාත්මික සංවර්ධනය කරා යොවුන් සිත ගෙනයාමට කලාවද බෙහෙවින් වැදගත් වන බව අප වටහා ගත යුතු වනවා. එමෙන්ම තුරුණු සිත සාහිත්‍ය තුළට ගෙන යා යුතුයි.

එසේ නොමැතිව ගුරුවරයාගෙන් හෝ පොතකින් දෙකකින් පමණක් අසා කියවා දැනගත් කරුණු කිහිපයක් පමණක් ඔස්සේ ගමන් කරන්නා අනිවාර්යයෙන්ම අන්ධකාරය කරා ගමන් කරනවා.

ඔහු ශ්‍රද්ධාව කියා අල්ලා ගන්නේම වැරැදි අංශයක්. එපමණක් නොවේ. මෙසේ වැරැදි මාර්ගයන්ගේ ගමන් කරන පිරිස් තම ග්‍රහනයට ගැනීමට මාන බලන පිරිස් කණ්ඩායම් සිටින බවත් අප අවබෝධ කරගත යුතුවනවා. පෙර කීවාක් මෙන් ආමිසයෙන් තොර ප්‍රතිපත්තියකින් හෝ ප්‍රතිපත්තියකින් තොර ආමිසයක් කරා යාමට අපට හැකියාවක් නැහැ.

වර්තමානයේ බොහෝ බෞද්ධයන් මහත් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරනු ලබන බෝධි පූජාව උදාහරණයකට ගෙන බලන්න. බෝධි පූජාව ආරම්භ කෙළේ බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ සතියක් පුරා තමන්ට උපකාරි වූ බෝධිය දෙස ,බලා හිඳිමින් ‘අනිමිස ලෝචන පූජා’ උපහාරය පැවැත්වූවා. සතියක් පුරා බුදුරජාණන් වහන්සේ විසින් පූජා පැවැත්වූවා.මෙයයි අප වටහා ගත යුතු ශ්‍රේෂ්ඨත්වය උන් වහන්සේට තවත් ඕනෑ තරම් පාරිභෝගික වස්තු තිබුණා. නමුත් ඇයි බෝධින් වහන්සේම තෝරා ගත්තේ. යම් අයෙකුට සසරින් එතෙර වී නිවන් දැකීමට අවශ්‍ය ශක්තිය විශාල දායකත්වයක් බෝධින් වහන්සේගෙන් ලැබෙන බව උන්වහන්සේ දැන ගත්තා. ඒ ශක්තිය පිට කළේ බෝධින් වහන්සේටයි.

බෝධින් වහන්සේ දෙස විමසුම් ඇසින් බලන්න. බෝධින් වහන්සේගේ පත්‍ර තුඩ සහිතයි. යමක් ඇද ගැනීමේ ශක්තිය මේ තුඩ සහිත ශාක පත්‍රවලට තිබෙනවා.

පිරිත් මණ්ඩපයකදී එල්ලා තැබීමට යොදා ගන්නේ මේ තුඩ සහිත පත්‍රයි. නාදලු, බුලත් දලු, නාගවල්ලි දලු,බෝ දලු ආදිය ඒ සඳහා යොදා ගන්නවා. ඒ යමක් ඇද ගැනීමට ඇති ශක්තිය. එම පත්‍ර සතු නිසයි.

බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? ලෝකයාට නිවන් දකින්නට අවශ්‍ය කරන ශක්තිය බෝ සමිඳුන්ට ලබාදීමයි. එසේ ලබා දීමෙන් බෝ සමිඳුන් ලොව පුරා පැතිරුණා. මේ බෝ සමිඳුන් සමීපයේ සිට අප කරනු ලබන යහපත් ප්‍රාර්ථනාවන් අප වඩන කමටහන් ඉතා ඉක්මනින් සාර්ථක වන්නේ ඇයි? ඒ සඳහා අවශ්‍ය ශක්ති කදම්භය අපට බෝ සමිඳුන්ගෙන් ලැබෙනවා.

බුදුරජණන් වහන්සේ ආනන්ද බෝධි රෝපණය සිදු කළේ ඒ අනුවයි. එම බෝධිරෝපණයේදි උන්වහන්සේ වදාළා සිටියේ කුමක්ද? ‘මම මෙතන විශේෂයෙන් පුජනීය කළයුතු නැහැ. මමත් බෝ සමිඳුන්ට වන්දනාමාන කරනවා යනුවෙන් බෝ සමිඳුන්ට වන්දනා මාන කළා. උන් වහන්සේ බෝ සෙවණේ සමවත් සුවයෙන් ගත කළා.

ගස් ගල් ඇදහීම වන්දනය අර්ථ ගැනෙන බව බුදු හිමියන් පැහැදිලිව දේශනා කළා. උන්වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා බෝ සමිඳුන් වන්දනාවේ වැදගත්කම .

බෝ සමිඳුන් වන්දනාව පමණක් නොව චෛත්‍යයන් සෑදිය යුතු ආකාරය පවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.

බුදුන් දහම්, සරණ ගිය ප්‍රථම උපාසකයන් වන තපස්සු භල්ලුක වෙළෙන්ඳන් තමන්ට බුදුරජාණන් වහන්සේගෙන් ලද කේශ ධාතුන්ට කුමක් කරන්නේදැයි විමසූ අවස්ථාවේ උන්වහන්සේ වදාරා සිටියේ කේශධාතුන් නිධන් කර චෛත්‍යයක් නිර්මාණය කරන ලෙසයි. එය නිර්මාණය කරන ආකාරය උන්වහන්සේ පෙන්වා දුන්නා. තමන් වහන්සේගේ සඟල සිවුර ගෙන එය පොතක් මෙන් නමා එය මතින් පාත්තරය මුණින් නමා තමන් වහන්සේ සමීපය තිබූ යෂ්ටියක් දණ්ඩක් ඒ මතින් තැබුවා. මෙන්න මේ අයුරින් දාගැබක් නිර්මාණය කරන්නැයි උන්වහන්සේ වදාළා. අදත් අපට සාංචි ස්තූපය දක්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එදා පෙන්වා දුන් මේ කොටස් තුනකින් සමන්විත චෛත්‍යයක් ලෙසයි. සඟල සිවුර නවා පොත මෙන් සකස් කර දුන් කොටස අප පාදම නමින් හඳුන්වනවා. පාත්තරේ මුණින් පෙන්වු කොටස හර්මිකාව ලෙසත් උඩ දණ්ඩක් සේ තිබෙන කොටස අප යෂ්ටිය නමින් හඳුන්වනවා.ආරම්භයේදි දාගැබ් වහන්සේගේ තිබුණේ මේ තුන් කොටස පමණයි.

වර්තමාන දාගැබ් නිර්මාණය පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ශ්‍රී ලාංකික කලා නිර්මාණකරුවන්ටයි

සලපතල මලුව, වැලිමලුව, හතරැස් මලුව අඩිතාලම, වේදිකාව තුන් මහල් පේසාවළලු, හර්මිකාව ,හතරැස්කොටුව දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත, චූඩා මාණික්‍යය ආදි සියලු නිර්මාණයන් ඔවුන් විසින් සිදු කළේ නිර්වාණගාමී ගමන් මාර්ගය පිළිබිඹු කිරීමටයි. ක්‍රමයෙන් ලෝකෝත්තර මඟට විමසීමට අවශ්‍ය පසුබිම ඔවුන් විසින් එසේ සකසා තිබෙනවා.

එසේම බුදුරජාණන් වහන්සේගේ රුවට වන්දනා මාන කිරීමෙන් සිත සකසා ගැනීමත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම ඇති වූවා.

බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කළ අවස්ථාවක අජාසත්ත රජුට බුදුරජාණන් වහන්සේ නොදැක සිටීමට බැරිවුණා.

‘අනේ ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ නොදැක සිටින්නට බැහැ’ මහ රජතුමා බොහෝ සේ දුක්වුණා. පියා ඝාතනය කර සිටියත් ඒ වන විට ඔහු සැබෑ ශ්‍රද්ධාවන්තයෙක්ව සිටියා. මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ රූපය තම ඍද්ධි බලයෙන් මවලා රජුට දකින්නට සැලැස්වූවා. රජතුමා සැදැහැ සිතින් වන්දනා මාන කළා. මෙයින් ඉතා ඉහළ අධ්‍යාත්මික සංවර්ධනයක් කරා යාමට රජතුමාට හැකියාව ලැබුණා.

මෙසේම බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනෙහි භාවනාවෙහි යෙදෙන විට උන්වහන්සේට හුදකලා බවක් ඇති වූවා. උන්වහන්සේ තවත් බුදුරුවක් මවා ගත්තා. මවාගත් බුදුරුවත් සමඟ දෙපැත්තට වැඩම කළා.

අප නැණ නුවණින් මේ කරුණු විමසා බැලීමටයි ඉතාම වැදගත් වන්නේ.

මේ බුද්ධ කල්පය අවසානයේදී රුවන්වැලි මහ සෑය අසල සියලු ලෝක ධාතූන් එක් වී බුදුරුවක් මැවෙන්නේ ඇයි? ඒ බුදුරුවම නාගදීපයේදී ධර්ම දේශනා කරන්නේ ඇයි?

අවසානයේදී ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අභියසදී ධර්මය දේශනා කරල ධාතු පරිනිර්වාණයෙන් මේ බුද්ධ කල්පය අවසන් වනවා .මේ කරුණු මිථ්‍යා මත ලෙසින් හෝ සිදු නොවන දේ ලෙස බැහැර කළ හැකි යැයි පැවසීමට හැකියාවක් තිබෙනවද?

මේ සියල්ලම අපට වඩාත්ම වැදගත් වන්නේ ලෞකික ගමන් මඟට වඩා ලෝකෝත්තර ගමන් මඟට බව අප පැහැදිලිව සිත්හි තබා ගත යුතු වෙනවා.

වර්තමාන තරුණ සිත යළිත් පැරකුම් යුගයක් කරා දුටුගැමුණු යුගයක් කරා ගෙන යාම අසීරු නැහැ. රජ කාලයටත් වඩා විශාල නිර්මාණ කළ හැකි තරුණ පරපුරක් අප සතුවනවා. ඔවුනට නිවැරැදි ලෝකෝත්තර ගමන් මඟ වටහා දීමත් ඔවුන් වටහා ගැනීමත් පමණයි වැදගත් වන්නේ.

රුවන්වැලි මහ සෑය ඉඳිකරද්දී දුටුගැමුණු රජු කිසිවකු ඊට දායක කර ගත්තේ නැහැ. රජතුමාට අවශ්‍ය වුණේ තනිවම මේ චෛත්‍යය ගොඩ නංවන්නටයි.

නමුත් මාතලේ ප්‍රදේශයෙන් වැඩම කළ රහතන් වහන්සේ නමක් රුවන්වැලි සෑයට තමන් වහන්සේද දායක විය යුතු බව සිතමින් ඊට ගඩොලක් එක් කළා. දුටුගැමුණු රජු එය දැනගෙන ගඩොල් කැටයේ බරට රන් හා අනෙකුත් වස්තුව ලබාදී රාජ දූතයන් ඒ රහතන් වහන්සේ හමුවට යැව්වේ ඔබ වහන්සේ මේ චෛත්‍යය ඉදිකිරීමට දායක නොවී මට එය ඉදි කරන්නැයි දෙන ලෙස ඉල්ලමින් ආධ්‍යාත්මික සංවර්ධනයේ ඉහළින්ම සිටි රහතන් වහන්සේ නමක් පවා එසේ චෛත්‍යය ඉදිකිරීමට දායක වීමට කටයුතු කළා. නමුත් රජතුමා පින් ලබා ගැනීමට ඇති කැමැත්ත නිසා එය තමන්ට පමණක් ලබා ගැනීමට කටයුතු කළා.

මහියංගණ මහ දාගැබ ඉදි කරද්දී ඊට දායක වීමටත් රහතන් වහන්සේ වැඩම කළා. එක් අවස්ථාවක ඉහළට ගල් ගෙන යමින් සිටි කුඩා ස්වාමීන් වහන්සේ නමක් පලංචිය කැඩී පය ලිස්සා වැටුණා. මහ රහතන් වහන්සේ වදාළේ කුමක්ද?

’ඉක්මනින් ධජග්ග සූත්‍රයසිහි කරන්න’

ඒ මොහොතේම කඩා වැටුණු පලංචිය පඩිපෙලක් වී උන්වහන්සේට ගමන් මඟ සැලසුණා. මෙවන් විස්මිත දේ බුදුදහම ඇසුරේ අප කොතෙකුත් අසා තිබෙනවා.

ලෝකෝත්තර මඟට පිවිසෙන සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ පිහිට ශක්තිය ලැබෙනවා.

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන බව අප සිහි තබා ගත යුත්තේ එම නිසයි.

සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]